ඇමරිකානුවන් ට්‍රම්ප්ව තෝරා ගත්තේ ඇයි?

පසුගිය 5 වැනි දින පැවැත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා. ඔහු මෙවර තේරී පත් වූයේ දෙවැනි ධුර කාලයක් සඳහා යි. 2017 ජනවාරි සහ 2021 ජනවාරි අතරයි ඔහු පළමු ධුර කාලයේ කටයුතු කළේ. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූ අතර එයින් ජයගත් ජෝ බයිඩ්න් 2021 ජනවාරි මාසයේ ජනාධිපති පදවියට පත් වුණා.

එක් ධුර කාලයකින් පසු පරාජයට පත් වූ ජනාධිපතිවරයකු පසුව තවත් ධුර කාලයක් සඳහා පත් වීම ඇමරිකානු ඉතිහාසයේ තරමක් දුර්ළභ සිදුවීමක්. එවැන්නක් මෙයට කලින් සිදු වී තිබුණේ 1893 වසරේ යි. එනම් මෙයට වසර 131 කට කලින්. ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් නැමැති ජනාධිපතිවරයා 1885 සිට 1889 දක්වා සිය පළමු ධුර කාලයේ කටයුතු කර එයින් පසු පරාජයට පත් වී නැවතත් 1893 ජනාධිපති ධුරයට පත් වුණා.

ට්‍රම්ප් ජනාධිපතිවරණයට තරග කළේ රිපබ්ලිකන් පක්‍ෂයෙනු යි. ඔහු අතින් පරාජයට පත් වූයේ ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් තරග කළ වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස්. ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද ජනමත සමීක්‍ෂණවලින් පෙන්නුම් කළේ ඇය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති බවයි. නමුත් එම සමීක්‍ෂණ වාර්තා සියල්ල බොරු කරමින් ට්‍රම්ප් විශිෂ්ට ජයක් හිමි කරගත්තා.

ට්‍රම්ප්

මෙයට වසර 4 කට පෙර ඇමරිකානු ඡන්දදායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද ට්‍රම්ප් නැවත මෙවැනි කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වූයේ කෙසේද?

පසුගිය කාලයේ ඇමරිකානු ජනතාව වඩාත්ම පීඩාවට පත් කළ කාරණයක් වූයේ එරට ජීවන වියදම බෙහෙවින් ඉහළ ගොස් තිබීම යි. මේ නිසා එරට ජනගහණයෙන් විශාල පිරිසක් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියා. වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් මේ නිසා ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක් වෙමින් සිටි ආකාරයකුත් දැකිය හැකි වුණා.

මෙම ජීවන වියදම පිලිබඳ සාධකය ට්‍රම්ප්ට වාසිදායක ආකාරයෙන් බල පෑ බවයි පෙනුණේ. ආර්ථිකය වඩාත් හොඳින් කළමනාකරණය කළ හැක්කේ කාටදැයි පසුගිය කාලයේ ජනමත සමීක්‍ෂණවල දී ඡන්දදායකයන්ගෙන් විමසූ විට ඔවුන් වැඩි දෙනෙකුගේ පිලිතුර වී තිබුණේ ට්‍රම්ප්ට යන්න යි.

කෙසේ හෝ වේවා ට්‍රම්ප් ජීවන වියදම අඩු කිරීමට යන්නේ කෙසේද යන්න තවම හරියටම පැහැදිලි නැහැ. සමහර බදු වර්ග අඩු කිරීමට පියවර ගන්නා බව ඔහු ජනාධිපතිවරණ සමයේ ප්‍රකාශ කළා.

කමලා හැරිස්

ඇමරිකානු ජනතාව මුහුණ දී සිටින තවත් දරුණු ගැටලුවක් සේ සැලකෙන්නේ එරටට ඇතුල්වන නීති විරෝධී සංක්‍රමණිකයන් පිලිබඳ ප්‍රශ්නය යි. මෑත කාලයේ මෙම සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් තිබුණා. විශේෂයෙන් මෙක්සිකෝ දේශ සීමාව හරහා ඇතුල් වන සංක්‍රමණිකයන් කාලයක සිටම ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙම දේශ සීමාව ඔස්සේ ඉදි කෙරුණු වැටක් තවත් දීර්ඝ කිරීමේ කටයුත්තකට ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ මුල පිරුවා.

නීති විරෝධී සංක්‍රමණිකයන් නිසා ඇමරිකානු තරුණයන් ගේ වැටුප් අඩු වීමක් සහ විරැකියාව ඉහළ යාමක් සිදු වෙනවා. ජීවන වියදමත් ඉහළ ගොස් තිබිය දී මෙය ජනතාවට දැඩිව දැනෙන ප්‍රශ්නයක්. ට්‍රම්ප් මේ ප්‍රශ්නයටත් යම් විසඳුමක් දෙනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. තමා නැවත බලයට පැමිණි විට කලින් සඳහන් කළ වැටේ වැඩ කටයුතු අවසන් කරන බවක් ඔහු පවසා තිබුණා. එමෙන්ම නීති විරෝධී සංක්‍රමණිකයන් විශාල වශයෙන් රටින් පිටමං කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරණයේ දී අවධානයට ලක් වූ ප්‍රධානම කාරණා දෙක ලෙස සැලකෙන්නේ මෙම ජීවන වියදම සහ සංක්‍රමණිකයන් පිලිබඳ කාරණා යි.

මේ අතර ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතා කළ කතාවේ දී ඔහු කළ එක් ප්‍රකාශයක් වූයේ තමා යුද්ධ නතර කිරීමට කටයුතු කරන බවයි. ‘මම ආපුවම ආපහු යුද්ධ පටන් ගනියි කියල සමහරු කිව්වා. නමුත් මම කිසිම යුද්ධයක් පටන් ගන්න යන්නේ නැහැ. මම කරන්නේ යුද්ධ නතර කරන එකයි” ඔහු ප්‍රකාශ කළා. එය බොහෝ දෙනාගේ අවධානය යොමු වූ ප්‍රකාශයක් වුණා.

මේ වනවිට ලෝකයේ ඉදිරියට යමින් ඇති ප්‍රධාන යුද ගැටුම් දෙකක් සමග ඇමරිකාව වක්‍රාකාරයෙන් පැටලී සිටින බව රහසක් නොවෙයි. ඒ යුක්රේන යුද්ධය සහ ගාසා යුද්ධය යි.

යුක්රේනය සහ රුසියාව අතර යුද්ධයේ දී ඇමරිකාව යුක්රේනයට සහය දෙමින් ඔවුන්ට ඩොලර් බිලියන ගණනින් යුද ආධාර සපයනවා. මෙවැනි වියදම් ද ඇමරිකානු ආර්ථිකයට විශාල බරක් බව රහසක් නොවෙයි. යුක්රේනය වෙනුවෙන් මේ ආකාරයෙන් වියදම් දැරීම පසුගිය කාලයේ ට්‍රම්ප් ගේ විවේචනයට ලක් වුනා. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ට්‍රම්ප් පැවසුවේ තමා මෙම යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගන්නා බවයි. යුක්රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමක් ඇති කිරීම හරහා එය කරන බවයි ඔහු පවසන්නේ.

ට්‍රම්ප් එසේ කීවත් මෙය සිතන තරම් පහසු කටයුත්තක් වේවි ද යන්න තරමක් සැක සහිත කාරණයක්. මන්ද යත් එවැනි ගිවිසුමකට එළැඹීම සඳහා යුක්රේනය සහ රුසියාව යන දෙපාර්ශ්වයම ඉතා දැඩි කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින නිසා. කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමග ට්‍රම්ප් ඉක්මනින් සාකච්ඡා කරනු ඇති බවට විශ්වාසය පළ වෙනවා.

මේ වනවිට ඉතා දරුණු ආකාරයෙන් ඉදිරියට යමින් ඇති ගාසා යුද්ධයට ට්‍රම්ප් ගේ පත්වීම කවරාකාරයෙන් බලපාවිද යන්නත් බොහෝ දෙනාගේ අවධානයට ලක් වන කාරණයක්. පසුගිය කාලයේ ඊශ්‍රායලය පලස්තීන හමාස් සංවිධානයට සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව දිගින් දිගටම දැඩි ප්‍රහාර එල්ල කරමින් යුද්ධය ඉදිරියට ගෙන ගියේ ඇමරිකාවෙන් විශාල සහයෝගයක් ඊශ්‍රායලයට ලැබුණු පසුබිමක් තුළ යි. බයිඩ්න් ගේ පාලන කාලය තුළ ඊශ්‍රායලයට ලැබුණු සහයෝගය ට්‍රම්ප්ගෙනුත් ලැබේවි ද යන්න බොහෝ පාර්ශ්ව කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයක්. මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ ගාසා යුද්ධයත් ඉක්මනින් අවසන් වනු දැකීම ට්‍රම්ප්ගේ කැමැත්ත බවයි. ඉක්මනින් යුද්ධය අවසන් කරන ලෙස ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පවසා ඇති බවක් ද සඳහන් වෙනවා.

යම් හෙයකින් මෙම යුද ගැටුම් අවසානයක් කරා ගෙන ඒමට ට්‍රම්ප්ට හැකි වුවහොත් විශේෂයෙන් එය මෙම යුද්ධ නිසා දැඩි පීඩාවට පත්ව සිටින ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිව්රුම් දීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 20 වැනි දින යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර