ආහාර ගත් සැනින් නිදා ගැනීම මාරාන්තික වෙන්නත් පුළුවන්

lanka news web sinhala

” කාපු ගමන් නිදා ගන්න එපා. ඒක හොඳ නෑ ” යන්න අතීතයේ වැඩිහිටියන් නිතර පවසන කතාවකි.
සමහරු වැඩිහිටියන්ගේ මේ කතා අවඥාවෙන් බැහැර කරති. තවත් සමහරු එහි ඇත්තක් තිබුණත් නැතත් ඒ පිළිබඳව මායිම් නොකර තමන් කැමති දේ කරති.

නිදාගන්න ඉරියව්වේ දී අපගේ ආමාශය ශරීරයේ උඩ පැත්තට ඒම සාමාන්‍ය ස්වභාවයයි. එවිට එහි බර මහප්‍රාණ මහා ප්‍රාචීරය මතට එනු ඇත.
මහා ප්‍රාචීරය යනු කුමක්ද ? දැන් අපි ඒ ගැන සොයා බලමු.

අපගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට උදව් වන පටල දෙකක් වන්නේ මහා ප්‍රාචීරය සහ අන්තර් පර්ශක පේශීන් ය. මේ දෙකම උරස් කුහරය හා උදර කුහරය අතර ඉල ඇටවලට පිටින් සහ ඇතුළතින් තිබෙන ස්ථර දෙකකි. ආශ්වාසයේදී ඉල ඇට පිම්බෙන අතර ප්‍රශ්වාසයෙහිදී ඉල ඇට හැකිලෙයි.

මේ තත්ත්වය මෙසේ වුවත් පිරිමින්ගේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ දී වැඩි වගකීමක් දරන්නේ මහා ප්‍රාචීරයයි. කාන්තාවන්ගේ එම කාර්යයේ වැඩි වගකීම අන්තර් පර්ශක පේශීන්වලට පැවරේ. ඒ සොබා දහම විසින් නිර්මාණය කර තිබෙන ආකාරය වේ.

පෙනහලුවලට වාතය ගමන් කරන්නට නම් උරස් කුහරයේ බිත්ති විස්තාරණය වී ඇතුළත අඩු පීඩන තත්වයක් නිර්මාණය විය යුතුය. ඒ ආශ්වාසය යි. අනෙක් අතට එම පේශි සංකෝචනය වී ඉල ඇට කූඩුව කුඩා වී පෙනහලුවල ඇති වාතය ඉදිරියට තල්ලු කර හැරිය යුතුය. එවිට ප්‍රශ්වාසය සිදුවේ.

බර ආහාර වේලක් ගෙන එසැණින් නිදා ගත් විට ආමාශයේ බර මහා ප්‍රාචීරය මතට විත් මහා ප්‍රාචීරය තෙරපුමකට ලක් වෙයි. ඉහත ද කී පරිදි මෙය වැඩිපුර බලපාන්නේ පිරිමින්ට ය. අනුරාධපුර මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලෙස වසර විස්සකට වැඩි කාලයක් සේවය කර ඇති බැවින් අනුරාධපුර වන්දනාවේ පැමිණ රාත්‍රියේ නිදි ඇඳේ දී මියගිය පිරිමින් රාශියකගේ පශ්චාත් මරණ පරීක්ෂණ කර අත්දැකීම් රාශියක් මට ඇත. එම මරණවලට එකම හේතුව මෙය නො වූවත් අනෙකුත් හේතූන් සමග මෙම හේතුව ද එම මරණවලට බොහෝ සෙයින් දායක වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකි වුණි.

සාමාන්‍යයෙන් විනෝද ගමනක් වන්දනා ගමනක් යන විට ඕනෑම කෙනෙකු තුළ ඇති වන්නේ ප්‍රීතිමත් මානසිකත්වයකි. මෙහිදී තමාට රෝගයක් ඇත්නම් එම හැඟීම ද මනසින් බැහැර වී යයි. ඇතැම් විට තමන්ගේ රෝගයකට දිගින් දිගටම නොකඩවා ඖෂධ ගන්නා රෝගියෙකු හට එම ඖෂධ රැගෙන යාමට අමතක වීම, රැගෙන ගියත් වෙලාවට ගැනීමට අමතක වීම වැනි දේ සිදුවීමට බහුල ඉඩකඩක් පවතින අතර රෝගීන්ට ද තමන් තුළ තිබෙන ප්‍රීතිමත් හැඟීම (Euphoria state) නිසා වේලක් දෙකක් ඖෂධ මග හැරී යාම වරදක් සේ හැඟෙන්නේ නැත. වෙනදාමෙන් වෙලාවට කෑම බීම ගැනීමක්ද සිදු නොවේ.

මේ නිසා උදේ ආහාරය දිවා කාලයේත්, දිවා ආහාරය සවස් කාලයේත් ගැනීමට තිබෙන ඉඩකඩ වැඩි ය. බොහෝ පිරිමින් සවසට මත්පැන් පානය කර රෑ මැද යාමයේ ආහාර ගෙන හිටි තැනම නින්දට වැටෙනු ඇත. මෙම පිරිමින්ගේ භාර්යාවන් වෙනදාට තම සැමියා ගේ බෙහෙත් වේල, ආහාර වේල ගැන සැලකිල්ලක් උනන්දුවක් දක්වමින් ඔවුන්ගේ යහපත පිණිස නීතිරීති දමා යම් පාළනයක් කළත් මෙබඳු විනෝද ගමන්වලදී බොහෝ විට ඔවුන්ට රිසි සේ සතුටු වෙන්නට ඉඩ හරිනු විනා වෙනදාමෙන් පාළනය කරන්නට යන්නේ නැත. එනිසා මෙවැනි අවස්ථාවලදී මත්පැන් සිගරැට් භාවිතය, බෙහෙත් වේල් මගහැරීම, බොහෝ රෑ බෝ වී ආහාර ගැනීම, විඩාබර බව මේ සියල්ල නිසා ආහාර ගත් සැනින් නින්දට යාම යන තත්ත්වයන් මත මහා ප්‍රාචීරය මත බර වැඩි වී ආශ්වාස ප්‍රශ්වාසය අඩුවී නොදැනුවත්වම නින්දෙන් මිය යාමට ඉඩ තිබේ. විශේෂයෙන් මැදිවියේ සහ මැදිවිය ඉක්ම වූ පිරිමින් මෙලෙස විනෝද ගමන්, වන්දනා ගමන් පැමිණ මිය යාමේ යම් ප්‍රවණතාවයක් ඇත.

නමුත් කුමන වයසක පසුවන අයකු වුවත් බර ආහාරයක් ගත් සැනින් නින්දට යාම සුදුසු නොවේ. එසේ වුවද සිරුරේ කඳ කොටස ඉහළට සිටින සේ හාන්සි පුටුවක දිගාවී නිදා ගැනීම එතරම්ම බලපෑමක් ඇති කරන්නේ නැත.

අනෙක් අතට බලන විට ආහාර ගත් විට එය ජීර්ණය කිරීම සඳහා බඩවැලට වැඩිපුර රුධිරය බෙදාහැරීම සිදු කරයි. ඒ අනුව මොළය සහ සිරුරේ අනෙකුත් අවයවවලට යවන රුධිර ප්‍රමාණය යම් පමණකට අඩු වන්නට පුළුවන. නින්දට පෙර ගන්නා බර ආහාරයක් ජීර්ණය කිරීම සඳහා රුධිරය වැඩිපුර ආහාර මාර්ගයට යාම, ආහාර ගත් සැනින් නින්දට යාමේදී මහා ප්‍රාචීරය තෙරපුමට ලක් වීම යන කරුණු මත හෘදය වස්තුවට ආපසු එන රුධිර ප්‍රමාණය අඩු වේ. එවිට හෘදය වස්තුවට පොම්ප කරන්නට රුධිරය අඩු වන්නට පුළුවන. එසේම ශ්වසනය සෙමින් සිදුවන විට ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ද අඩු වෙයි.

ඔක්සිජන් සිරුර පුරා ගෙන යන්නේ රුධිරය මඟිනි. රුධිරයෙහි ඔක්සිජන් අඩු වන විට ශරීරයේ අනෙකුත් වැදගත් අවයවවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වනු ඇත. මේවා ද යම් පුද්ගලයකු මරණය කරා කැඳවා ගෙන යා හැකි හේතූන් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒ අනුව බර ආහාරයක් ගත් සැණින් නින්දට වැටීමේ අවදානමක් තිබෙන බව ඔබට පැහැදිලි වී ඇතැයි සිතමු.

විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්න

ඉන්දු පෙරේරා

 

ඉරා අදුරුපට