ඉන්දියානු නැනෝ පොහොර කසිප්පු නිෂ්පාදනයට

මෙවර මාස් කන්නයේ වගා කටයුතු සඳහා රජය මඟින් ලබා දුන් ඉන්දියානු නැනෝ දියර පොහොර කෑන් ඇතැම් කසිප්පු නිෂ්පාදකයන් කසිප්පු පෙරීමට යොදා ගන්නා බවට අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රදේශ කිහිපයක ගොවීහු මැසිවිලි නඟති.

මෙම පොහොර කෑන් තුළ කිසියම් වායුවක් නිෂ්පාදනය වී පැසීමකට ලක් වීමෙන් ඒවා පුපුරා යන පුපුරා යාමේ තත්වයක් පවතින අතර ඇතැම් කසිප්පු නිෂ්පාදකයන් තම ගෝඩා බැරල් වලට මෙම නොකැඩූ නැනෝ දියර කෑන් බහාලන බවටත් ඉන් ඒවායේ පැසීම වේගවත් වන බවටත් ඔව්හු කියා සිටිති.

මෙම මාස් කන්නයේ කුඹුරු ගොවිතැනින් අපේක්ෂිත අස්වැන්නෙන් තුනෙන් එකක් වත් ලබා ගත හැකි බවක් නොපෙනෙන පසුබිමක් තුළ මෙම නැනෝ දියර පොහොර යොදා කසිප්පු නිෂ්පාදනයට තවත් අතිරේක පිරිසක් පෙළඹිය හැකි බව පෙන්වා දෙන එම ගොවීහු අද වන විට කසිප්පු සහ ගංජා නීති ගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවක් පැන නඟින අතරේ ඒවාට අවශ්‍ය අමු ද්‍රව්‍ය මෙලෙස ගොවීන් අතටම පත් කරවීම පුදුම සහගත දෙයක් බව ද පෙන්වා දෙති.

එමෙන්ම ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම නැනෝ දියර පොහොර භාවිතා කළ ඇතැමුන් ගේ සම මතු පිට තුවාල පවා හට ගෙන ඇති බවකි.නමුදු මෙම පොහොර වල සෑබෑ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන්ට ද නිශ්චිතව යමක් කිව නොහැකි බව ගොවි ජන සේවා නිලධාරීන් ද ප්‍රකාශ කොට ඇතැයි ද එම ගොවීහු වැඩි දුරටත් කියති.

 

කාලීන පුවත්