අසරණ සුනඛයන්ගේ මතු යහපත පතන අනාගත දිවැසි වරිය අනින්දිතා බද්‍රා

මිනිසාගේ සමීපතම මිතුරා සුනඛයා බවට කිසිදු වාදයක් නැත. නූතන සමාජයේ මිනිස් ගුණ අබිබවා සුනඛ ගුණ ඉස්මතු වන අවස්ථා වැඩි වැඩියෙන් අසන්නට ලැබීම මත සුනඛයාගේ වටිනා කම ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමේ ප්‍රවණතාවක් දක්නට පුළුවන. ඒ අනුව සත්ව චර්යාවේදය වැනි නූතන විෂය පථයන් ඔස්සේ සුනඛයින්ගේ කායික විද්‍යාව සහ මනෝ විද්‍යාව අවබෝධ කර ගැනීම පිළිබද පර්යේෂණ ලොව දියුණු රට වල නිතර සිදු කෙරේ.

එලෙස පුරෝගාමීව කටයුතු කරන ලෝකයේ විද්‍යාඥයින් අතර මුලින්ම කියවෙන නම්වලින් එකක් ලෙස අපට ආසන්නතම ඉන්දියාවේ අනින්දිතා බද්‍රා හැදින්විය හැකිය. ඉතාම විරල සත්ව හැසිරීම් පිළිබද ආචාර්ය උපාධිධාරිණියක වන ඇය සත්ව හැසිරීම්වලට අමතරව පරිසර විද්‍යාව, පරිණාමය, නර්තනය, කලාව සහ ලේඛනය ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණත්වය දක්වන්නීය.

වසර ගණනාවක සිට වීදි සුනඛයින් සුරක්ෂිත කිරීම සදහා කැප වී සිටින අනින්දිතා විටෙක තම පර්යේෂණ ක්ෂේත්‍ර පිළිබදව නොරිස්සුම් සහිත මනසකින් ද යුතු වේ. එයට හේතුව ලෙස ඇය පවසන්නේ සුනඛයින්ගේ කායික විද්‍යාව සහ මනෝ විද්‍යාව අවබෝධ කර ගැනීම පිළිබද පර්යේෂණ විවිධ රටවලින් කොතෙකුත් සිදු කළ ද ස්වභාව ධර්මයේ ආවේණික තත්වයන් තුළ සුනඛයින් පිළිබද කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැති බවයි.

සුනඛයින් පිළිබද චර්යාත්මක පරිසර විද්‍යාව සදහා විශිෂ්ඨ ආදර්ශ පද්ධතියක් සහිත ඉන්දියාව තුළ දී පවා සුනඛයින්ගේ හැසිරීම් පිළිබඳව නැගෙන ප්‍රශ්න විසදීමට නම් මිනිස්- සුනඛ සබදතාවයේ විකාශනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත යුතු බව ඇගේ අදහසයි.

මේ වනවිට කල්කටාවේ පිහිටා ඇති ඉන්දියානු විද්‍යා අධ්‍යයන සහ පර්යේෂණ ආයතනයේ ජීව විද්‍යා අංශයේ සහාය මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ඇය 2015 වසරේ පිහිටුවා ගන්නා ලද ඉන්දියානු ජාතික තරුණ විද්‍යා ඇකඩමිය ඔස්සේ වීදි සුනඛයින් හා සම්බන්ධ පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදු කර තිබේ.

ඇය සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරනු ලැබුවේ ඉන්දියානු විද්‍යා ආයතනයට අනුබද්ධ පරිසර විද්‍යා මධ්‍යස්ථානයේ විද්‍යාර්ථියෙකු ලෙසිනි. ඇය පවසන අන්දමට සිය ජීවිත කාලයේ වැදගත්ම පර්යේෂණ ඇය විසින් සිදු කරනු ලැබුවේ ආචාර්ය උපාධිය සදහා සූදානම් වෙමින් සිටි වසර හයක කාලය තුළ දී ය.

බොහොමයක් විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් ඉමහත් බියක් සහ පිළිකුළක් දක්වන Ropalidia marginata  නම් වූ බඹර විශේෂයේ හැසිරීම පිළිබද ඇය විසින් සිදු කරනු ලැබූ අධ්‍යයනයෙන් පසු, සිය නිබන්ධනය විශ්ව විද්‍යාලයට භාර දීමෙන් පසුව ද එකී කෘමියා පිළිබද තවදුරටත් අධ්‍යයනය නොකර සිටීමට නොහැකි වූ බව ඇය පවසයි. මේ නිසාම ඇය තවදුරටත් එහි රැඳී සිටිමින් මෙකී කෘමියාගේ සමාජ සබදතා පිළිබද දීර්ඝ අධ්‍යයනයක් සිදු කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙකී Ropalidia marginata නම් කෘමියාගේ හැසිරීම පිළිබද සම්පූර්ණ අධ්‍යයනයක් සිදු කරනු ලැබූ ලොව එකම පර්යේෂණ වාර්තාවට හිමිකම් කියන්නේ ද අනින්දිතා බද්‍රා ම පමණි.

ඉහත කීRopalidia marginata  ගෙන් පසු ඇගේ පුර්ණ අවධානය දිනා ගන්නේ අතීතයේ පටන් මිනිසාගේ ළගම මිතුරා වූ සුනඛයා ය. ඒ අනුව කෘමි විශේෂයේ සිට සුනඛ විශේෂ දක්වා විශාල පිම්මක් පනින ඇය, වර්තමාන වෘත්තිය ජීවිතයේ ආරම්භය එසේ සනිටුහන් කර තිබේ.

ඉන්දියාවේ වීදිවල ඔහේ සැරිසරන සුනඛයන් පසුපස ගොස් ඔවුන්ගේ ජීවන රටා අධ්‍යයනය කිරීමේදී ඇයට මුහුණ පාන්නට සිදු වූ පළමු අභියෝගය වූයේ ඇය පසුපස විත් ඇය විසින් කරන මේ අරුම පුදුම ක්‍රියාව පිළිබද රහසින් සොයා බලන පුද්ගලයින්ට උත්තර දීම ය. ඇය පවසන්නේ වීදි සුනඛයන් පසුපස ගොස් ඔවුන් නිරීක්ෂණය කරනවාට වඩා එය ඉතාම අපහසු කාරණයක් සහ හිතට වදයක් වූ බව ය.

වීදි සුනඛයින් පිළිබද ඇති අසීමිත ඇල්ම නිසා හැරෙන්නට ඇයට මෙම කාර්තව්‍යයෙන් ඉවත් වන්නට සිතුණු වාර අනන්ත බව ද ඇය පවසා තිබේ. එපමණක් ද නොව, ඇගේ අසල්වැසි නිවැසියන්ගේ රහස්‍ය පැමිණිලි මත අවස්ථා කීපයකදීම විවිධ සත්ව හිංසන පිටුදැකීමේ සමාජ සංවිධාන විසින් ඇගේ පෞද්ගලික පර්යේෂණාගාරය වටලා පූර්ණ පරීක්ෂාවට ලක් කළ අවස්ථා ගැන ද ඇය මතක් කරන්නේ ඉතා කණගාටුවෙනි.”නිවාස අහිමි සුනඛයන් කියන්නේ මිනිස් සමාජයෙන් වෙන් කර තැබිය හැකි කොටසක් නොවේ.මිනිස් අපට අසීමාන්තිකව ආදරය කරන ඔවුන්ව නොසළකා හැරීම ශිෂ්ඨාචාරගත මිනිසුන් හැටියට අප කරන බරපතල වරදක්”අනින්දිතා බද්‍රා කියන්නීය.

අනින්දිතා බද්‍රා වීදි සුනඛයින් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට සිය ජීවිතය කැප කර සිටින්නේ කල්කටා නගරය පුරා මාංශ අලෙවි සැල්වල වීදි සුනඛයින් අල්ලා එළු මස් ලෙස විකුණන්නන් ඔ්නෑ තරම් සිටින යුගයක දී ය. “කිසිම පිළිසරණක් නැති සිවුපාවුන් වෙනුවෙන් මම තනිවම හඩක් නගද්දී මගේ හඩ යටපත් කරන්න පෙළ ගැසී සිටින දෙපාවුන් පිරිස ගැන මට තියෙන්නේ අසීමිත කණගාටුවක්” වරක් ඇය සත්ව හිංසන පිටුදැකීමේ සගරාවකට පවසා තිබිණි.නමුදු ඇය අද අසරණ සුනඛ ප්‍රජාව නඟන හඬ ඉදිරි කාලය තුළ ලොව නන් දෙසින් හා නන් ලෙසින් ඉස්මතු වනු ඇත.එහෙත්,ඒ සඳහා වන එක්තරා අනිවාර්ය අවශ්‍යතාවක් ද පවතී.එනම් මානව බුද්ධිය තව දුරටත් පරිනාමය වීමය.ඒ අනුව අප අනින්දිතා බද්‍රා දැකිය යුත්තේ අසරණ සුනඛයන්ගේ මතු යහපත පතන අනාගත දිවැසි වරියක ලෙසිනි.

දුලංජලී මුතුවාඩිගේ

සතුන්ටත් හිමි අපේ ලෝකය