නිතර ඇඟපතේ වේදනා ඇතිවීම වැඩිහිටියන් තුළ බොහෝ විටම දක්නට ලැබෙන දෙයකි. කිසිම පැහැදිලි හේතුවක් නොතිබුණත් “ඇඟපත තලා දැම්මා වගේ” යැයි මැසිවිලි නගන වැඩිහිටියන් සුලභ ය.
බොහෝ වැඩිහිටියන් පෙළෙන මේ අමාරුවට හේතුව සහ එයින් අත්මිදෙන්නේ කෙසේ දැයි අපි සොයා බලමු.
මෙවැනි තත්ත්වයකදී බොහෝ අයට මතුවන ගැටලුව නම් මේ සඳහා හමුවිය යුත්තේ ස්නායු වෛද්‍යවරයෙක්ද, නැතහොත් අස්ථි සම්බන්ධ වෛද්‍යවරයෙක්ද, නොඑසේ නම් වෙනත් අංශයකට සම්බන්ධ වෛද්‍යවරයෙක් ද යන්න හරිහැටි වටහාගත නොහැකි වීමයි.
තරුණ වයසේ දී නම් දිවා කාලයේ කොයිතරම් වෙහෙසුණත් අපහසුවක් නැතිව නින්දට යාමේ හැකියාව තිබිණි. ටිකෙන් ටික වයසට යද්දී එදා කළ බොහෝ දේවල් කිරීමේ හැකියාව නැතිව යයි. මෙසේ වීමට හේතුව කුමක්ද?
ඔබ ඇඳක වැතිරී නිදා සිටින විට මුළු ශරීරයේම බර අත්, හිස ආදී අවයවයන්ට බෙදී ගොස් ඇඳ මත විසිරී පවතී. එහෙත් නැවත පිටකොන්ද කෙළින් තබාගෙන වාඩිවූ විටදී මුළු ශරීරයේම බර පිටකොන්ද වට කරගෙන ඇති මාංශ පේශීන් මගින් පිටකොන්දට කෙළින්ම යොමු කරයි. සිටගෙන සිටින විට සියලු බර යොමු වන්නේ පාද සහ පිට ප්‍රදේශයටයි.
කෙළින් සිටුවා ඇති උස කණුවක ඉහළ යම් තැනක සිට සෑම දිශාවකටම නූල් ඇද ඇතැයි සිතන්න. එම නූල් බිමට ද සම්බන්ධ කර තිබේ නම් උස කණුව බිම ඇද වැටෙන්නට හැකියාවක් නැත. කණුව යම් පැත්තකට ඇල වුණත් කණුවේ බර අනෙක් පැතිවලට සම්බන්ධ නූල් මගින් දරාගන්නා නිසා එවිටද කණුව බිමට වැටෙන්නට ඉඩක් නැත.
අපේ පිට පුරාමත් යම් ආකාරයක නූල් ඇති අතර ඒවා මාංශ පේශිවලට හොඳින් සවි වී ඇත. අප කෙළින් සිටගත් විට පිට පුරා ඇති මෙම මාංශ පේශීන් අතට හසු කරගත හැකිය. මෙලෙස මාංශ පේශි පිටකොන්දට තබා සවි කරන ලද නූල් තරුණ වයසේදී ඉතා ශක්තිමත් ය. නමුත් අප වියපත් වන විට මේවායේ ඇති ශක්තිමත් බව අඩුවී දිරන ලද කඹයක පොල් කෙඳි එක දෙක කැඩී අඩු වන ආකාරයට මාංශ පේශි ගැට ගසා ඇති නූල් ද කැඩෙන්නට බිඳෙන්නට පටන් ගනී.
දිරා ගිය කඹයකට දැරිය හැකි වන්නේ සුළු බරකි. ශක්තිමත්ව තිබූ කාලයේදී මෙන් බොහෝ බර දරන්නට වෑයම් කිරීමේ දී දිරා ඇති කඹයේ සියුම් පොල් කෙඳි එක දෙක කැඩී යාමද සිදුවෙයි. අප වියපත් වීමත් සමග මාංශ පේශි දරා සිටින නූල්වල ඇති ශක්තියද හීන වීම ස්වභාවයෙන්ම සිදුවන දෙයකි. එවිට අප යම් වැඩක නිරතව සිටින විට පෙර කී නූල් සෑදී ඇති සිහින් කෙඳිවල ද කැඩුම් බිඳුම් හටගනී. එහෙත් එම කෙඳිවලට හානි පැමිණිවිට එය වේදනාවක් ආකාරයට අපගේ ශරීරය ඒ මොහොතේම අපට දන්වන්නේ නැති නිසා සියල්ල දුර දිග යන තරමට වැඩ සලස්වයි. කිසිදු වේදනාවක් නොදැනෙන නිසා පටන් ගත් වැඩය දිගටම කරගෙන යාම නිසා කැඩුම් බිඳුම් හටගත් කෙඳිවලට තව තවත් හානි ඇතිවේ.
මෙහිදී වැඩපළවල යෙදීම යනුවෙන් අදහස් කළේ කය වෙහෙසා වැඩ කිරීම පමණක් නොවේ. එක දිගට බොහෝ වේලා සිටගෙන සිටීම, අපහසුවෙන් බස් රථයක දිගු ගමනක යෙදීම, පුටුවට පිට බර කර නොගෙන බොහෝ වෙලාවක් පරිගණකය සමග සිටීම හෝ රූපවාහිනිය නැරඹීමද බරපතල වැඩ ගණයටම වැටෙන ක්‍රියාකාරකම් ය.
අපි මෙහෙම හිතමු.
කිලෝ හැත්තෑවක් බර පුද්ගලයකු පැය තුන හතරක් බස් රථයක හිටගෙන ගමන් කළොත් ඔහු ඒ මුළු කාලය තුළ ම සිටින්නේ කිලෝ හැත්තෑව ඔසවාගෙන ය. ඇඳක වැතිරී සිටින විට ඒ සියලු බර සිරුර පුරා විසිරී පැවතියත් බස් රථයක සිටගෙන ගමන් කරන විටදී ඒ කිලෝ හැත්තෑවම දරන්නේ සිරුරේ යම් කොටසක් පමණි. එය ඒ පුද්ගලයාටවත් නොහැඟෙන්නකි. නමුත් එවැනි බරක් සාමාන්‍ය පුද්ගලයකුට දෑතින්වත් ඔසවා ගත හැකිද? ආධාරකයක් නැතිව එවැනි බරක් තව තවත් දරා සිටීමෙන් වන හානිය ඔබට සිතා ගන්නට අසීරු නැතැයි සිතමු.
අප වීරයන් සේ කෙළින් සිටගෙන සිටින්නේ මාංශ පේශි මුළු ශරීරයම දැඩිව ග්‍රහණය කරගෙන සිටින නිසා ය. යම් මොහොතක ඒ සියලු මාංශ පේශි තම ග්‍රහණය මුදා හැරියොත් සිදුවන්නේ කුමක්ද? එවිට කෙළින් සිටින්නට බැරිව අපේ ශරීරය කඩා වැටෙයි. මේ අනුව අපට නොදැනුණද අපේ මුළු ශරීරයම ඔසවාගෙන සිටින්නේ කවුරුන්දැයි දැන් ඔබට වැටහිය යුතුය.
අප වියපත් වනවිට පෙර කී නූල් දිරාපත්ව අපේ ක්‍රියාකාරකම් සමග ඒවා සෑදී ඇති කෙඳි කැඩී බිඳී ගියද කොහු ලණුවේ කෙඳිවලට වූ හානිය මෙන් ඒ හානිය හැමදාටම වූ හානියක් වන්නේ නැත. අපේ ක්‍රියාකාරකම් සමග නැවත නැවත සිදුවන ඒ කැඩීම් බිඳීම් එලෙසම පවතිනවා නම් අවුරුදු හතලිහක් පනහක් වන විට අපට කෙළින් සිට ගන්නට පිටක් කියා දෙයක් ඉතිරි විය හැකිද? අපේ යම් වාසනාවකට එම සියුම් කැඩුම් බිඳුම් අපේ ලේවලම ඇති විවිධ සෛල වර්ග මැදිහත් වී නැවත පිළිසකර කර දීම අවුරුදු හැට හැත්තෑවේදී පවා කෙළින් කටින් ඉන්නට අපට මග පාදයි.
එහෙත් මෙලෙස කැඩී බිඳී ගිය නූල් නැවත පිළිසකර කර දෙන්නේ අප විවේක සුවයෙන් කල් ගෙවන විටදී පමණි. ඒවා කැඩී බිඳී හානි වූයේ පැය ගණනකට පෙර අප යම් ක්‍රියාකාරකමක නියැලී සිටියදී වුවද, ඒවායේ වේදනාව අපට දැනෙන්නට පටන් ගන්නේ අප විවේකයෙන් සිටින වෙලාවක් බලා ඒවා පිළිසකර කරන ක්‍රියාවලිය ශරීරය ඇතුළෙන් ආරම්භ වූ විටදී ය. එම වේදනාව යනු අපට විවේකීව සිටින ලෙසට ශරීරය විසින් දෙනු ලබන ඉඟියකි. එවිට කළ යුතු එකම දෙය නම් වේදනාව ගෙන දෙන කොටසට හැකි තරම් විවේකය ලබාදීම පමණි. අවශ්‍ය නම් පැරසෙටමෝල් වර්ගයකින් හෝ වෙළඳ පොළෙන් මිලදී ගත් බාම් වර්ගයකින් සහනයක් ලබා ගැනීම ප්‍රමාණවත් ය.
එහෙත් කරන්නට ඇති වැඩ නිසා ඒ විවේකය ලබා නොගෙනම දිගින් දිගටම වැඩ කරන විට ශාරීරික වේදනාව සුව වන්නේ නැත. අන්තිමේ ශාරීරික වේදනාවෙන් අත්මිදෙන්නට විශේෂඥ වෛද්‍යවරයකු සොයා යන්නට බොහෝ අය පෙළඹෙති.
මෙය කොයි තරම් ස්වභාවික තත්ත්වයක් වුවද විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර පැතූ විටදී එම වෛද්‍යවරයා කිසිදු බෙහෙතක් නොදී හිඳින්නේ නැත. වෛද්‍යවරයා සතියකට හෝ දෙකකට යම් බෙහෙතක් නිර්දේශ කළ හැකි අතර එතැන් පටන් රෝගියා කරන්නේ වේදනාව හටගන්නා වාරයක් පාසා බෙහෙත් තුණ්ඩුවේ සඳහන් බෙහෙත හිතුමතේ ගැනීම ය.
ඉහත විස්තර කළ වේදනාකාරී තත්ත්වය මිනිස් සිරුර තුළ සිදුවන ඉතාමත් ස්වභාවික සහ හිතකර ක්‍රියාවලියකි. නමුත් එය රෝගයක් කොට ගනිමින් නැති ලෙඩකට දිගින් දිගටම බෙහෙත් දීමෙන් වන හානිය ඔබට සිතා ගන්නට බැරි තරම් ය.
එහිදී ලබාදෙන ඖෂධ මගින් වේදනාව සහමුලින් අතුරුදන් විය හැකි අතර ස්වභාවිකව සිදුවන පෙරකී පිළිසකර කිරීමේ ක්‍රියාවලිය ද එසැණින් නතර වී යයි. දැන් කිසිදු වේදනාවක් නොදැනෙන නිසා අපට දැනෙන්නේ විශාල සහනයකි. එහෙත් ලබාදුන් බෙහෙත් නිමා වීමත් සමඟ වේදනාව දනවමින් පිළිසකර කිරීමේ රාජකාරිය ශරීරය නැවත ආරම්භ කරයි. නැවත අප එය ඉවසන්නේ නැත. ඉන්පසු දිගින් දිගටම නැවතත් අර බෙහෙත් ෆාමසියෙන් ගෙන ලබා ගැනීමට පෙළඹෙන අතර දිගින් දිගටම මේ බොන්නේ නැති ලෙඩකට බෙහෙත් ය. මේ ක්‍රියාවලිය අප නතර නොකරනවා සේම, අපේ ශරීරය නතර කරන්නේ ද නැත.
දිගින් දිගටම ගන්නා මෙම ඖෂධ ආමාශයට හිතකර නොවේ. වකුගඩු ගැටලු ඇති අයගේ වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන්නටත් , බඩේ තුවාල හටගන්නටත් මෙම ඖෂධ හොර රහසේම හේතුකාරක වන බව කිසි තැනකදී හෙළිදරව් වන්නේ නැත. ඒ සියල්ල සිදුවන්නේ ඉතා සෙමෙන් සහ රහසිගතව නිසා ය.
මේවා මේ අයුරින්ම සිදුවී කාලයක් ගතවන විට රෝගියා මියගියත් එම මරණයට හේතුව එය යයි හෙළිදරව් වීමක් සිදු වන්නේ ද නැත. ඒ නිසා කිසිවකුට මින් පාඩමක් ඉගෙන ගන්නටද ඉඩ නොලැබේ. එම නිසාම එකම වරද දිගින් දිගටම කාටත් හොර රහසේ මෙසේ සිදුවෙමින් පවතින අතර මතු දවසක අපේ දරු පරපුර ද මෙම ඛේදවාචකයටම මුහුණ දෙනු ඇත.
හොඳට සිටි මිනිසුන් විශාල ප්‍රමාණයක් එකවරම සුනාමියකින් මිය යෑම පිළිබඳව කාලයක් පුරා මිනිසුන් දැඩි කම්පාවෙන් කතා කරනු ඇත. එහෙත් එවැනිම හොඳින් සිටි මිනිසුන් කාලයක් පුරා එකා බැගින් විශාල පිරිසක් මිය ගිය ද එය කාටවත් දැනෙන්නේ ඇත. සිදුවූයේ කුමක්දැයි කිසිවකු දන්නේ ද නැත.
අවුරුදු හතළිහ, පනහ, හැට පසු කරමින් වියපත් පැත්තට ගමන් කරද්දී ඊට සමගාමීව වගකීම් මෙන්ම කළ යුතු වැඩ කොටසත් වැඩි වුවද ශරීර ශක්තිය නම් අඩුවනවා මිස වැඩි නොවේ. එවිට දරා ගැනීමේ ශක්තිය අඩුවී මාංශ පේශී කඩා වැටීම අපට දැනෙන්නේ නැත.
මුලින් සඳහන් කළ පරිදි ශරීරය තුළ නැවත පිළිසකර කිරීම් සිදුවන්නේ අපේ සිරුර විවේකයෙන් සැතපී ඇති විට නිසා ඇඟේ අමාරුව වැඩිපුර දැනෙන්නේ උදෑසන අවදි වන විට ය. “ඇඳෙන් නැගිට ගන්න බෑ, මුළු ඇඟම රිදෙනවා” යැයි කියමින් ඖෂධ ගැනීමෙන් හානියක් මිස සිදුවන යහපතක් නැත්තේ එය ස්වභාවික තත්ත්වයක් මිස රෝගයක් නොවන නිසා ය. ඒ වේදනාවට ස්නායු රෝග, නහර පිළිබඳ හෝ අස්ථි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු යන කවුරුන් වෙත ගියත් ලබා දෙන ඖෂධය එකම ය. ඇඟේ අමාරුවට යැයි කියා අවුරුදු තිස් පහේදී බෙහෙත් බොන්නට පටන් ගත් අයෙකුගේ ශරීරයට අවුරුදු හතලිස් පහ වන විටදී සිදුවිය යුතු සියල්ල සිදුවී අමාරු ය. මෙලෙස රෝගයක් නොවන තත්ත්වයන්වලට නිකරුණේ බෙහෙත් ගැනීමෙන් සිදුවන හානිය අවබෝධ කර නොගන්නා තාක් තමාට සිදුවන හානිය තමාම දන්නේ නැත.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සැකසුම – ඉන්දු පෙරේරා