ඉන්දියානු සහල් ලබන සතියේ කොළඹ වරායට

පෞද්ගලික අංශය මඟින් ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සහල් පළමු තොගය ලබන සතියේ කොළඹ වරායට ලැබෙනු ඇති බව පිටකොටුව සහල් ආනයනකරුවෝ පවසති.පෞද්ගලික අංශයට බලපත්‍රවලින් තොරව සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මේ වන විට ආනයනකරුවන් පනස් දෙනෙකු පමණ ඉන්දියාවෙන් සහල් ඇනවුම්කර තිබේ.කිලෝවක් රුපියල් 65ක ආනයන බද්දට යටත්ව ආනයනය කරන මෙම සහල් කොළඹ වරායේ ළඟාවීමෙන් පසු කිලෝවක් සඳහා රුපියල් 225-230 ක් අතර මිලක් වැය වනු ඇතැයි ආනයනකරුවන් ගේ පාර්ශවය පවසයි.මේ අතර ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ ආනයනික සහල් වරායට ළඟාවූ පසු පැය හතරක කාලයක් ඇතුළත මුදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනුයේ රජය ගත් මෙම තීරණය හමුවේ මෙරට සහල් මෝල් හිමියන් තිගැස්සී හිඳින මුත් මේ වන විට සහල් වෙළඳ පලේ පවතින මිල විකෘතිය යථා තත්වයට පත් කරනු පිණිස ආණ්ඩුව මෙම පියවර ගෙන ඇති බවය.

කාලීන පුවත්