අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය තුළ වඩාත්ම සූර්යයා ආසන්නයට ගිය යානය ලෙස වාර්තාවක් පිහිටුවීමට ඇමරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද යානයක් සමත් වුණා. මෙම යානයේ නම පාකර් – (Parker).
සූර්යයාගේ අධික උෂ්ණත්වය නිසා ඒ ආසන්නයට යානයක් යැවීම ඉතා අභියෝගාත්මක කටයුත්තක්. සූර්යයාගේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 6,000 ක් පමණ වන බවයි සඳහන් වන්නේ. ඉතින් හිරු ආසන්නයේ ඇති උෂ්ණත්වයට ඔරොත්තු දෙන යානයක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවෙයි. නමුත් නාසා ආයතනය මෙම අභියෝගය ජය ගත්තා. ඒ ආකාරයෙන් ඔවුන් විසින් නිපදවන ලද පාකර් යානය පෘථිවියෙන් පිටත් වූයේ 2018 වසරේ අගෝස්තු 12 වැනි දින යි. එහි ගමන් මගෙහි සූර්යයාට ආසන්නම ස්ථානයට පාකර් යානය ළඟා වූයේ පසුගිය 24 වැනිදා යි. එනම් පෘථිවියෙන් පිටත් වී වසර 6 කට පසුව යි. සූර්යයා සහ පෘථිවිය අතර සාමාන්‍ය දුර කි.මී. මිලියන 149 ක් පමණ වෙනවා.
පාකර් යානය සූර්යයාට ආසන්නම ස්ථානයට ළඟා වූ අවස්ථාවේ වුවත් එය සහ සූර්යයා අතර දුර කි.මී. මිලියන 6.1 ක් පමණ වූ බව සඳහන්. මෙයට පෙර කිසිදු යානයක් මේ තරම් සූර්යයා ආසන්නයට ගොස් තිබුණේ නැහැ. ඒ වනවිට යානයට දැනුණු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1,400 ක් පමණ වූ බව පැවසෙනවා. නමුත් යානය මෙම අධික රස්නයෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා එයට විශේෂ ආරක්‍ෂක පලිහක් වැනි කොටසක් සවි කර තිබෙනවා. මෙය අ`ගල් 4.5 ක පමණ ඝනකමකින් යුතු බව සඳහන්.
සූර්යයාට මේ තරම් ආසන්නයෙන් ගමන් කරද්දී යානයට යම් හානියක් වේවි ද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයන් දැඩි කුතුහලයකින් සහ ආතතියකින් සිටි බව සඳහන් වුණා. එම අවස්ථාව වනවිට යානය සහ නාසා ආයතනය අතර කිසිදු සන්නිවේදනයක් සිදු වූයේත් නැහැ. නමුත් එම ආසන්නම ස්ථානයෙන් නැවත ඉවතට ගමන් කළ පසු පාකර් යානය තමා නිරුපදි‍්‍රතව සිටින බව අඟවන සංඥවක් පෘථිවිය වෙත එවා තිබුණා. විද්‍යාඥයන්ගේ සිතට අස්වැසිල්ලක් දැනී තිබුණේ එම අවස්ථාවේ යි.
ඉහත කී ආසන්නම ස්ථානයෙන් ගමන් කරද්දී පාකර් යානයේ වේගය පැයට කි.මී. 692,000 ක් පමණ වූ බවත් සඳහන්. මිනිසුන් විසින් තනන ලද වස්තුවක් ගමන් කළ වැඩිම වේගයත් මෙය යි. ඒ අතිනුත් පාකර් යානය වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
සූර්යයා ආසන්නයට ගමන් කිරීම සඳහා මෙතරම් අභියෝගාත්මක සහ දුෂ්කර මෙහෙයුමක් දියත් කළේ මන්ද? නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන ආචාර්ය නිකොලා ෆොක්ස් මේ ගැන යම් සඳහනක් කර තිබුණා. ‘සියවස් ගණනක් තිස්සේ මිනිසුන් සූර්යයා අධ්‍යයනය කරමින් සිටිනවා. නමුත් මෙවැනි වස්තුවක වායුගෝලය පිලිබඳ නියම අත්දැකීමක් ගැනීමට නම් එම ස්ථානයට යා යුතුමයි’.
පාකර් මෙහෙයුමේ අරමුණ සූර්යයාගේ වායුගෝලය පිලිබඳ අධ්‍යයනය කිරීමයි. මෙම අධ්‍යයනයන් හරහා දීර්ඝ කාලයක් තිස්සේ විද්‍යාඥයන්ට ප‍්‍රහේලිකාවක් බවට පත්ව ඇති කාරණයක් විසඳා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එනම් සූර්යයාගේ වායුගෝලයේ පිටස්තරම කොටස වන කොරෝනාව සූර්යයාගේ මතුපිටට වඩා උෂ්ණත්වයෙන් වැඩි මන්ද යන්න යි. සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6,000 ක් පමණ වෙද්දී ඉහත කී කොරෝනාවේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක මිලියන ගණනක් දක්වා ඉහළ යා හැකි බව පැවසෙනවා. මෙය සිදුවන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම පාකර් මෙහෙයුමේ ද ප‍්‍රධාන අරමුණක්.
‘සූර්ය කොරෝනාව ඉතාම අධික උෂ්ණත්වයකින් යුක්තයි. නමුත් එසේ වන්නේ මන්ද යන්න ගැන අපට කිසි අවබෝධයක් නැහැ’ තාරකා විද්‍යාඥවරියක වන ආචාර්ය ජෙනිෆර් මිලාර්ඞ් පවසනවා. ‘සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6,000 ක් විතර ඇති. එහි වායුගෝලයේ පිටස්තරම කොටස වන කොරෝනාව තියෙන්නේ සූර්යයාගේ මතුපිට සිට බොහෝ ඈතින්. නමුත් එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක මිලියන ගණනක් දක්වා ඉහළ යා හැකියි. මෙතරම් ඉහළ උෂ්ණත්වයක් ඊට ලැබෙන්නේ කොහෙන්ද?’ ඇය විමසනවා.
සූර්යයාගේ කොරෝනාව පිලිබඳ අධ්‍යයනය කිරීම මේ තරම් වැදගත් වන්නේ එය පෘථිවියට ද යම් බලපෑමක් එල්ල කරන්නක් වීම නිසා යි. විශේෂයෙන්ම කොරෝනාවෙන් නික්මෙන සූර්ය කුණාටු නිසා තමයි මෙවැනි බලපෑමක් එල්ල වන්නේ. මෙම සූර්ය කුණාටු ලෙස හැඳින්වෙන්නේ ආරෝපිත අංශුවලින් සැදුම් ලත් ධාරාවන් විශේෂයක්. මේවා පෘථිවියට ද ළඟා වන අතර ඒ නිසා පෘථිවිය වටා ගමන් කරමින් සිටින චන්ද්‍රීකා ආදියට බලපෑම් එල්ල වෙනවා. එමෙන්ම පෘථිවිය මත ඇති විදුලි පද්ධති, විද්‍යුත් පද්ධති, සන්නිවේදන පද්ධති ආදියට ද මෙයින් බලපෑම් ඇති වන බව සොයාගෙන තිබෙනවා.
‘සූර්යයා පිලිබඳව, එහි කි‍්‍රයාකාරිත්වය පිලිබඳව, සූර්ය කුණාටු ආදිය පිලිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත්’ ආචාර්ය මිලාර්ඞ් සඳහන් කරනවා. ‘ඇත්තටම ඒවායින් අපේ එදිනෙදා ජීවිතයට විශාල බලපෑමක් තිබෙනවා’.
පාකර් මෙහෙයුමෙන් අපේක්‍ෂිත අරමුණු ඉටු කර ගැනීමෙන් පසු මෙම යානය විනාශ වීමට සලස්වනු ඇති. පාකර් යානයේ ආරක්‍ෂක පලිහ තිබෙන්නේ එක් පැත්තක පමණයි. මෙයින් ආරක්‍ෂා නොවන පැත්ත සූර්යයා දෙසට හැරෙන්නට සැලැස්වීමෙන් තමයි යානය විනාශ කෙරෙන්නේ. නමුත් ඉහත කී ආරක්‍ෂක පලිහට කිසිදු හානියක් නොවනු ඇති අතර එය වසර මිලියන ගණනක් සූර්යයා වටා ගමන් කරමින් තිබෙනු ඇති.
නිහාල් පීරිස්