ඇමරිකා- චීන තීරු බදු යුද්ධයෙන් කවුරුන් ජය ගනියි ද?

පසුගිය දිනවල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන් ආර්ථික වශයෙන් බොක්සිං ප‍්‍රහාරයකට ලක් ව හුස්ම හිර වී සිටි ශ‍්‍රී ලංකාව ඇතුලූ ලෝකයේ රටවල් රැසකට දැන් නැවතත් යම් හුස්මක් ගැනීමට ඉඩක් විවර වී තිබේ.

මෙම රටවල් දැඩි අපහසුතාවකට පත්ව සිටියේ එම රටවලින් ඇමරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඉතා ඉහළ තීරු බදු පැනවීමට ට‍්‍රම්ප් පරිපාලනය තීරණය කිරීම නිසා ය. මෙම තීරණය බොහෝ රටවල අපනයන ක්ෂේත‍්‍රවලට දැඩි බලපෑමක් කිරීමට නියමිතව තිබිණි. ශ‍්‍රී ලංකාවේ ද විශේෂයෙන් ඇඟළුම් වැනි ක්ෂේත‍්‍රවලට මෙයින් මාරාන්තික ප‍්‍රහාරයක් එල්ලවීමට ඉඩ තිබිණි. රැකියා අහිමි වීම, ලංකාවට ලැබෙන ඩොලර් අඩු වීම සමග නැවතත් ඩොලර් අර්බුදයක් ඇති වීම, විදේශ විනිමය සංචිත හිඳී යාම, භාණ්ඩ මිල ඉහළ යාම, ජීවන වියදම වැඩි වීම වැනි ගැටලූ ගණනාවක් මේ නිසා ඇති විය හැකිව තිබිණි.

කෙසේ නමුත් ට‍්‍රම්ප් මෙයට දින දෙකකට පෙර අපේ රටවලට ඉතා සැනසිලිදායක වූ තීරණයක් ගත්තේය. එනම් චීනයට හැර අනෙක් රටවලට ඉහත කී ඉහළ තීරු බදු ක‍්‍රියාත්මක වන දිනය මාස තුනකින් කල් දැමීම යි. මේ අනුව ශ‍්‍රී ලංකාවට ද මාරක ග‍්‍රහණයකින් මදකට නිදහස් වී යම් හුස්මක් ගැනීමට හැකි වී තිබේ. මෙම තීරු බදු කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් 9 වැනි දින සිට ය.

ට‍්‍රම්ප් ඔහුගේ කලින් තීරණය වෙනස් කිරීමට පියවර ගත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් ද විවිධ අදහස් මතු වී තිබේ. ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ ඔහුගේ තීරු බදු වැඩි කිරීමට එරෙහිව ජාත්‍යන්තරයෙන් මෙන්ම ඇමරිකාව තුළින්ම ද විරෝධයක් එල්ල වීම මෙයට හේතු වන්නට ඇති බව යි. ඉහළ තීරු බදු නිසා රට තුළ භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජනතාව අසීරුතාවට පත් වීමට ඉඩ තිබූ අතර මේ තත්වය තුළ ඇමෙරිකානුවෝ ද බොහෝ දෙනෙක් ට‍්‍රම්ප් ගේ තීරු බදුවලට විරෝධය දක්වමින් පාරට බැස්සෝය.

එමෙන්ම පසුගිය දිනවල පවත්වන ලද ජනමත සමීක්ෂණවලින් ද හෙලි වූයේ ට‍්‍රම්ප්ගේ ජනප‍්‍රියත්වය පහත වැටෙමින් ඇති බව යි. ට‍්‍රම්ප් ඔහුගේ තීරු බදු හකුලා ගන්නට ඇත්තේ මේ කාරණා නිසා විය හැකි බවට අදහස් පළ විය.

මේ අතර ට‍්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් පැවසුවේ මෙයට වෙනස් කතාවකි. ඔවුන් කියා සිටියේ මුල පටන්ම ට‍්‍රම්ප් පරිපාලනයේ සැලැස්ම මෙය වූ බවකි. එය සත්‍යයක් නම් ඒ අනුව පෙනෙන්නේ මුලින් ඉහළ තීරු බදු පනවා වෙනත් රටවල් ඇමරිකාව සමග සාකච්ඡුා කරන තත්වයට පත් කර මේ ආකාරයෙන් නැවත විරාමයක් ප‍්‍රකාශ කිරීම ට‍්‍රම්ප් සැලසුම් සහගතව කරන ලද්දක් බව ය. නමුත් ඇමරිකානු නිලධාරීන් කියන මේ කතාව ඇත්තක් ද යන්න සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව තුළ සැකයක් ඇති ආකාරයක් ද දැකිය හැකි වේ. තීරු බදු නැවත හකුලා ගැනීමට සිදු වීමෙන් ඇති වූ ලැජ්ජාව වසා ගැනීමට මෙවැනි කාරණයක් ප‍්‍රකාශ කරනවා විය හැකි බවක් ද පෙනිණි.

කෙසේ නමුත් ට‍්‍රම්ප් ගේ තීරු බදුවලට බිය වී බොහෝ රටවල් ඇමෙරිකාව හමුවේ පින්සෙන්ඩු වෙද්දී ට‍්‍රම්ප් අහංකාර ලෙස කීවේ ”ඔවුන් මගේ පස්ස පැත්ත ඉඹින්නට පටන් ගෙන ඇති ” බවයි.

තීරු බදු මාස තුනකට අත්හිටුවීමට ට‍්‍රම්ප් තීරණය කර ඇත්තේ අදාල රටවලට ඒ සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡුා කර අවශ්‍ය පියවර ගැනීම සඳහා කාලය ලබා දීමට ය. දැනටමත් රටවල් බොහෝ ගණනක නියෝජිතයෝ මේ පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටිති. ශ‍්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් ද අද හෙටම එහි යනු ඇත.

බොහෝ රටවල් ඇමෙරිකාවට භාණ්ඩ විකිණුවත් ඇමෙරිකාවෙන් මිල දී ගන්නේ අඩුවෙනි. මේ නිසා ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ඇමරිකාවට අසාධාරණයක් සිදු වී ඇති බව ට‍්‍රම්ප්ගේ අදහස යි. මෙම අසමතුලිතතාව විසඳීම ට‍්‍රම්ප්ගේ තීරු බදුවල එක් අරමුණකි.

ඉහළ තීරු බදු පැන වූ විට අනෙක් රටවල් ඇමරිකාවට විකුණන (අපනයනය කරන* භාණ්ඩ ප‍්‍රමාණය අඩු වන අතර එවිට ඉහත කී පරතරය අඩු වෙයි.

ඇමරිකාවෙන් වැඩි වැඩියෙන් භාණ්ඩ මිල දී ගැනීම සඳහා අනෙක් රටවලට පීඩනයක් එල්ල කිරීම ද ට‍්‍රම්ප්ගේ තවත් අරමුණකි.

තීරු බදු ප‍්‍රශ්නයට මුහුණ දී සිටින රටවල් මෙම කාරණාවලට අදාලව ඉදිරියේ දී ඇමරිකාව සමග සාකච්ඡුා කරනු ඇත. මාස තුනකින් පසු ට‍්‍රම්ප් පරිපාලනය නැවත තීරු බදු ගැන තීරණ ගනු ඇත්තේ මෙම සාකච්ඡුාවල ප‍්‍රගතිය අනුව ය.

කෙසේ නමුත් ඇමරිකාවේ ප‍්‍රධාන තරගකරුවා වන චීනයට එරෙහිව පැන වූ තීරු බදු අඩු කිරීමක් වූයේ නැත. ට‍්‍රම්ප් මුලින්ම තීරු බදු පැනවූ විට චීනය අනෙක් රටවල් මෙන් ට‍්‍රම්ප් ඉදිරියේ පින්සෙන්ඩු වීමට නොගියේය. ඔවුහු චීනයට ගෙන්වන ඇමරිකානු භාණ්ඩවලට අදාල තීරුබදු ද වැඩි කිරීමට පියවර ගත්හ. මේ තුළින් මෙම දෙරට අතර උග‍්‍ර වෙළෙඳ යුද්ධයකට මග පෑදුණි. ඔවුහු කිහිප වරක්ම, වට කිහිපයකින් එකිනෙකාට එරෙහි තීරු බදු වැඩි කිරීමට පියවර ගත්තෝය.

මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඇමරිකාව ඇතැම් චීන භාණ්ඩ සඳහා සියයට 145 ක බදු පනවා ඇති අතර චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා සියයට 125 ක බදු පනවා තිබේ. ඔවුන් දෙගොල්ලන්ම එකිනෙකාට යටත් වන පාටක් පෙනෙන්නට නැත. එය ඔවුන්ගේ ආත්ම ගෞරවය පිලිබඳ ප‍්‍රශ්නයක් බවට ද පත්ව තිබේ. ඇමරිකාව තීරු බදු හරහා කරන හිරිහැරවලට එරෙහිව තමුන් සමග එක් වන මෙන් චීනය යුරෝපා සංගමයේ රටවලින් ද ඉල්ලා ඇත.

මෙම ඇමරිකා-චීන තීරුබදු යුද්ධය කොතැනින් අවසන් වේවි ද යන්න දැන් ජාත්‍යන්තර ක්‍ෂේත‍්‍රය තුළ මහත් කුතුහලයක් ජනිත කර තිබේ. අවසානයේ අඩියක් පස්සට ගනු ඇත්තේ ඇමරිකාව ද නැතහොත් චීනය ද? ඔවුන් අතර මෙම යුද්ධය ගෝලීය වශයෙන් කවර බලපෑමක් කරනු ඇත් ද? මේවා මේ දිනවල බොහෝ පාර්ශ්ව මහත් උනන්දුවෙන් බලා සිටින කාරණා බවට පත්ව තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර