ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතා කමිටුව ප්‍රථම වරට රැස්වේ

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) රැස් වී තිබේ.

සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කරලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කර තිබේ.

සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන කළ බවයි සඳහන් වෙයි.

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු අතර නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට මෙහිදී උපදෙස් දී තිබේ.

කාලීන පුවත්