අවුලේගම ගුරුවරයා අගනුවර තෙක් එන”අහිංසක” පා ගමනේ දෙවන දිනය අද

වාරියපොල අවුලේගම සංඝබෝධි විදුහලේ ගුරුවරයකු සහ ප්‍රකට ලේඛකයෙකු වන අශෝක චන්ද්‍රසේකර මහතා ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ඊයේ(21) පෙ.ව.7.30ට ඇරඹූ පා ගමන අද දෙවන දිනයට ද පැමිණ තිබේ.වාරියපොල සිට,කුරුණැගල,පොල්ගහවෙල, අලව්ව,නිට්ටඹුව,යක්කල, කඩවත පසුකර කොළඹට පැමිණෙන මෙම අහිංසක සාමකාමී විරෝධය කෙරෙහි මේ වන විට පොදු ජන අවධානය හිමි ව තිබේ.තම පා ගමන සම්බන්ධයෙන් ඔහු අද තම ෆේස්බුක් වෙබ් පිටුවේ තැබූ සටහනකි මේ “හිතවතුනි, පුරවැසියනි,
මගේ පා ගමන අද වනවිට සහෝදරත්වයේ පාගමනක් බවට පත්ව තිබේ.

ඉතින්, සහෝදරවරුනි,

ඊයේ මා ගමන්කළ දුර කිලෝමීටර් තිහකට වැඩි ය. ඒ සඳහා පැය දොලහක පමණ කාලයක් ගතව තිබිණි. මේ සම්පූර්ණ දුරම මගේ බිරිඳ මා සමග සෙවනැල්ලක් මෙන් ගමන් කළාය. මට තරම්වත් වෙහෙසක් නැත. ජීවන ගමන තුළ ද එලෙසින්ම ඇය මා සමග ගමන් කරන්නීය. කිසිදු වෙහෙසක් නැත.

එලෙසින්ම,

මගේ මිතුරන් වන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, ලේඛක ශක්තික සත්කුමාර, ප්‍රසාද් ඇස්වත්ත මිතුරන් මා සමග වැඩිම දුරක් ගමන් කළහ. ශක්තිකගේ මස්සිනා මෙන්ම ඔහුගේ පවුලේ අය ද මා වෙනුවෙන් අපමණ සහයක් ලබා දුනි.

ගමන ආරම්භයේ සිටම මා සමග විශාල දුරක් ඇවිද ආ මාධ්‍යවේදී මිතුරන් කණ්ඩායම ලබා දුන් දිරිය මා වඩාත් ශක්තිමත් කළ බව සහෝදරත්වයෙන් සටහන් කරමි.

මගේ ළමා කළ පටන් මිතුරා; බැසිල් ශාන්තප්‍රිය ද මුල් අවස්ථාවේ සිට බොහෝ දුරක් මා හා ගමන් කළේ ඔහුගේ බිරිඳ ද සමගයි.
මගේ පාසලේ ගුරු සහෝදර සහෝදරියන් සහ විදුහල්පති තුමා ද ලබා දුන් දිරිය අපමණ ය.

මේ ගමන නිසා මා කිසිදා නොදුටු මිනිසත්කම් හඳුනාගත් බව ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කළ යුතුව තිබේ. මග දිගට මා දිරිමත් කිරීම සඳහා රැඳී සිටි පාසල් සිසුන්, ගුරු භවතුන් මා වෙත මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළහ. පසුපස හඹාවිත් බීම බෝතලයක්, ජල බෝතලයක් සහ විවිධ ආහාර වර්ග ප්‍රදානය කළ මිනිසුන් සංඛ්‍යාව අපමණ ය. මා ඔවුන් මීට පෙර හමුවී ඇත්තේ ද නැත. එහෙත් ඔවුන් සියලු දෙනා මිනිසුන් බව හඳුනාගතිමි. අද උදෑසන මා නැවත නැවතූ තැනින් ගමන අරඹමි. මෙය දැන් මනුෂ්‍යත්වයේ පා ගමනකි. මා ඔබේ මනුෂ්‍යත්වය සොයා එමි. ඔබ වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරමි. එන්න මා වැළඳගන්න. අපි මනුෂ්‍යත්වයෙන් පිරුණු ලෝකයක් නිර්මාණය කරමු.

ඊයේ රාත්‍රී නවාතැන් ලබා දුන් සහෝදරිය කෞෂල්‍යාට ද තුති. මිගාර බමුණුසිංහ සොයුරා ලබා දුන් සහය අපමණ ය. මා සමග විවිධ අයුරින් රැඳී සිටි හිතමිතුරන් නමින් සඳහන් නොකරන්නේ ලිපිය දීර්ඝ වන බැවිනි. සමාජ මාධ්‍ය තුළින් විවිධ සටහන් බෙදාහරිමින් සහය වූ නොදුටු මිතුරනි ඔබටද ස්තුතියි. ඉතින්, සහෝදරවරුනි නුඹලා සියල්ලන්ටම නොවක් තුති.

ජය වේවා!
සුන්දර ලොවක් බිහි වේවා!

ඔහුගේ අංකය 0776747879

අරුමැසි පුවත්