නිරෝධායන ඇඳිරි නීතිය පනවා මේ වන විට මසකට ද ආසන්න ය. රජය ඉදිරිපත් කරන දත්ත අනුව නිරෝධායන ඇඳිරි නීතිය සාර්ථක ය. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හා කොවිඩ් මරණ අඩුවී තිබේ. නමුත් පී.සී.ආර් පරික්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ද අඩුවී ඇත.
කොවිඩ් රෝගීන් අඩුවීමට හේතුව පරීක්ෂණ අඩුවීම නොව නිරෝධායන ඇඳිරි නීතිය බව රජයේ පාර්ශව පුරාජේරුවෙන් ප්‍රකාශ කර සිටිති. මෙය නිරෝධායන ඇඳිරි නීතිය ලෙස හැදින්වුවද ඇදිරි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත ප්‍රකාරව ය. ඊට හේතුව ලොක්ඩවුන් හෝ ෂට් ඩවුන් කරන්නට අවශ්‍ය නීති තවමත් රජය සම්පාදනය කර නොමැති නිසාය.
අප තමත් කොවිඩ් වෙනුවෙන් නීති පනවන්නේ 1880 ගණන් වලදී සුදු ජාතිකයන් විසින් සම්මත කරන ලද වසංගත රෝග වැළැක්විමේ පනත යටතේ ය. එහිදී රට වසාදැමීමේ බලයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නැත. එම නිසා රජය ඇඳිරි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව ය.
මහජන ආරක්ෂක පනත ප්‍රකාරව පනවන ලද ඇදිරි නීතිය ඇඳිරි නීතියක් ද යන්න ජනතාව තුළ ගැටළුවක් මතු කර තිබේ. මන්ද ඇඳිරි නීති කාල සීමාව තුළ මාර්ගයේ ගමන් නොකරන්නේ ගුවන් යානා හා නැව් පමණකි. අනෙක් සියළු වාහන මාර්ගයේ ගමන් කරයි.
සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටියේ විද්‍යාත්මක රට වසා දැමීමකි. නමුත් රජය ලබාදී ඇත්තේ වාහන හිමියන්ට රිසි සේ ගමන් කළ හැකි ඇඳිරි නීතියකි. වෙළෙද සැල් විවෘතව පවතියි. සුපිරි වෙළෙද සැල් කොටස් වශයෙන් ජනතාව ඇතුළත් ගෙන භාණ්ඩ අලෙවි කරති. මහ මග ජනතාව රිසි සේ ගැවසෙති. එසේම රජය ඇඳිරි නීතිය ද පනවා තිබේ.
මුලින් රජය දැනුම් දුන්නේ ඇදිරි නීති කාලය තුළ ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් බව ය. පසුව සියළු සේවා අත්‍යවශ්‍ය සේවා විය.. රජය මුලින් සදහන් කළේ ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට අවසර දෙන බව ය. එසේම ජංගම අලෙවි රථවලට ප්‍රමුඛස්ථානය දෙන බවද දැනුම් දුන්නේය. දැන් සියළු වෙළෙද සැල් සාමාන්‍ය පරිදි විවෘත කර තිබේ.
රජය පළමුව ඇඳිරි නීතිය පැනවූවේ අගොස්තු මස 20 දා රාත්‍රී 10.00 සිට අගෝස්තු 30 දා අළුයම 4.00 තෙක් ඇඳිරි නීතිය පනවන බව ය. පසුව එය සැප්තැම්බර් 13 දා දක්වා දීර්ඝ කළ අතර ඉකුත් සතියේ එය සැප්තැම්බර් 21 දා අළුයම 4.00 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කරනා ලදි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ලොතරැයි අලෙවි කිරීමට ද රජය මේ වන විට අවසර ලබාදී තිබේ. ඒ අනුව දැනට වසා දමා ඇත්තේ මත්පැන් අලෙවිසැල් පමණකි. නිරෝධායන හේතුවෙන් මේ දක්වා රැකියා නොමැති වූ එක් කාණ්ඩයක් වූවේ ලොතරැයි අලෙවිකරුවන් හා පෞද්ගලික බස්රථ සේවකයන් පමණකි. අනෙක් පිරිස් හැකි අයුරින් තමන්ගේ රැකියා කළහ.
රජයේ ප්‍රධාන බදු ආදායම් අතරින් ඉහළින්ම පවතින්නේ මත්පැන් ආදායමය. දෙවෙනිය ලොතරැයි අලෙවිය පැවතිනි. දැන් රජයට ලැබෙන එක් ආදායම් මාර්ගයක් විවෘතව පවතියි. ඉදිරියේදි අනෙක් ආදායම් මාර්ගය ද විවෘත කරනු නොඅනුමාන ය.
ලබන 21 දා සිට දැඩි සිමා යටතේ රට විවෘත කිරිමට රජය සැලසුම් කර ඇත. දැඩි සිමා යටතේ රට විවෘත කිරිමෙන් ඵලක් ඇතිද යන්න ගැටළු සහගත ය. මන්ද මේ වන විටත් රට 80% ක් විවෘතව පවතින බැවිනි. පොදු ප්‍රවාහන සේවා නවතා දැමීම තුළ වෛරසය ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවා මගින් යන්න රජය අනුමාන කරනවා විය හැකිය. එසේම මෙලෙස ඇඳිරි නීතිය පැනවීමෙන් වෛරසය නිවසට වී සිටිනවා යැයි රජය සිතනවා විය හැකිය
රජයේ නිගමනය අනුව මිනිසුන් මහා මාර්ගයේ ගමන් කළද ඇඳිරි නීතිය පනවා ඇති බැවින් වෛරසය නිවසට වී සිටිනු ඇත. නමුත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කීවේ මෙවැනි ඇඳිරි නීතියකින් ඵලක් නැති බවය. පී.සි.ආර් පරික්ෂණ අඩු කොට රෝගීන්ගේ අඩුවක් පෙන්වා තිබේ.
රජය ජුලි මස අග හා අගෝස්තු මස මුල් කාලයේ දිනකට කොවිඩ් පරික්ෂණ 25000 ට ආසන්න සංඛ්‍යාවක් සිදු කළහ. මේ වන විට දිනකට සිදුකරන පරික්ෂණ සංඛ්‍යාව 10000 සිමාවේ පවතියි. එදා පී.සි.ආර් පරික්ෂණ 20000 ක් කරද්දී රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 5000 ක් පමණ කළහ. එය පී.සි.ආර් 15000 ක් රැපිඩ් ඇන්ටිජන් 4000 ක් ලෙස අඩුවී ක්‍රමානුකූලව එය මේ වන විට සියළු පරික්ෂණ දස දහසේ සීමාවට ගෙනවිත් තිබේ.
රජය මේ පැනවූ ඇඳිරි නීතියේ ප්‍රතිඵල බලාගත හැක්කේ නැවත පොදු ප්‍රවාහන සේවයන් හා රාජ්‍ය ආයතන විවෘත කළ පසුව ය.
ලසන්ත වීරකුලසූරිය