ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කෙරෙන මැයි දිනයක්

අදට(01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය මුල් කොට මෙවර පැවැත්වෙන මැයි දින පෙළපාලි සහ රැස්වීම් බොහොමයක් නව මුහුණුවරක් ගන්නා බවත් පවතින ආණ්ඩුවට ඉවත්වන ලෙසට බල කිරීම මෙවර මැයි දින සැමරුම් වල පොදු තේමාව වනු ඇතැයි දේශපාලන සමාජ විශ්ලේෂකයෝ කියති.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර මහතා පවසනුයේ මේ වන විට කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජනාධිපති වරයා ඇතුළු රජයට එරෙහි නිර්පාක්ෂික තරුණ උද්ඝෝෂණයේ මැයි දින සමරුවේ සාර්ථකත්වය අනුව මෙරට මැයි දින සැමරුම් සංස්කෘතියේ නව දිශානතියක් පෙන්නුම් කළ හැකි බවකි. තම සේවා මුරය පැය 08 කට සීමා කර ගැනීමත් ළමා කම්කරුවන් සේවයේ යෙදවීම තහනම් කිරීමත් යන ඉල්ලීම් මූලික කරගනිමින් 1886 වර්ෂයේ අමෙරිකාවේ චිකාගෝ නුවර පැවති කම්කරු විරෝධතා වලදී දිවි අහිමි වූ කම්කරුවන් සිහිපත් කරමින්1889 වර්ෂයේ සිට සෑම වසරකම මැයි පළමුවනදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලැබේ.මෙරට පළමු කම්කරු දින සැමරුම එවකට කම්කරු පක්ෂයේ නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් 1927 වසරේ දී පැවැත්වුණු අතර ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 වසරේ කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.1947 පමණ වනවිට මෙරට කම්කරු අරගල උත්සන්න වූ අතර එහි දී වැඩ වර්ජන ද රට පුරා දියත් කෙරිණ.
මෙරට මැයි දින සැමරුම් සඳහා පක්ෂ දේශපාලනය සෘජුවම සම්බන්ධ වූයේ 1956 දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකයන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පිලිප් ගුණවර්ධනයන්ගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණු රජයේ මැයි දින සැමරුම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වර්ණය වන නිල් පැහැය ද එක් කිරීම මඟිනි.ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් කරනු ලැබුවේ ද 1956 වසරේ බණ්ඩාරනායක රජය මඟින් වන අතර එවක කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කළේ ටී. බී. ඉලංගරත්න මහතායි.මේ සියලු තත්වයන් යටතේ මෙවර මැයි දින සැමරුම පක්ෂ දේශපාලන ආකෘතියෙන් බැහැර නූතන තරුණ ප්‍රජාවේ මූලිකත්වයෙන් යුතු වීම සාධනීය ලක්ෂණයක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා කියයි.

 

කාලීන පුවත්