ඇත් ගොව්වන් සඳහා NVQ-4 පාඨමාලාවක් ඇරඹෙයි

ආධුනික හස්ති භාරකරුවන්(ඇත්ගොව්වන්)ලෙස ජාතික වෘත්තීය නිපුනතා NVQ සහතික පාඨමාලාවේ පුහුණුව සඳහා පළමුවරට බඳවා ගත් 15 දෙනකු පසුගියදා(18) පින්නවලදී සිය පුහුණුව ආරම්භ කරන ලදී.සය මාසික නේවාසික පාඨමාලාවක් වන මෙම පාඨමාලාව අවසානයේදී හස්ති භාරකරුවන් වෙත NVQ-4 මට්ටමේ සහතිකයක් වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පිරිනමනු ලබයි.ජාතික සත්වෝද්‍යානය මගින් මේ පුහුණුවට අයදුම්පත් කැඳවා තිබූ අතර පළමු කණ්ඩායම ලෙස මෙම ආධුනික හස්ති භාරකරුවන් 15 දෙනා පුහුණුව ආරම්භ කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.අලිඇතුන් බලාගැනීම සම්බන්ධව පසුගිය කාලයේ විවිධ ගැටලු මතුවීම හේතුවෙන් ඇත්ගොව්ව්න්ට අලිඇතුන් බලාගැනීම සම්බන්ධව විද්‍යානුකූල පුහුණුවක් ලබාදීම අරමුණු කරගනිමින් ජාතික සත්වෝද්‍යානය මගින් මෙම පාඨමාලාව ආරම්භ කොට තිබේ.මාස 06 ක පුහුණුව  නිම කරන ආධුනික හස්ති භාරකරුවන්ට පිරිනමනු ලබන මෙම NVQ-4 සහතිකය සතුන් සංරක්ෂණ කටයුතු සම්බන්ධ රැකියා සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.හීලෑ අලි ඇතුන් හිඟයක් දැනට රට තුළ පවතින බැවින් ජනාධිපති කාර්ය සාධක බලකාය,ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය එක්ව අලි ඇතුන් අභිජනන වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ.

කාලීන පුවත්