ඉදිරි දිනවල ස්වාභාවික ආපදා අවදානමකුත්

මේ වන විට අපේ රට ඓතිහාසික ආර්ථික සමාජ දේශපාලන අර්බුදයකට ලක් ව ඇත.ඒ නිසා සමස්ත ජාතියේම අවධානය ඊළඟ මොහොතේ කුමක් සිදු වන්නේ ද? යන්න කෙරෙහි යොමු වී තිබේ. වර්තමාන දේශපාලන සමාජ ආර්ථික පසුබිම කෙරෙහි ජන අවධානය කොතෙක් ද යත් මැයි මාසය අප දිවයිනේ කාලගුණ සාධකවල සැලකිය යුතු වෙනස්කම් සිදුවන වකවානුවක් බව බොහෝ දෙනෙකුට අමතක වන තරමට වත්මන් සමාජ අවධානය සමාජ ආර්ථික දේශපාලන කටයුතු වෙත යොමු වී තිබේ.. එහෙත්, මෙම කාලයේ අපට මුහුණ දෙන්නට සිදුවන අනේක විධ ආපදාකාරී තත්වයන් අතරට කාලගුණික විපත් ද එක් වීමේ පැහැදිලි අවදානමක් පවතී.

එබැවින් මේ සියළු කලබැගෑනි අතරේ වත්මන් කාලගුණ වාතාවරණය පිළිබඳව ද අප සැමගේම නිරන්තර අවධානය යොමුවිය යුතුයැයි සිතමි.මැයි මාසයේ දෙවන අර්ධය අප රටේ නිරිත දිග මෝසම් ප්‍රවාහය ඇරඹෙන අවදියයි.එහෙත්,වෙසක් පොහොය හා ආසන්නතම කාලසීමාව තුළ අප රටට බලපාන එම කාලගුණික සංසිද්ධිය බොහෝ දෙනෙක් නොතකා හරිති. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන ප්‍රදේශ පීඩන අවපාත සහ සුළි සුළං වල සෘජු හෝ වක්‍ර බලපෑම් නිසා දිවයින හරහා විශේෂයෙන්ම නිරිතදිග දිසාවෙන් හමා එන දැඩි සුළං හමායාමත් සමගම ප්‍රදේශ ගණනාවකම අඛණ්ඩ මෙන්ම තද වර්ෂාව ඇතිවීම සාමාන්‍ය තත්වයයි. මේ අවස්ථාවේ බෙංගාල බොක්කේ ක්‍රියාත්මක වන ‘අසනී’ යන නමින් හඳුන්වනු ලබන තරමක් ප්‍රචණ්ඩ සුළි සුළඟ ඉදිරි දින කිහිපය තුළ බංගාල දේශ භූමිය දෙසට ගමන් කරන බව කාලගුණ නිවේදන වල සඳහන් වේ.

සුළං අභිසාරී කලාපය ශ්‍රී ලංකාවට උතුරු දෙසින් ක්‍රියාත්මක වීමත් සමඟම අප දිවයින හරහා හමන සුළං දිශාව මෙන්ම පීඩන බැස්ම නිරිත දිග දිශාව ගන්නා නිසා මෙම වකවානුව ‘නිරිත දිග මෝසම් සමය’ ලෙස හඳුන්වනු ලබන අතර අදාල සාධක වර්ධනය වූ විට නිරිත දිග මෝසම් සමය ස්ථාපිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හරහා අප දැනුවත් කෙරේ.බැලූ බැල්මට මෙය කාලගුණික වශයෙන් ඉතා වැදගත් සංසිද්ධියකි. අතීතයේ සිට අප රටේ වී ගොවිතැන සම්බන්ධ යල කන්නය ඇරඹෙනුයේ ද මේ කාලයේ ය.

එහෙත් මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා පවතින නිරිතදිග මෝසම් සමයේ බස්නාහිර සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට වැඩි වර්ෂාපතනයක් ඇද හැලෙන අතර සුළි සුළං වල බලපෑම යටතේ දිවයිනේ සෙසු පළාත් වල ද වර්ෂාව ඇදහැලෙයි.මෙම සමයේ පැයට කිලෝ මීටර් 30ක 40ක වන වේගයෙන් නිරිත දිග සුළං හමා ගියද, පීඩන අවපාත සහ සුළි සුළං වල බලපෑම යටතේ පැයට කි. මී. 150 ඉක්මවා යන ප්‍රචණ්ඩ සුළං ප්‍රවාහන දිවයින හරහා හමා යයි. එවන් ප්‍රචණ්ඩ සුළං විවිධ ආපදා වලට ද හේතු විය හැකිය.නමුත් මෙවන් සුළං ප්‍රවාහයන්හි වේගය සහ ඒවායේ අන්තරායකාරී බව කල් ඇතිව අප කාටවත් කලින් කිව නොහැක.එබැවින් අප රටට බලපාන විවිධ ආපදාකාරී තත්වයන් ගැන සේම ඉදිරි දින කිහිපය තුළ රට තුළට පිවිසෙන නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය සහ එහි බලපෑම ගැන අප නිරන්තර අවධානයෙන් පසුවිය යුතුම ය.ඒ සැම නිරිත දිග මෝසම් සමයක් ආරම්භයේම ඇති වන ස්වාභාවික ආපදා වලින් මිනිස් ජීවිත සහ දේපල යම් ප්‍රමාණයක් ඒකාන්තයෙන්ම අහිමි වන බැවිනි.ඒ සුළං,ගංවතුර සහ නාය යාම් මගිනි.

තරමක් තද වර්ෂා නිසා ගංවතුර සහ නායයාම් වැනි ආපදා ප්‍රදේශ ගණනාවකම සිදුවනු ඇත.මෙම කාලයේ එවන් ආපදාකාරී කාලගුණ තත්වයන් පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන වෙත මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ආපදා අනවැකි සහ ආපදා අවම කිරීම පිළිබඳ නිවේදන පිළිබඳව අප සැම අවධානයෙන් සිටිය යුතු ය.,එමෙන්ම ඒම ස්වාභාවික විපත් නිසා සිදු වූ ජීවිත අනතුරු පිළිබඳව විමසීමේ දී සැම විටම තහවුරු වන කරුණක් තිබේ.

එනම් එම අනතුරු පිළිබඳ පූර්ව අවධානයෙන් කටයුතු කිරීමෙන් සහ නිසි ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඒවායින් බොහොමයක් වළකා ගත හැකිව තිබූ බවකි.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ,කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ

ඉරා අදුරුපට