ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනක බිස්නස් ස්ටෑන්ඩර්ඩ් සගරාව සමග සිදුකරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ නුදුරේ දී ම ශ්‍රී ලංකාව විනාශකාරී ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි. දරුණු ආහාර හිඟයක් ගැන ද ඔහු එහිදී අනතුරු අඟවා ඇති අතර අස්වැන්න ඉහළ නැංවීම සඳහා මීළඟ වගා කන්නය සඳහා ප්‍රමාණවත් රසායනික පොහොර මිලදී ගැනීමට ද පොරොන්දු වී තිබිණි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සියලුම රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය නිසා බෝග අස්වැන්න විශාල ලෙස අඩු වූ අතර රජය එම තහනම ඉවත් කර ඇතත් තවමත් සැලකිය යුතු අස්වැන්න වර්ධනයක් සිදුවී නොමැත.
එය එසේ තිබියදී 2022 වසර සදහා වූ ආහාර අර්බුද පිළිබඳ ගෝලීය වාර්තාව ද පසුගිය දා ප්‍රකාශයට පත් වී තිබිණි. ගෝලීය වශයෙන්, සාගින්න මට්ටම් භයානක ලෙස ඉහළ මට්ටමක පවතින බව එහි විශේෂයෙන් සදහන් කර තිබේ. 2021 දී සිදු කරනු ලැබූ සමීක්ෂණවලට අනුව 2022 මැද භාගය වනවිට රටවල් 53 කට අයත් මිලියන 193 කට ආසන්න ජනතාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණ පාන බවත් එය ඉතිහාසයේ පැවති දරුණුතම ආහාර අර්බුදයට වඩා 40 ගුණයකින් වැඩි බවත් මෙම වාර්තාවේ සදහන් ය.
පසුගිය වසර හයක ආහාර අර්බුද පිළිබඳ ගෝලීය වාර්තාවන් හි ප්‍රතිඵල සලකා බැලීමේදී, රටවල් 48ක් පුරා මිලියන 108 ක් පමණ ජනතාව දැඩි ආහාර අනාරක්ෂිතතාවක සිටින අතර හදිසි ආධාර අවශ්‍යව සිටින පුද්ගලයින් සංඛ්‍යාව සියයට 80කින් ඉහළ ගොස් ඇත. 2022 දී ගෝලීය උග්‍ර ආහාර අනාරක්ෂිතභාවය සඳහා වන ඉදිරි දැක්ම 2021 ට සාපේක්ෂව තවදුරටත් පිරිහීමට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් යුක්රේනයේ පවතින යුද්ධයේ ප්‍රතිවිපාක ලෙස ගෝලීය ආහාර අර්බුදයට අමතරව, බලශක්ති සහ පොහොර මිල දැඩි ලෙස ඉහළ යනු ඇති බවට ද පුරෝකතනය කර තිබේ.
මින් යම්තාක් මට්ටමකට හෝ මිදීමට නම් දේශීය වශයෙන් තම සම්පත් සහ හැකියාවන් ප්‍රමාණවත් ලෙස උපයෝගී කොට ගනිමින් තමාට හැකි අයුරින් වගා කටයුතුවල නිරත වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු ය. නමුත් මේ තාක් ඉදිරියේදී මුහුණ දීමට නියමිත ආහාර අර්බුදයේ විශාලත්වය සහ බරපතලකම පිළිබදව ලෝ වාසීන් නිසි ආකාරයේ දැනුවත් භාවයකින් නොසිටීම මෙම තත්වය තවතවත් උග්‍ර කරවනු ඇතැයි විද්වත් මතයයි.
2021 දී රටවල් 36 කට අයත් මිලියන 40 කට ආසන්න ජනතාවක් මෙකී ආහාර අර්බුදයේ හදිසි තත්වයන්ට සහ වඩාත් නරක තත්වයන්ට මුහුණ දෙමින් සිටියහ. ඉතියෝපියාව, දකුණු සුඩානය, දකුණු මැඩගස්කරය සහ යේමනය යන රටවල් හතර ව්‍යසනයට පත්ව කුසගින්න සහ මරණයට මුහුණ දෙමින් සිටියහ. මිලියන භාගයකට අධික ජනතාවක් ඒ හා සම්බන්ධ මන්ද පෝෂණ සහ පාචනය වැනි රෝගී තත්වයන්ගෙන් මිය ගොස් ඇති බවට ද වාර්තා විය. නමුත් 2022 වසරේ මෙම භයානක තත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින් සංඛ්‍යාව 2020 දී නිරීක්ෂණය කළ සංඛ්‍යාව මෙන් හතර ගුණයක් සහ 2016 ට වඩා හත් ගුණයකින් වැඩි වන්නට නියමිත බවට ගණන් බලා තිබේ. 2021 මුල් කාලයේ සිට දකුණු සුඩානයේ දේශීය ආහාර වගාකරණය ආරම්භ කළ ප්‍රදේශ පවා මේ වනවිට සාගතයට මුහුණ දෙමින් පවතී.
මෑත ඉතිහාසය විශ්ලේෂණය කර බැලීමේ දී මේ වනවිට ආහාර අර්බුදයට මුහුණ පා සිටින බොහොයක් රටවලට පොදු කාරණය බවට පත්ව තිබෙන්නේ ඒ රටවල පවතින දේශපාලනික අස්ථාවරභාවයයි. දේශපාලන අස්ථාවරභාවයක් පවතින් සියලුම රටවල් පාහේ ආර්ථික සහ ආහාර අර්බුදවලට කෙමෙන් තල්ලු වී යාම නිරායාස සිදුවීමකි. මේ නිසාම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ ආරථික අස්ථාවරභාවය හේතුවෙන් අපේ රට ද අගෝස්තු මාසය පමණ වනවිට සිතාගත නොහැකි තරම් උග්‍ර වූ ආහාර ආර්බුදයකට ලක් වෙමින් පවතින බව ශ්‍රී ලංකාවාසී සියලු දෙනා අවධානයෙන් යුතුව දැන සිටිය යුතු කාරණයකි.
දුලංජලී මුතුවාඩිගේ