අප මේ විශ්වසෙයහි සිටින්නේ තනිවම ද? එසේ නැත්නම් පිටසක්වල ජීවීන් කියා කොටසක් සිටිනවා ද? මෙය ඉතා දිගු කාලයක සිටම විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය මිනිසුන් ද කුතුහලයෙන් පසුවන කාරණයකි. පියාඹන පීරිසි වැනි යානාවල නැගී පෘථිවියට එන මෙවැනි පිටසක්වල ජීවීන් ගැන කතන්දර සමහර අවස්ථාවල අසන්නට ලැබෙන අතර ඒවායේ සත්‍ය අසත්‍යතාව ගැන නිශ්චිතව පැවසිය නොහැක. මෙවැනි පිටසක්වල ජීවීන් පිලිබඳව නිර්මාණය වූ සාහිත්‍ය කෘති, චිත්‍රපට, රූපවාහිනි නාටක ආදිය ද විශාල වශයෙන් දැක ගන්නට ලැබේ. මෙවැනි නිර්මාණ බෙහෙවින් ජනප්‍රිය වන ආකාරය ද දැකිය හැකිය.
කෙසේ හෝ වේවා, පිටසක්වල ජීවීන් ගැන විද්‍යාඥයන් තුළ ඇති උනන්දුව වෙන කවරදාටත් වඩා මේ කාලයේ වැඩි වෙමින් ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. මෙවැනි ජීවීන් සිටින බවට වන විශ්වාසය ද ඔවුන් තුළ ඉහළ යමින් තිබේ. ඒ නිසා දැන් ඔවුන් වැඩි උනන්දුවක් දක්වන ප්රශ්නය වී ඇත්තේ එවැනි ජීවීන් සිටිනවාද යන්න නොව ඔවුන් අපට හමු වන්නේ කවදාද යන්න ය.
මෙහිදී විද්‍යාඥයන් පිටසක්වල ජීවීන් යනුවෙන් හඳුන්වන්නේ අප මෙන් බුද්ධිමත් ජීවීන් පමණක් නොවේ. ක්ෂුද්‍ර ජීවීන් සහ වෙනත් ජීවීන් පවා ඔවුන්ගේ එම වර්ගීකරණයට ඇතුළත් වේ. ඔවුන් පවසන්නේ තාරකා සහ ග්‍රහලෝක කෝටි ප්‍රකෝටි ගණනක් තිබෙක මේ මහා විශ්වයේ ජීවීන් සිටින්නේ අප පමණක් යයි සිතීම එතරම් තර්කානුකූල නැති බව යි. අපගේ ජීවිත කාලය තුළ අපට මෙවැනි ජීවීන් ගැන සංඥවක් සොයාගන්නට හැකි වනු ඇති බැව් විශ්වාස කරන විද්‍යාඥයෝ ද සිටිති. ඔවුන් පවසන්නේ ඉදිරි වසර කිහිපය ඇතුළත අපට මෙවැනි ජීවීන් පිලිබඳ සංඥාවක් දැනගන්නට හැකි වනු ඇති බව ය.
මේ වනවිට තාරකා විද්‍යාව තුළ, තාක්ෂණය තුළ ඇතිව තිබෙන දියුණුව ද මෙවැනි ජීවීන් සොයා ගැනීම ඉක්මන් කරන්නක් ලෙස පිලිගැනේ. ‘අප මේ විශ්වය තුළ සිටින්නේ තනිවම ද යන ප්‍රශ්නයට පිලිතුරු සොයා ගැනීම සඳහා උදව් වන තාක්ෂණය සහ හැකියාව දැන් අප ළඟ තිබෙනවා’ ස්කොට්ලන්තයේ තාරකා විද්‍යාඥවරියක වන කැතරීන් හේමන්ස් පවසයි.
ඈත ග්‍රහලෝකවල වායුගෝලයන් ඉතා සවිස්තරාත්මකව නිරීක්ෂණය කිරීමට හැකි මෙවලම් මේ වනවිට විද්‍යාඥයන් නිපදවා තිබීම ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ. පිටසක්වල ජීවීන් පිලිබඳ හෝඩුවාවන් සොයා ගැනීමේ දී මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නකි.
මෙයට සති කිහිපයකට පෙර මෙවැනි අපූරු සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයන්ට හැකි වී තිබිණි. පෘථිවියේ සිට අලෝක වර්ෂ 120 ක් පමණ දුරින් පිහිටි K2-18b නැමැති ග්‍රහලෝකයක වායුගෝලය අධ්‍යයනය කිරීමේ දී ඔවුන්ට එක්තරා විශේෂ වායුවක් එහි දැකගන්නට ලැබිණි. මෙම වායුව පෘථිවියේ නම් නිකුත් කරනු ලබන්නේ ජීවීන් විසිනි. ඉහත කී ග්‍රහලෝකයේ ද මෙම වායුව පැවතීමෙන් අදහස් වන්නේ එහි ජීවීන් සිටින බව ද යන කාරණය විද්‍යාඥයන් තුළ විශාල කුතුහලයක් ඇති කර තිබේ. ඒ නිසා ඔවුහු මේ ගැන වඩ වඩාත් අධ්‍යයනය කරමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ.
තමුන්ගේ අධ්‍යයනයට ලක් වූ පළමු ග්රහලෝකයේම ජීවය පවතින බව තහවුරු කර ගන්නට ලැබුණහොත් එය බොහෝ පැතිවලින් විශේෂ සොයා ගැනීමක් වනු ඇති බව විද්‍යාඥයෝ සඳහන් කරති. විශ්වය තුළ ජීවය අප සිතනවාට වඩා සුළභ දෙයක් බව එයින් සනාථ වනු ඇතැයි ඔවුහු පවසති. කෙසේ හෝ වේවා, ඉහත කී K2-18b ග්‍රහලෝකයේ පමණක් නොව තවත් බොහෝ ග්‍රහලෝකවල වායුගෝලයන් අධ්‍යයනය කිරීම මේ වනවිට විද්‍යාඥයන් ආරම්භ කර තිබේ. ජීවීන් විසින් නිකුත් කරනු ලබන වායූන් ඒවායේ තිබෙනවාද යන්න සොයා බැලීම මෙම අධ්‍යයනයන්ගේ ප්‍රධාන අරමුණකි.
මේ වනවිට ඉතා දියුණු තාක්ෂණයෙන් යුතු දුරේක්ෂයන් ද නිපදවා ඇති නිසා ඈත විශ්වයේ පිහිටි සූර්යයා වැනි තාරකා වටා ගමන් කරමින් තිබෙන ග්‍රහලෝක ද වැඩි වැඩියෙන් සොයා ගැනීමට හැකි වී ඇත. පෘථිවියට සමාන ග්‍රහලෝක පවා බොහොමයක් මේ අතර වේ. යම් ග්‍රහලෝකයක ජීවය පවතින්නට නම් කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතුය. එකක් නම් එම ග්‍රහලෝකය අදාළ තාරකාවේ සිට නිශ්චිත දුරකින් ගමන් කරමින් තිබීම යි. තාරකාවට වුවමනාවට වඩා ලංවීම මෙන්ම එයින් වුවමනාවට වඩා දුරස් වීම ද එම ග්‍රහයා මත ජීවියෙහි පැවැත්මට අහිතකර ය. ජීවය ඇති වීමට අවශ්‍යම සාධකයක් ලෙස විද්‍යාඥයන් සලකන ජලය පැවැතිය හැක්කේ ඉහත කී ආකාරයේ නිශ්චිත දුරකින් පිහිටි ග්‍රහලෝකයක පමණි. කෙසේ හෝ වේවා, තාක්ෂණයේ දියුණුව නිසා මේ වනවිට මෙවැනි ග්‍රහලෝක සොයා ගැනීම සහ ඒවා ගැන අධ්‍යයනය කිරීම විද්‍යාඥයන්ට වඩාත් පහසු වී තිබේ. අපට වැඩි කල් නොගොස් පිටසක්වල ජීවීන් සොයා ගැනීමට හැකි වනු ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම පසුබිම තුළ ය.
ඈත විශ්වයේ පමණක් නොව අප ජීවත් වන සූර්ය ග්‍රහ මණ්ඩලය තුළම වුව ද ජිවය පවතින්නට බැරිකමක් නැති බව විශ්වාස කෙරේ. මෙහි දී ජුපිටර් ග්‍රහයාගේ යුරෝපා නැමැති චන්ද්‍රයා ගැන විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයක් යොමු වේ. එය මතුපිටින් හිමෙන් වැසී ඇතත් එහි පෘෂ්ඨයට යටින් මහා සාගරයක් පවතින බව සොයාගෙන තිබේ. යුරෝපා මත ජිවය පවතින්නට ඉඩ ඇති බව විශ්වාස කිරිමට මෙය ද ප්‍රධාන සාධකයකි. මෙම චන්ද්‍රයා පිලිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා නාසා ආයතනය මෙන්ම යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ද මේ වනවිට පියවර ගෙන ඇත. නාසා ආයතනය විසින් ඉහත කී චන්ද්‍රයා වෙත යවනු ලබන ක්ලිපර් (Clipper) නැමැති යානයක් 2024 ඔක්තෝබර් මාසයේ පෘථිවියෙන් පිටත් වීමට නියමිතව තිබේ. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ Jupiter Icy Moons Explorer නැමැති යානයක් දැනටමත් පිටත් වී අවසන් ය. එය පෘථිවියෙන් නික්මුණේ පසුගිය අප්‍රේල් මාසයේ යි. මෙම යානා දෙකම 2030 දශකයේ මුල් භාගයේ පමණ යුරෝපා වෙත ළඟා වනු ඇත.
ජීවය පවතින ග්‍රහලෝක සොයා ගැනීම සඳහා මේ වනවිට අභ්‍යවකාශ ගවේෂණයේ යෙදෙන විවිධ රටවල් සහ ආයතන අතර තරගයක් තිබෙන බවක් ද පෙනී යයි.
නිහාල් පීරිස්