වැනිසිය ලෝකයේ සුන්දරම සහ අපූරුම නගරයක් ලෙස සැලකෙන තැනකි. උතුරු ඉතාලියේ වෙනිටෝ කලාපයේ අගනුවර වන මෙය ලොව ප්‍රධාන පෙලේ සංචාරක ආකර්ශණයක් ද වේ. වසරකට සංචාරකයන් මිලියන 28 කට ආසන්න සංඛ්‍යාවක් මෙම නගරය වෙත ඇදී එන බව පැවසේ.
කෙසේ හෝ වේවා, මෙම ආකර්ශණීය නගරය තව ටික කලකින් අතුරුදන්ව යාමට ඉඩ ඇති බවට මේ වනවිට අනාවැකි පළ වෙමින් තිබේ. ඒ එය මුහුදෙහි ගිලී යාමෙනි. වැනිසිය කෙමෙන් ගිලාබත් වෙමින් ඇති බවට දැන් කාලයක සිටම තොරතුරු වාර්තා වෙමින් තිබේ. මේ වනවිට එය වඩාත් බරපතල තත්ත්වයකට පත්ව ඇති බව පෙනේ. මේ සම්බන්ධයෙන් පසුගිය දා යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ වාර්තාවක් නිසා මේ ගැන නැවතත් දැඩි අවධානයක් යොමු වන්නට පටන්ගෙන ඇත.
යුනෙස්කෝ සංවිධානය මෙම වාර්තාව මගින් යෝජනා කර ඇත්තේ වැනිසිය අනතුරට මුහුණ දී ඇති (endangered) ලෝක උරුමයක් ලෙස නම් කළ යුතුව ඇති බවයි.
වැනිස් නගරය ඇඩි්රයාටික් මුහුදේ කලපු ප්‍රදේශයක පිහිටි කුඩා දූපත් 118 කට ආසන්න සංඛ්‍යාවකින් සැදුම් ලත් නගරයකි. ඒ නිසා මෙය සම්පූර්ණයෙන් මුහුදෙන් වට වූ නගරයක් ලෙස හැඳින්විය හැකිය. වැනිසිය ‘පාවෙන නගරය’ ලෙස හැඳින්වෙන්නේ ද මේ නිසා ය. මෙහි ඇති දූපත් එකිනෙක යා වන්නේ ඇල මාර්ග සහ පාලම් පද්ධතියකිනි. ගමනාගමන කටයුතු ද ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ මෙම ඇල මාර්ග හරහා ය. මෙහි මහා මාර්ග එතරම් දක්නට නොලැබේ.
වැනිසිය ගිලාබත් වීමේ අවදානමට මුහුණ දී සිටින්නේ කාරණා කීපයක් නිසා ය. එකක් නම් මේ වනවිට ලෝකයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති ගෝලීය උණුසුම ඉහළ යාමේ තත්ත්වයයි. මේ නිසා සාගර ජල මට්ටම ඉහළ යමින් ඇති අතර ඒ හේතුවෙන් වැනිසිය ද ඉදිරියේ දී මුහුදට බිලිවනු ඇති බව විශ්වාස කෙරේ.
වැනිසියේ ගොඩනැගිලි ආදිය ඉදි කර තිබෙන්නේ එතරම් ස්ථාවර භූමියක නොවීම ද තවත් ගැටලුවකි. මෙය කලපු ප්‍රදේශයක් නිසා මෙම ගොඩනැගිලිවල අත්තිවාරම් දමා ඇත්තේ මඩ සහ මැටි තට්ටු මත බව සඳහන් වේ. මේ නිසා ගොඩනැගිලි කෙමෙන් ගිලා බසිමින් ඇති බව වාර්තා වී තිබේ.
ඒ අතර ජනතාවගේ ජල අවශ්‍යතා සඳහා කාලයක් තිස්සේ විශාල වශයෙන් භූගත ජලය ලබා ගැනීම නිසා ද වැනිසියේ භූමිය ගිලා බැසීමක් සිදු වෙමින් තිබේ. මේ සියලු කාරණාවල බලපෑමෙන් වැනිසිය ඉතා දරුණු අනතුරකට මුහුණ දී සිටියි. ඇතැම් අනාවැකිවලින් පැවසෙන්නේ වසර 2100 වන විට වැනිසිය මුහුදෙහි ගිලී යා හැකි බවකි. මේ නිසා මෙම නගරය බේරා ගැනීම සඳහා ගන්නා පියවර වඩාත් කාර්යක්ෂම කළ යුතුව ඇති බව විශේෂඥයන්ගේ අදහස යි. යුනෙස්කෝ සංවිධනය මෙම නගරය අනතුරට මුහුණ දී ඇති ලෝක උරුමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට යෝජනා කරන්නේ ද ඒ ගැන වැඩි අවධානයක් යොමු කරවීම සඳහා ය. මේ වනවිට මෙවැනි ලෝක උරුමයන් 55 ක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. තවත් 204 ක් සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය දැඩි අවධානයකින් පසු වෙයි.
යුනෙස්කෝව මෙයට වසර දෙකකට පමණ පෙර ද වැනිසිය සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. නමුත් ඒ අවස්ථාවේ මෙම නගරය එකී ලැයිස්තුවට එක් නොකෙරුණේ ඉතාලි රජය වැනිසිය බේරා ගැනීම අරමුණු කර හදිසි පියවර කිහිපයක් ක්‍රියාත්මක කළ බැවිනි. නමුත් පුළුල් සැලැස්මක් නොමැතිකම ගැන යුනෙස්කෝ සංවිධානය ඉතාලි රජයට චෝදනා කරයි. නිසි දැක්මකින් යුතු සැලැස්මක් නොමැති වීම ගැන පසුගිය දා නිකුත් කළ වාර්තාවේ ද ඔවුන් සඳහන් කර ඇති බව පැවසේ.
කෙසේ හෝ වේවා, යුනෙස්කෝ සංවිධානය මෙවර ඉදිරිපත් කර ඇති වාර්තාව ඉතා හොඳින් අධ්‍යයනය කරන බව වැනිසියේ නගර සභා ආයතනය පවසා තිබිණි. එයින් පසු ඉතාලි රජය සමග මේ ගැන සාකච්ඡා කරන බව ද නගර සභා නිලධාරීන් සඳහන් කර තිබේ. මේ අතර වැනිසියේ ඇතැම් පාර්ශ්ව යුනෙස්කෝ සංවිධානයට ද චෝදනා කරයි. එහි හිටපු නගරාධිපතිවරයකු පවසා තිබුණේ යුනෙස්කෝව යනු කිසිදු ප්‍රයෝජනයක් නැති සංවිධානයක් බවයි. ඔවුන් විවේචන ඉදිරිපත් කළත් ගැටලු විසඳීම සඳහා අරමුදල් සපයා දීම වැනි පියවර නොගන්නා බවට ඔහු චෝදනා කර තිබිණි.
නිහාල් පීරිස්