ඇමරිකාව තුළ මේ දිනවල නැවතත් කොවිඩ් ආසාදිතයන් වැඩිපුර වාර්තා වීමට පටන්ගෙන තිබේ. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ බිරිඳ ජිල් බයිඩ්න්ට ද වයිරසය ආසාදනය වී ඇති බව අඟහරුවාදා (05) මාධ්‍ය වාර්තා කර තිබිණි. 72 වැනි වියෙහි පසුවන ඇයට කොවිඩ් වැළඳී ඇති බව අනාවරණය වී තිබුණේ බයිඩ්න් යුවළ ඩෙලවෙයාර් හි පිහිටි ඔවුන්ගේ පෞද්ගලික නිවසේ සති අන්තය ගත කරමින් සිටියදී යි. ඇයගෙන් යම් රෝග ලක්ෂණ පළවෙද්දී කොවිඩ් පරීක්ෂාවක් කර තිබූ අතර කොවිඩ් ආසාදනය වී ඇති බව හෙලි වී තිබුණේ එහිදී ය. පසුව ජනාධිපතිවරයා ද පරීක්ෂාවකට ලක් කෙරුණු බව සඳහන් වේ. නමුත් ඔහුට වයිරසය ආසාදනය වී නොමැති බව එහි දී තහවුරු වී තිබිණි. මේ වනවිට ඔහු නැවත වොෂින්ටන් නුවර ධවල මන්දිරයට පැමිණ නිල කටයුතුවල නිරත වෙමින් සිටියි.
ලබන සෙනසුරාදා ඉන්දියාවේ දී ආරම්භ වන ජී 20 (G-20) කණ්ඩායමේ රටවල රාජ්‍ය නායක සමුළුවට ද ජෝ බයිඩ්න් සහභාගි වීමට නියමිත ය. ඔහු ඊට සහභාගි වනු ඇත් ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබෙනු දැකිය හැකි විය. ධවල මන්දිරයේ ප්‍රකාශකයන් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල කටයුතුවල වෙනසක් සිදු නොවනු ඇති බවයි. මේ වනවිට 80 වැනි වියෙහි පසුවන ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් නිලධාරීහු විශාල අවධානයක් යොමු කරති. ඔහු ඉදිරි දිනවලත් කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කරනු ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
මේ, ජිල් බයිඩ්න්ට කොවිඩ් ආසාදනය වූ දෙවැනි වතාව යි. පසුගිය වසරේ ඇයට පමණක් නොව ජෝ බයිඩ්න්ට ද කොවිඩ් ආසාදනය විය. 2022 ජුලි මාසයේ ජෝ බයිඩ්න් ද, අගෝස්තුවේ ජිල් බයිඩ්න් ද ආසාදිතයන් බවට පත් වූහ.
මේ වනවිට ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම වැඩි වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ ගැන දැඩි අවධානයක් යොමු කරමින් සිටිනු දැකිය හැකි වේ. දැන් සති කිහිපයක් තිස්සේම මෙම තත්ත්වය දැකිය හැකි බව මාධ්‍ය වාර්තා කර තිබේ. අගෝස්තු 13 සිට 19 දක්වා කාලය තුළ රෝගීන් රෝහල්ගත කිරීම් සියයට 19 කින් පමණ ඉහළ ගොස් තිබිණි. අගෝස්තු 20 සිට 26 දක්වා කාලය තුළ කොවිඩ් ආශ්රිත මරණ ද සියයට 17කින් ඉහළ ගොස් තිබේ. සති හයක කාලයක සිට අඛණ්ඩව මේ ආකාරයෙන් රෝහල්ගත කිරීම් සහ මරණ වැඩි වෙමින් ඇති බව සඳහන් වේ. මේ වනවිට ඇමරිකාව තුළ වැඩි වශයෙන්ම පැතිරෙමින් ඇත්තේ EG 5 හෙවත් Eris නමින් හැඳින්වෙන උප ප්‍රභේදයකි. එය ද කලකට පෙර ඉතා දරුණු තත්ත්වයක් ඇති කළ ඔමික්‍රොන් ප්‍රභේදයේම උප ප්‍රභේදයක් ලෙස සැලකේ.
තව මාස කිහිපයකින් ඇමරිකාවේ ශීත සෘතුව ආරම්භ වෙයි. වත්මන් තත්ත්වය දිගටම පැවතුණහොත් ශීත කාලයේ වඩාත් බරපතල තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. ශීත සෘතුවේ දී කොහොමටත් කොවිඩ් ව්‍යාප්තිය වැඩිවන බව රහසක් නොවේ.
මුහුණු ආවරණ පැළඳීම වැනි සෞඛ්යාරක්ෂක පියවර ගැන නැවත අවධානය යොමු කිරීම සුදුසු යයි ඇමරිකානු සෞඛ්‍ය අංශ පවසා ඇත. ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ඇතැම් ප්‍රදේශවල පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන සහ ව්‍යාපාරික ආයතන කිහිපයක් පසුගිය දිනවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. වැඩි වශයෙන්ම ආසාදිතයන් වාර්තා වන්නේ ඇලබාමා, ටෙක්සාස්, මිසිසිපි වැනි ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවල යි.
වියපත් පුද්ගලයන් සහ දියවැඩියාව, පිළිකා වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් මුහුණු ආවරණ පැළඳීම පිලිබඳව නැවත අවධානය යොමු කිරීම සුදුසු යයි විශේෂඥයන් පවසා තිබේ. සැප්තැම්බරයේ මැද භාගයේ සිට එන්නත්කරණ වැඩසටහන් ද ආරම්භ කරන බව වාර්තා වේ.
මේ වනවිට ලෝකයේ සෑම රටකම වාගේ ජනතාව කොවිඩ් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ නැත. මුහුණු ආවරණ පැළඳීම වැනි පියවර අනුගමනය කරන්නේ ද ඉතා සුළු පිරිසක් පමණි. පසුගිය මාසයේ ඇමරිකාව තුළ කර තිබූ සමීක්ෂණයකින් හෙලි වී තිබුණේ එරට තුළ මුහුණු ආවරණ පළඳින සංඛ්‍යාව සියයට 15 ක් දක්වා පහත වැටී ඇති බවයි.
නිහාල් පීරිස්