ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තට හැරෙන්න බය මොකද?-සුනිල් හඳුන්නෙත්තිගේ විග්‍රගය

වර්තමානයේ රට පත් වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (එම්.අයි.එෆ්) සහය ලබා ගත යුතු බවට යෝජනා විවිධ පාර්ශව මඟින් යොමු වෙමින් පවතී.

එහෙත්, ඒ සම්බන්ධ රජයේ පොදු මතය වනුයේ රජය මූල්‍යමය ආධාර පතා එලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වුවහොත් ඔවුන් අප රටේ ජනතාවට දෙන සහනාධාර කපා හැරීමට යෝජනා කරනු ඇති බව ය.

එහෙත්, ඒ සම්බන්ධයෙන් විවිධාකාර මත පළ වන අතරේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුනෙත්ති මහතා රූපවාහිනී සංවාදයක දී මතු කළ අදහස් අපි මෙසේ ඉදිරිපත් කරමු “දැන් ජනතාවට දෙන සහන කපන්න වෙන නිසා අපි අයි.එම්.එෆ්. එකට යන්නෙ නෑ කියන එක නෙවෙයි; දැන් තර්කෙ.

දේශපාලනඥයින්ගේ සහන කපා ගන්න වෙන එකට හරිද? අන්න ඒකට බයයි. ජනතාවට දෙන සහන කැපිල ඉවරයි. ඒව මහ පොළොවෙන් කොහොමත් කැපෙනව. බඩු මිල අඩු වුණාම සහනයක් ලැබෙන්නෙ නෑනේ. ආණ්ඩුවෙන් පන් දාහේ දානයක් දීල කඩේට යන කොට උද්දමනය වැඩි නම් පන් දාහ වාෂ්ප වෙනවනෙ.

හැබැයි ඔතන අර්බුදය ඒක නෙවෙයි. දැන් ඔය අයි.එම්.එෆ්. එක කොන්දේසි දානව නම් මං හරි කැමතියි. අපි අයි.එම්.එෆ්. එකට යන්න ඕන. මම කියන්නේ අයි.එම්.එෆ්. එකට යන්න ඕන.

යන කොට අයි.එම්.එෆ්. එක කියන්න ඕන යෝජනා හැටියට; මන්ත්‍රී වරුන්ට දෙන විශ්‍රාම වැටුප කපා ගන්න ඕන. ඔය නිල නිවාස කියල ඇමති වරුන්ට හිටපු ජනාධිපතිවරුන්ට දෙන ආරක්‍ෂකයොයි, නිල නිවාසයි කපන්න ඕන.

ඉස්සරහින් පස්සෙන් ආරක්‍ෂකයින් පිරිවරාගෙන යන ප්‍රභූ වාහන කපන්න ඕන. හරිද? ඊට පස්සෙ පාර්ලිමේන්තුවේ දීමනාවක් හම්බ වෙනව දීමනාව හම්බබෙලා, ඊට අමතරව යන හැම පාර්ලිමේන්තු දවසකටම “සිටින් එලවන්ස්” කියලා ආයිත් එකක් හම්බවෙනව.

ඒක කපන්න ඕන. ඊට පස්සෙ පාර්ලිමේන්තු කැන්ටින් එක වහල දාන්න ඕන තේරුණාද? ගෙදරින් කාල එන්න, නැත්නම් බත් එකක් බැඳගෙන ගෙන එන්න කියන්න ඕනෙ. ඊළඟට ඔය ආරක්‍ෂකයො, පොලීසිය, පොලීසියෙන් භාගයක් අද ප්‍රභූ ආරක්‍ෂාවට යොදවල තියෙන්නෙ. ඒවත් අයින් කරල දාන්න ඕන. අන්න ඒ වගේ දේවල් ඊට පස්සෙ තව ගොඩක් දේවල් තියෙනව.

ජනාධිපති මන්දිර ගොඩක් තියෙනව රටේ; නිකම් බොරුවට නඩත්තු කරනව. ඒව වහල දාන්න. නැත්නම් සංචාරක කර්මාන්තයට ගන්න. ඒවගේ යෝජනාවල් ටිකක් අයි.එම්.එෆ්. එක දානව නම් ජනතාවත් කැමතියි. අන්න මරු!අපිත් කපා ගන්නම් කියයි. රටේ අර්බුදය අපි කවුරුත් බෙදා ගමු. ඉස්සෙල්ලා ලොකු තැන් වලින් පටන් ගමු.

අයි.එම්.එෆ්. එක එහෙම යෝජනාවක් දානව නම් ඒකට අපිත් කැමති. අයි.එම්.එෆ්. එකත් කැමතියි. ඒ වගේම තව එකක්.ඔය අයි.එම්.එෆ්. එක යොදා ගන්න ඕන; ඕගොල්ලො ආයෝජකයො එන කොට කොමිස් ඉල්ලන්න එපා. එයාර්පෝට් එකෙන් බහින කොට එක කොමිස් එකයි. බී. ඕ. අයි. එකට එන කොට තව කොමිස් එකයි.

අමාත්‍යාංශයට පේපරේ එනකොට තව කොමිස් එකයි. ඒත් ආයෙ ව්‍යාපෘතිය බලන්න ගියාම තව එකයි. අනුමත කරන දවසට තව එකයි. එහෙම බෑ. අයි.එම්.එෆ්. එක කියන්න ඕන එක බදු ක්‍රමයයි තියෙන්න ඕන ලංකාවෙ.

භාණ්ඩයක් වරායෙන් එනව නම් වරායෙන් බද්ද ගැහුවම බද්ද එන්නෙ ආණ්ඩුවට නම් භාණ්ඩාගාරෙට නම් වරායෙන් එකක් ගහනව, තොග වෙළෙඳ පොලෙන් තව එකක් ගහනව, සිල්ලර වෙළද පොලෙන් තව එකක් ගහනවනෙ. එක භාණ්ඩෙට බදු හතරක් පහක් මොකටද? මිනිස්සුන්ට බද්ද තේරෙන්නෙත් නෑනේ. අයි.එම්.එෆ්. එක කියන්න ඕන එක බද්දක් විතරක් ගහන්න. “වන් ටැක්ස් බේස්’ අන්න හොඳයි. ඒව ඔක්කොම කළාට පස්සෙ ජනතාවත් කියයි “ආ එහෙනම් අපිත් පොඩි කැප කිරීමක් කරන්නම්” කියලා. මොකද දැන් ජනතාව කැප කිරීම කරල ඉවරයි.

තව කැප කරන්නෙ මොනවද? ජනතාව අඳින ඇඳුම් ටිකත් කැප කරලනෙ තියෙන්නෙ. බොන බේත් ටිකත් කැප කරලනෙ තියෙන්නෙ. දැන් මම කියන්නෙ අයි.එම්.එෆ්. එකේ කොන්දේසිය හොඳයි.පිළිගන්නව මං කියනව අයි.එම්.එෆ්. එකට යන්න වෙනව දැන්. හැබැයි, අයි.එම්.එෆ්. එකට යන කොට ඉහළ තැන් වලින් ලොකු කැප කිරීමක් කරන බව මුළු රටට දැනෙන යෝජනා මාලාවක් ගෙනිච්චොත් තමයිනෙ ඕක අනුමත කරගන්න පුළුවන් වෙන්නෙ.

මම කියන්නෙ අයි.එම්.එෆ්. එක අපේ රටේ දූෂණය නැති කර ගන්න කියන එක අපි ලැජ්ජා වෙන්න ඕන වැඩක්. අපිමයි ඒක කර ගන්න ඕන. ඒක කර ගන්නව නම් අපි ඇයි? අපි අයි.එම්.එෆ්. එකට යන්න බය වෙන්න ඕන. මෙහෙම යෝජනාවක් කළොත් අහගන්න අයට අහගන්නයි. ක්‍රියාත්මක කරන අයට ක්‍රියාත්මක කරන්නයි.

පක්ෂයක් මැතිවරණයකට ඉදිරිපත් වෙද්දී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය බලයට පත් වූ විගස ඒ පක්‍ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් බවට ඇතුලත් විය යුතුයි. ඒක ලේසියි. එක වගන්තියක් විතරයි. දාන්න ඕන එක පක්‍ෂයක් නෙවෙයි ඕනෑම පක්‍ෂයක් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය බලයට පත් වූ පසුව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතට ගැනෙයි.කියලා එතකොට බොරු කියන්න බෑ කාටවත් .

ඕනෑම පුද්ගලයෙකුට ගිහිල්ලා “හියුමන් රයිට්” එකක් හැටියට මූලික අයිතිවාසිකම කඩකිරීමක් හැටියට නඩුවක් වුණත් යන්න පුළුවන්. එතකොට කවුරුවත් ඊළඟට ඡන්දෙන් පස්සෙවත් ඒ වැරැද්ද කරන්නෙ නෑ. ඉතින් එක වාක්‍යයයිනෙ දාන්න තියෙන්නෙ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඒක කරනව නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ.

හැබැයි, ඒවගේ ප්‍රශ්නයක් දැන් වුණත් යෝජනා කළොත් අයි.එම්.එෆ්. එක කැමති වෙයි නේද? ණය දෙන්න. දැන් අයි.එම්.එෆ්. එක වගේ ආයතන මූල්‍ය විනයක් ගැන හිතනව නම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තියෙන්න ඕන කියල විශ්වාස කරනව නම් මං කියන්නෙ.

ජාත්‍යන්තර වශයෙන් එවැනි සම්මුතිවලට විනිවිද භාවයක් තියෙන්න ඕන කියල පිළිගන්නව නම් අද රටක් හැටියට රට වැටිල තියෙන තත්වය නිසා අපි මීට පස්සෙ බොරු කියන්නෙ නෑ; අපි රටයි ලෝකෙයි රවට්ටන්නෙ නෑ. රටට බොරු කියන්නෙත් නෑ.

ලෝකෙට බොරු කියන්නෙත් නෑ. අපි වැටිල තියෙන්නෙ වලකට. අපි පොරොන්දු වෙනව; සාමාන්‍යයෙන් එහෙම කියන්නෙ හොඳටම අමාරුවෙ වැටුණම. “දෙයියම්ප අපි කරන්නෙ නෑ”කියනවා. අන්න ඒ මට්ටමට අපි වැටිල නේද තියෙන්නෙ?.

එතෙර - මෙතෙර