ඉන්දියාවේ ජනප්‍රිය නිළි කන්ගනා රනවුත් මෝදිගේ පක්‍ෂයෙන් මැතිවරණයට

ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන කන්ගනා රනවුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙනවා. 37 වැනි වියෙහි පසුවන ඇය එරට සිනමාවේ දක්‍ෂතම නිළියන්ගෙන් කෙනෙකු වන අතර කිහිප වතාවක්ම ෆිලම්ෆෙයාර් සම්මාන සහ ජාතික සම්මාන දිනාගෙන තිබෙනවා.

කන්ගනා මැතිවරණයට තරග කිරීමට යන්නේ අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂයෙන්. ඇය කලෙක සිටම මෝදි ගේ ජාතිකවාදී ප්‍රතිපත්තිවලට සහය දක්වන කෙනෙක්. පසුගිය කාලයේ කන්ගනා ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ වී නොසිටියත් සමාජ දේශපාලනික කාරණා ගැන නිතර අදහස් පළ කිරීමට පුරුදු වී සිටියා. මෙම අදහස් පළ කිරීම් නිසා විවිධ ආන්දෝලනයන්ටත් මුහුණ දුන්නා. සමහර අවස්ථාවල කන්ගනා සිනමා ක්‍ෂේත්‍රයේම සහෝදර ශිල්පීන් පවා විවේචනය කරනු දැකිය හැකි වුණා. ඉන්දියාවේ හින්දු අන්තවාදීන්ගෙන් සුළු ජාතීන්ට සිදුවන අකටයුතුකම්වලට විරුද්ධව අදහස් දැක් වූ ආමීර් ඛාන් වැනි අය කන්ගනාගේ විවේචනයට ලක් වනු දකින්නට ලැබුණා.

කෙසේ හෝ වේවා, ඇය මෙවර මැතිවරණයෙන් ජය ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එයට එක් හේතුවක් නම් ඇය තරග කරන්නේ ඇය උපන් ප්‍රදේශයෙන්ම වීමයි. 1987 වසරේ කන්ගනා උපත ලැබුවේ උතුරු ඉන්දියාවේ හිමෙන් වැසුණු කඳුකර ප්‍රදේශයක පිහිටි සුරාජ්පුර් නැමැති ගම්මානයේ යි. මෙම ගම්මානය අයත් වන්නේ හිමාලයේ බටහිර පැත්තේ පිහිටා ඇති හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ඩි නැමැති දිස්ත්‍රික්කයට. කන්ගනා මැතිවරණයට ඉදිරිපත් වන්නේ මෙම මන්ඩි දිස්ත්‍රික්කයෙන්.

මැතිවරණයේ දී ඇයගේ විරුද්ධවාදීන් වනු ඇත්තේ රහුල් ගාන්ධි, සෝනියා ගාන්ධි වැනි නායකයන් අයත් වන කොංග්‍රස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය යි. කොංග්‍රස් පක්‍ෂය ඇයගේ දැඩි විවේචනයට ලක් වන පක්‍ෂයක්. පසුගිය දා ඇය එම පක්‍ෂය දැඩි ලෙස විවේචනය කරමින් පවසා තිබුණේ එය පවුල්වාදී පක්‍ෂයක් බව යි. මේ වනවිට පක්‍ෂයේ නායකත්ව මට්ටමේ සිටින සෝනියා ගාන්ධි, රහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි වැනි අය එකම පවුලක සාමාජිකයන් බව රහසක් නොවෙයි. සෝනියා ගාන්ධි යනු හිටපු අගමැති රජීව් ගාන්ධිගේ බිරිඳ යි. රහුල් සහ ප්‍රියංකා ඔවුන් දෙපලගේ දරුවන්. රජිව් ගාන්ධි යනු හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ පුත්‍රයා වන අතර ඉන්දිරා ගාන්ධි නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරු ගේ දියණිය යි. කන්ගනා එම පක්‍ෂය පවුල්වාදී පක්‍ෂයක් බව කියන්නේ මෙම පසුබිම තුළයි.

සිනමාව තුළ ද මෙවැනි පවුල්වාදයන් ක්‍රියාත්මක වන බවත්, ඒ තුළ තමා ද එම ක්‍ෂේත්‍රයේ දී බොහෝ අකටයුතුකම්වලට මුහුණ දී ඇති බවත් ඇය ළඟදී දවසක පවසා තිබුණා. ඉන්දියානු සිනමා ක්‍ෂේත්‍රයේ අද ජනප්‍රිය නළු නිළියන් බොහෝ දෙනා ප්‍රකට සිනමා පවුල්වල දරුවන් බව රහසක් නොවෙයි.

කන්ගනා දේශපාලනය ගැන විශාල උනන්දුවක් තිබූ කෙනෙකු බව පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. චිත්‍රපට කිහිපයකමත් ඇය ඉන්දියාවේ ප්‍රකට දේශපාලන නායිකාවන්ගේ චරිත රඟපෑවා. 2021 වසරේ ඇය රඟ පෑ තලයිවි චිත්‍රපටයේ කන්ගනා නිරූපනය කළේ ප්‍රකට දේශපාලන නායිකාවක වූ ජයලලිතාගේ චරිතය යි. තවමත් තිරගත වී නැති Emergency -නැමැති සිනමාපටයේ කන්ගනා රඟපාන්නේ ඉන්දිරා ගාන්ධි ගේ චරිතය යි.

ඇය මෙම චරිතය නිරූපනය කිරීම ගැන ඇයගේ ප්‍රතිවාදී කොංග්‍රස් පක්‍ෂයෙන් විරෝධය පළ වුණා. Emergency චිත්‍රපටයෙන් කියැවෙන්නේ ඉන්දිරා ගාන්ධි නවසිය හැත්තෑ ගණන්වල ඉන්දියාව තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවක් ගැන යි. මෙම චිත්‍රපටයෙන් ගාන්ධිගේ ප්‍රතිරූපයට හානි වන බවට කොංග්‍රස් පක්‍ෂයේ ඇතැමුන් චෝදනා කළා.

Emergency මේ වසරේ ජුනි මාසයේ තිරගත වීමට නියමිත බව සඳහන්. ඒ වනවිට මහා මැතිවරණයේ ප්‍රතිඵලත් ප්‍රකාශයට පත්ව තිබෙනු ඇති. එම පසුබිම තුළ Emergency ගැන විශාල සංවාදයක් ඇති වීමටත් ඉඩ තිබෙනවා. සමහර විට චිත්‍රපටයට එරෙහිව විරෝධතා මතුවන්නටත් පිලිවන්.


මේ සිනමාපටය සම්බන්ධයෙන් ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය අධ්‍යක්‍ෂණය කරන ලද්දේත් කන්ගනා විසින්ම වීම යි. මෙය ඇය අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමාපටය යි. 2019 වසරේ තිරගත වූ Manikarnika චිත්‍රපටයේ අධ්‍යක්‍ෂණයටත් ඇය සම්බන්ධ වුණා. මෙම සිනමාපටයත් ඉන්දීය ඉතිහාසයේ සිටි ප්‍රබල කැරළිකාර චරිතයක් ගැන කියැවෙන සිනමාපටයක්.

කන්ගනාට අමතරව ඉන්දියාවේ තවත් ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකුම මේ වනවිට ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී සිටිනවා. කමල් හසන් මෙවර මැතිවරණයේ දී තමිල්නාඩු ප්‍රාන්තයේ මෝදි විරෝධී පිලට සහය දීමට ඉදිරිපත්ව සිටින අතර විජේ ද පසුගිය දා අලුත් පක්‍ෂයක් පිහිටුවා ගත්තා. නමුත් ඔහු මෙවර මැතිවරණයට තරග කිරීමට අදහසක් නැහැ. 2026 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට ඔහු සහ ඔහුගේ තමිලගේ වෙට්රි කෂාගම් පක්ෂය ඉදිරිපත් වනු ඇති බව පැවසෙනවා.

බොලිවුඩ් සිනමාවේ තවත් කැපී පෙනෙන නිළියක වන ස්වරා භාස්කර් ද සමහර විට මෙවර මැතිවරණයට තරග කිරීමට ඉඩ ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇය සහය දක්වන්නේ කොංග්‍රස් පක්‍ෂයට යි. මෙයට ටික දිනකට පෙර ඇය රහුල් ගාන්ධි සමග විරෝධතා පා ගමනකට එක්ව සිටින ආකාරයත් දැකිය හැකි වුණා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර