ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී  රැස්ව තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇති අතර එම අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කර තිබෙන බවයි සඳහන් වෙයි.

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි .

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති අතර නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවයි මෙහිදී අවධාරණය කර තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.

වී මිලදී ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා විසින් කමිටු සාමාජිකයින්ට උපදෙස් දී ඇත.

ඒ අනුව, ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

කාලීන පුවත්