නීතියේ හැටියට මැතිවරණ පැවැත්වීම අනිවාර්යෙනම කළ යුතු බවට විරුද්ධ පාක්ෂිකයෝ හඬ නඟති. පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ මැතිවරණ පැවැත්වීමෙන් රට ආර්ථික වශයෙන් තව දුරටත් බිඳවැටෙනු ඇති බවට ආණ්ඩුවත් තර්ක විතර්ක සහිතව පෙන්නා දෙමින් සිටියි.මේ ගැන මහජනතාව දරණ අදහස පැහැදිලි නැත.ගමේ ගොඩේ මනුස්සයා නම් කියන්නේ “ඔය කෙහෙල්මල් චන්දෙ තිබ්බත් එකයි නැතත් එකයි.මොකා මොකක් කළත් අපිට වෙන යහපතක් නැත’ කියා ය. සාමාන්‍ය මනුස්සයා එසේ කීවත් ඡන්දය නොතියා හිටියොත් එය ආණ්ඩුවේ පැවැත්මට හිතකර නැත.
රටේ පවතින තත්වය බැලූ විට ඡන්දය පැවැත්වීම ද ආණ්ඩුවට වාසිදායක බවක් නොපෙන්වයි. ඡන්දය තිබ්බත් පාඩුයි නැතත් පාඩුයි යන තත්වයන් තුළ දී ආණ්ඩුවට ඡන්දය නොපවත්වා පාඩුව දරා ගැනීමට ඇති ඉඩකඩ වඩාත් වැඩි බව පැහැදිලි ය.එසේ වුවත් ඡන්දය නොතියා සිටීමෙන් අමුවෙන්ම කුණු ගොඩක් බදා ගන්නට ආණ්ඩුව කරන ලොක්කන් ක්‍රියා කරනු ඇතැයි ද සිතිය නොහැක.ඒ ඔවුන් ජනතාවගේ කනෙන් රිංගා මොළය ද අතගා ගෙන හෘදය වස්තුවට බැස එයත් පිරිමැද ආහාර මාර්ගය ඔස්සේ උණ්ඩුක පුච්චයත් ශුද්ධ කරගෙන අධෝ මාර්ගයෙන් පිටවී ගාණක් නැතිව ඉන්නට හැකි කට්ට කයිරාටික වෙට්ට පිත්තල පිරිසක් නිසා ය.
මේ වන විට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ද එකඟත්වය ඇතිව පලාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමට දින නියම කරනු ලැබ ඇත.මෙසේ නාම යෝජනා කැඳවීමෙන් පසු කළ යුතු වන්නේ එක් නාම යෝජනාවකට වඩා ලැබී ඇති පලාත් පාලන අයතන වලට මැතිවරණය සඳහා නාමයෝජනා අවසාන වන දිනයේ සිට සති පහත් හතත් අතර වූ නිවාඩු දිනයක් නොවන දිනයක මැතිවරණය පැවැත්වීමට නියම කිරීම ය.මෙසේ මැතිවරණ දිනය නියම කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේත් පළාත් සභා මැතිවරණ පනත මෙන්ම පලාත් පාලන මැතිවරණ පනතෙනුත් නියම කර ඇති සෑම මැතිවරණයකටම අදාල ව්‍යවස්තාපිත කාර්යකි.ඒ අවු අස්සේ කවුදෝ කෙනෙක් ඡන්දය තියන්න එපායැයි කියා නියෝගයක් ගන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගොස් ඇත. පසුගිය දා ප්‍රවෘත්ති ප්‍රකාශවල දේශපාලන පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉහත නඩුවට මැදිහත් වී ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරන බවට සහතික වනු ද ප්‍රදර්ශනය විය.ඒ නඩුව මුට්ටිය වීමටත් මුට්ටියට ගස්සවා විරුද්ධ වාදීන්ගේ ආයුධ මොට්ට කරවන අතරේ ඒ දොරෙන්ම ඇතුලු වී අවශ්‍ය දේ කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකරනු ඇතැයි සිතිය නොහැක.ඒ බව මීට අදාල නීතිමය විධිවිධාන අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ.
නාම යෝජනා අවසන්වී ඉහත දැක්වූ නීතිමය විධිවිධාන ප්‍රකාරව මැතිවරණ දිනය නියම කර ඡන්ද විමසීමට අදාල ව ඉදිරි කටයුතු කරගෙන යන අතරතුර යම් හදිසි හෝ විශේෂ තත්වයක් මත නියමිත දිනයේහි චන්ද විමසීම පැවැත්විය නොහැකියැයි බලධාරියාට හැඟී ගියහොත් මැතිවරණය සඳහා වෙනත් දිනයක් නියම කිරීමේ බලය පලාත් පාලන මැතිවරණ ආඥා පනතේ 38(3)වගන්තියෙන් අදාල දිස්ත්‍රික් තේරීම් බාර නිලරීන්ට ලබා දී ඇත.ඒ අනුව එසේ නියමිත දිනට පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකියැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට හැඟී යාහැකි අවස්ථානුකූල කරුණු ඕනෑ තරම් මතු විය හැක.ඒ බව රටේ බලධාරීන්ගේ වර්තමාන ප්‍රකාශ වලින් දැකිය හැකිවේ. ප්‍රධානම කරුණ මුදල් ය.පලාත් පාලන මැතිවරණය සඳහා බිලියන දහයක් මැතිවරණ කොමිසමට අය වැයෙන් වෙන් කර ඇතැයි එහි කොමසාරිස් ජනරාල් වරයා මාධ්‍යයට ප්‍රකාශ කරනු දුටුවෙමි.
අයවැය ලේඛනයෙන් වෙන් කර ඇති මුදල් වියදම් කිරීමට නම් ඒ මුදල මැතිවරණ කොමිසමේ ප්‍රධාන ගණකාධිකාරී වරයා විසින් ඉල්ලා සිටින පරිදි වාරික වශයෙන් මැතිවරණ කාල සීමාව කාල සීමාව තුළ කොම්සමේ ගිණුමට මහා භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් බැර කළ යුතු ය.මැතිවරණ කොමිසම දැනටමත් සිය මුදල් අවශ්‍යතාව දැන්වීමට කටයුතු කරමින් සිටිනවා විය යුතුය.ඊට පිළිතුරු ලෙස භාණ්ඩාගාරයේ අක් මුදල් තත්වය අනුව ඉල්ලන ප්‍රමාණයට මුදල් ලබාදීම අපහසු බවත් හෝ මේ අවස්ථාවේ ලබාදිය හැක්කේ ඉල්ලන මුදලෙන් 20%හෝ යම් ප්‍රතිශතයක් බවටත් භාණ්ඩාගාරය දැනුම් දුන්නොත් පලාත් පාලන මැතිවරණය නියම කරගත් දිනයට පැවැත්වීමට බැරි අවස්ථාකූල කරුණක් යෙදෙන බව පැහැදිලි ය. එසේම රජයේ මුද්‍රණාලයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාල විශේෂ කඩදාසි ලබාගැනීමට අපහසුයැයි දැනුම් දුන්නොත් ඒත් වන්නේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි අවස්ථානුකූල කරුණක් යෙදීම ය. එබඳු අවස්ථාවකදී පණතේ 38(3)වගන්තිය ප්‍රකාරව වෙනත් දිනයක් ඒ මැතිවරණය සඳහා නියම කිරීම හැර වෙනත් දෙයක් කිරීමට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට නොහැකි ය.
එසේ තීරණය කරන නව මැතිවරණ දිනය පිළිබඳව පණතේ ඇත්තේ අවම සීමාවක් පමණි.නාමයෝජනා අවසන් වී 38(1) වගන්තිය ප්‍රකාරව මැතිවරණ දිනය නියම කිරීමේ දී නාම යෝජනා අවසන් වන දිනයේ සිට සති පහක අවම කාලයකුත් සති හතක උපරිම කාලයකුත් තුළ දිනයක් නියම කිරීමට නීතියෙන් නියමයක් තිබුණ ද එසේ නියම කල දිනට මැතිවරණය පැවැත්වීමට යම් හේතුවක් නිසා නොහැකි නම් වෙනත් දිනයක් නියම කිරීමේ දී ඒ සඳහා කලින් මැතිවරණ දිනය ලෙස නියම කළ දිනයේ සිට දින විසි එකකට නොඅඩු කාල සීමාවකට අයත් දිනයක් විය යුතු බව පමණක් පණතේ නියම කර ඇත.මෙසේ උපරිම කාල සීමාවක් නියම කර නොතිබීම මේ අවස්ථාවේ දී රජයට ප්‍රයෝජනයට ගත හැකි වැදගත් නීතිමය කරුණකි. මැතිවරණය නියමිත දින නොපැවැත්වීමට බල පෑ හේතුව අවසන් වනතුරු නව දිනය නියම කළ නොහැකි බැවින් මුදල් ලබා දිය හැකි කාල සීමාව දක්වා මැතිවරණ දිනය කල් දැමීම හෝ කඩින් කඩ මුදල් ලැබෙන ප්‍රමාණය අනුව පලාත් පාලන ආයතන කුඩා ප්‍රමාණයක පමණක් මැතිවරණ පැවැත්වීම හැර වෙනත් විකල්පයක් තේරීම් භාර නිලධාරීන්ට ඉතුරුවන්නේ නැත.
මේ සියල්ල සරලව කිව්වොත් මේ මස විසි එක්වනදා නාම යෝජනා අවසන් වීමෙන් පසුව නියම කරනු ලබන මැතිවරණ දිනය අවස්ථානුකූල කරුණු මත තවත් දින විසි එකකින් එහා කිසියම් දිනයකට නීත්‍යානුකූලවම කල් දැමීමට අවශ්‍ය නෛතික විධිවිධාන පලාත් පාලන මැතිවරණ ආඥා පනතේ දැනටමත් පවතී.ඒ බව කවුරුත් අවබෝධ කරගත යුතු ය. මේ විධි විධාන මේ පණතට ඇතුලත් කර ඇත්තේ අදින් අවුරුදු විස්සකට ඉහත 2002 වර්ෂයේදී ය.එබැවින්, ඒ විධි විධාන පැනවීමේ දී වර්තමානයේ ඡන්දය කල් නොදමනු කියා කෑගසන දේශපාලන නායකයින් ද එදා සිය සහාය පළකරන්නට ඇත.මැතිවරණ නීරීක්ෂණ සංවිධාන මෙබඳු අවස්ථාවක විරෝධය පළ කරනු ඇතත් එදා 2020දී කොවිඩ් රෝගය මත පාර්ලිමේන්‍තු මැතිවරණය දින නියමයකින් තොරව මැතිවරණ කොමිසම විසින් කල්දමද්දී (එය පාර්ලිමේන්තු මැතිවරණ පණතට පටහැනිවුව ද )ඒ ගැන විරෝධයක් පළ නොකර වර්තමානයේ පමණක් විරුද්ධ වන්නේ මන්දැයි විමසන විමසීම් වලට දීමට උත්තරයක් ඔවුන්ට ඇතැයි සිතිය නොහැක.
මේ අනුව පෙනෙන්නේ පවතින වාතාවරණය අනුව දැනට නාම යෝජනා කැඳවා ඇති පලාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා පාර්ල්මේන්තුව සම්බන්ධ කරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩුවට නැති බව ය. ආණ්ඩුව විසින් මෙහෙයවන රජයේ ආයතන දෙක තුනක තීරණයකින් පලාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරවම වුව ද කල් දා ගැනීමට අවශ්‍ය නීතිමය පදනම දැනටමත් රටේ නීති පද්ධතියේ ඇති බවත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින්ම මේ සඳහා වන පූර්වාදර්ශය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී රටට ලබා දී ආණ්ඩුවට මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය මග පෙන්වීම ද ලබා දී අවසන් බවත් ය.එනිසා වැටුප් රහිත නිවාඩු ලබාගෙන පලාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට අපේක්ෂාවෙන් ඉන්නා දේශපාලන අයිතිවාසිකම් සහිත රාජ්‍ය නිලධාරීන් ද දින නියමයකින් තොර දීර්ඝ වැටුප් රහිත නිවාඩුවක් අපේක්ෂා කළ යුතු ය.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති