ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර කෝටි 100ක වන්දියක් ඉල්ලයි මෙරට අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කරමින් තමන් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් ශානි අබේසේකර කියා සිටින්නේ, කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ගිනිඅවි පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේශ සහගත සහ පළිගැනීමේ චේතනාවෙන් විමර්ශනයක් සිදුකළ බවයි.පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ අත්තනෝමතික තීරණයක් අනුව මෙම විමර්ශනය පැවැත්වුණු බවත් ඔහු පෙන්වා දෙයි