මේ, ඉන්දියාවේ පළමු ඡන්දදායකයා ලෙස ඉතිහාසයට එක්ව සිටින අපූරු පුද්ගලයකු ගැන සටහනකි.
ශ්‍යාම් සරන් නෙගි නමින් හැඳින්වෙන ඔහු පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූ අතර ඒ නිසා ඔහු ගැන මේ දිනවල මාධ්‍ය තුළ නැවතත් විශාල කතාබහක් ඇතිව තිබේ. මිය යන විට නෙගි ගේ වයස අවුරුදු 105 ක් විය. ඉන්දියාවේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන ඔහුගේ අභාවය බොහෝ දෙනා තුළ විශාල ශෝකයක් ඇති කළ කාරණයක්ව තිබිණි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ද ඒ ගැන සිය ශෝකය පළ කර තිබූ අතර ඔහුට සිය උපහාරය පුද කර තිබෙනු දැකිය හැකි විය.
ඉන්දියාව 1947 වසරේ බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු පළමු මහා මැතිවරණය පැවැත්වූයේ 1952 වසරේ ය. නමුත් නෙගි ජීවත් වූ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඡන්ද විමසීම ඊට මාස පහකට පෙර පැවැත්වීමට මැතිවරණ නිලධාරීහු පියවර ගත්හ. ඒ, එම ප්‍රාන්තය තුළ දැඩි හිමපතනයක් ඇති විය හැකි යයි අනාවැකි පළ වී තිබූ බැවිනි. ඊට කලින් ඡන්ද විමසීම පවත්වා අවසන් කිරීමට නිලධාරීන්ට වුවමනා විය. ඒ අනුව සෙසු ප්‍රාන්තවල අයට කලින් 1951 වසරේ සිය ඡන්දය භාවිත කිරීමට හිමාචල් ප්‍රදේශ් වැසියන්ට හැකියාව ලැබිණි. මෙම ප්‍රාන්තය හිමාල කඳුවැටිය ආසන්නයේ පිහිටි ප්‍රාන්තයකි.
ඡන්ද විමසීම පැවැත්වුණු දිනයේ සරන් නෙගි වේලාසනින්ම ඡන්ද පොල වෙත ගියේය. ඔහු උදෑසන 7 ට පමණ සිය ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් තිබිණි. ඒ වනවිට ඡන්දය භාවිත කිරීම ආරම්භ වී තිබුණේ නැත. එසේ වුවත් නෙගිට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමි වූයේ ඔහු වෙනත් ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා යා යුතුව තිබූ බැවිනි. මේ අනුව එම ඓතිහාසික මැතිවරණයේ දී ඡන්දය භාවිත කළ පළමු ඡන්දදායකයා බවට පත්වෙමින් ඉතිහාසගත වීමට සරන් නෙගිට හැකි විය. මෙම මැතිවරණයෙන් ජය ගත්තේ ජවහර්ලාල් නේරු නායකත්වය දුන් ඉන්දීය ජාතික කොංග්‍රසය යි.
සරන් නෙගි උපන්නේ 1917 වසරේ ය. ඔහුගේ උපන් ගම උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි කල්පා නැමැති කුඩා ගම්මානය යි. පළමු මැතිවරණයේ දී ඡන්දය භාවිත කරන විට ඔහුගේ වයස අවුරුදු 34 ක් විය. මැතිවරණ ක්‍රමය ගැන දැඩි විශ්වාසයකින් පසු වූ කෙනෙකු වූ ඔහු එදා පටන් පැවැති සෑම මැතිවරණයකදී ම සිය ඡන්දය පාවිච්චි කර තිබිණි. නෙගි එකල රැකියාව කර තිබුණේ ගුරුවරයකු ලෙසිනි.
පසුගිය 5 වැනි දින ඔහුගේ මරණය සිදු වූයේ ඔහු හිමාචල් ප්‍රදේශ් හි ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ඡන්ය පාවිච්චි කර දින තුනකට පසුව වීම විශේෂත්වයක් විය. ඔහු ඡන්දය භාවිත කර තිබුණේ නොවැම්බර් 2 වැනි දින ය. ඊට කලින් පැවැති සෑම මැතිවරණයකදී ම ඔහු ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය දැමුවත් මෙවර ඔහුට එලෙස යාමට නොහැකි විය. ඒ ඔහු ශාරීරිකව බෙහෙවින් දුර්වලව සිටි බැවිනි. මේ නිසා ඔහුට තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පහසුකම් සලසා දීමට මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එදින ඔහුගේ නිවස වෙත පැමිණ තිබිණි. නේගි ඡන්දය භාවිත කිරීමට පැමිණ තිබුණේ රතු පලසක් මතිනි. සංගීත කණ්ඩායමක් සම්ප්‍රදායික සංගීතය වාදනය කරමින් එම අවස්ථාව තවත් වර්ණවත් කර තිබිණි.
2014 වසරේ ඔහු ඉන්දියානු මැතිවරණ දෙපාර්තමේන්තුවේ සන්නාම තානාපතිවරයකු ලෙස පත් කරනු ලැබිණි. ඒ මැතිවරණවල දී ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයන් උනන්දු කරවීම සඳහා ය. ඒ වෙනුවෙන් නිපදවන ලද විඩියෝවක ද නෙගි පෙනී සිටියේය. ඔහු අවසන් වරට ඡන්දය භාවිත කළ දිනයේ ද තරුණ ඡන්දදායකයන් උනන්දු කරවමින් ප්‍රකාශයක් කර තිබිණි. ‘තරුණ පරපුර මෙම ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයට සහභාගි වීම සඳහා ඉදිරියට ආ යුතුයි. ඡන්දය භාවිත කිරීම හරහා මැතිවරණවලට සහභාගි වීම අපගේ අයිතියක් පමණක් නොව යුතුකමක් ද වේ’ නෙගි එහිදී පැවසුවේය.
ඔහුගේ අවමගුල් උත්සවය හිමාලය අසල කල්පා ගම්මානයේ දී රාජ්‍ය අවමගුල් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබිණි.
නිහාල් පීරිස්