ශ්‍රී ලකාව ද අයත් වන දකුණු ආසියානු කලාපයේ සාමකාමී බව දෙදරුම් කන ආකාරයේ සිදුවීම් දාමයක් මේ වනවිට ඉදිරියට යමින් තිබේ. ඒ මෙම කලාපයේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ පාකිස්තානය අතර දැඩි උණුසුම් තත්වයක් වර්ධනය වීමත් සමග ය. ඔවුන් අතර නැවත යුද ගැටුමක් ඇති වේවි ද යන සැකයක් පවා මේ වනවිට ඇතැම් පාර්ශ්ව තුළ ඇතිවෙමින් තිබෙනු දැකිය හැකි වේ.එවැනි තත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලකාව වැනි රටවලට ද එහි බලපෑමෙන් මිදීම අපහසු වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙම ආතතියට මුල පිරුණේ පසුගිය 22 වැනි අඟහරුවාදා සිදු වූ සිද්ධියක් නිසා ය. කාශ්මීර ප්‍රදේශයේ ඉන්දියානු පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර කලාපයේ පහල්ගම් නැමැති ඉසව්වේ සංචාරය කරමින් සිටි සංචාරකයන් පිරිසක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වීම මෙම සිද්ධිය යි. මෙම ප්‍රහාරයෙන් 26 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 17 දෙනෙක් තුවාල ලැබූහ. ඒ අතරින් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මිය ගිය අයගෙන් 25 දෙනෙකුම ඉන්දියානු දේශීය සංචාරකයන් බව ද අනාවරණය විය.
කාශ්මීර ප්‍රදේශය දැන් කාලයක සිටම ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම්වලට කේන්ද්‍රස්ථානයක් වී ඇති ප්‍රදේශයකි. එහි එක් කොටසක් ඉන්දියාවේ පාලනය යටතේ පවතින අතර තව කොටසක් පාකිස්තානයේ පාලනය යටතේ පවතියි. නමුත් මේ දෙරටම පවසමින් සිටින්නේ සම්පූර්ණ කාශ්මීර කලාපයම තමුන් සතු විය යුතු බව යි.
කාශ්මීර ප්‍රතිරෝධතා පෙරමුණ නැමැති සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරය පිළිබඳ වගකීම භාර ගනිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.
කාශ්මීර ප්‍රදේශය දැන් කාලයක සිටම ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම්වලට කේන්ද්‍රස්ථානයක් වී ඇති ප්‍රදේශයකි. එහි එක් කොටසක් ඉන්දියාවේ පාලනය යටතේ පවතින අතර තව කොටසක් පාකිස්තානයේ පාලනය යටතේ පවතියි. නමුත් මේ දෙරටම පවසමින් සිටින්නේ සම්පූර්ණ කාශ්මීර කලාපයම තමුන් සතු විය යුතු බව යි.
මෙම පසුබිම තුළ මුස්ලිම් බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ඉන්දියානු පාලනය යටතේ පවතින කොටස තුළ බෙදුම්වාදී අරගලයක් දියත් කර තිබේ. මේ සමහර කණ්ඩායම්වලට වුවමනා වී ඇත්තේ මෙම කොටස ඉන්දියාවෙන් වෙන් කරගෙන වෙනම රාජ්‍යයක් බවට පත් කරගැනීමට ය. මෙම කොටස වෙන් කරගෙන පාකිස්තානයට ඈඳන්නට උත්සාහ කරන කණ්ඩායම් ද මේ අතර සිටියි. මෙම කණ්ඩායම්වලට පාකිස්තානය සහය දක්වන බවට ඉන්දියාව චෝදනා කරයි.
ඉහත කී ප්‍රතිරෝධතා පෙරමුණ නැමැති කණ්ඩායම ද සැලකෙන්නේ මෙවැනි කණ්ඩායමක් ලෙසිනි.
කෙසේ හෝ වේවා, මෙම පෙරමුණ මුලින් ප්‍රහාරයේ වගකීම භාර ගත්තත් පසුගිය ඉරිදා එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනු ද දැකගන්නට ලැබිණි. එහි දී ඔවුන් පවසා තිබුණේ පහල්ගම් ප්‍රහාරයට තමුන්ගේ සම්බන්ධයක් නැති බවයි. කලින් ප්‍රකාශය තම සංවිධානය අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් යම් පාර්ශ්වයක් විසින් නිකුත් කරන ලද්දක් බව ද ප්‍රතිරෝධතා පෙරමුණ පවසා තිබිණි.
ඒ කෙසේ වෙතත්, 22 වැනි දින ප්‍රහාරය ඉන්දියානු නායකයන් තුළ දැඩි කෝපයක් ඇති කර තිබූ බවක් පෙනිණි. ප්‍රහාරය එල්ල වන අවස්ථාව වෙද්දී සෞදි අරාබියේ සංචාරයක නිරත වෙමින් සිටි අගමැති නරේන්ද්‍ර මෝදි එම සංචාරය අතරමග නතර කර වහාම ඉන්දියාව බලා පැමිණියේය. පහල්ගම් ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා මහ පොලොවේ කෙළවර දක්වා ලුහුබඳින බවත්, ඔවුන්ට සිතාගත නොහැකි තරමේ දඬුවම් ලබා දෙන බවත් ඔහු මහත් ආවේගයෙන් යුතුව ප්‍රකාශ කරනු දැකගත හැකි විය. ඉන්දියානු බලධාරීන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානයට චෝදනා එල්ල කරන ආකාරය ද දැකගන්නට ලැබිණි.
ඒ නිසා පාකිස්තානයට එරෙහිව දැඩි පියවර කිහිපයක්ම ඉන්දියාව විසින් ගන්නා ලදී. පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් යම් පිරිසක් රටින් නෙරපන ලද අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ප්‍රධාන දේශ සීමා පිවිසුමක් වසා දමනු ලැබිණි. එපමණක් නොව ඉන්දු ගංගා ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර ඇති කරගෙන තිබූ ගිවිසුමකට අනුව කටයුතු කිරීම නතර කිරීමටත්, පාකිස්තානුවන් සඳහා වීසා නිකුත් කිරීම අත්හිටුවීමටත් පියවර ගත්තේය.
පාකිස්තානය ද නිකම් සිටියේ නැත. ඉන්දියාව සමග වෙළෙඳ කටයුතු අත්හිටුවීමටත්, ඉන්දියානු ගුවන් යානා සඳහා එරට ගුවන් කලාපය වසා දැමීමටත්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපීමටත්, ඉන්දුයානුවන් සඳහා වීසා නිකුත් කිරීම අත්හිටුවීමටත් පියවර ගැනිණි.
ඉන්දියාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානයට චෝදනා කිරීම හෙලා දකිමින් පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් පැවසුවේ ඊට අදාළ සාක්ෂි ඇත්නම් ඉදිරිපත් කරන ලෙස යි.
මේ අතර මෙම ප්‍රහාරයට විරෝධය දක්වමින් ඉන්දියාව තුළ විරෝධතා පැවැත්වුණු අතර පාකිස්තාන ධජ ගිනි තබන ආකාරය ද දැක ගන්නට ලැබිණි.
කාශ්මීරයේ ඉන්දියා පාලන කලාපය සහ පාකිස්තාන පාලන කලාපය වෙන් කරන සීමාවේ හමුදා පාලන තීරුවක් පවතී. මෙහි දෙපස සිටින ඉන්දියානු සහ පාකිස්තාන සෙබළුන් අතර වෙඩි හුවමාරු සිදුවෙමින් ඇති බවක් ද වාර්තා විය. නමුත් ඒවා එතරම් දුරදිග ගිය බවක් පෙනුණේ නැත.
මේ අතර ප්‍රහාරයට සම්බන්ධ යයි ඉන්දීය පොලිසිය චෝදනා කළ සැකකරුවන් කිහිප දෙනෙකුගේ නිවාස ඉන්දියානු හමුදාව විසින් පුපුරුවා හරින ලද බවක් ද වාර්තා විය.
මෙම සිද්ධිය යුධ ගැටුමක් දක්වා ගෙන යාමට දෙපාර්ශ්වයම කටයුතු කරනු ඇතැයි සිතිය හැකි නොවේ. කෙසේ නමුත් මෙයට පෙර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද්ධ තුනකටම කාශ්මීර ප්‍රශ්නය හේතු වූ බව ද අමතක කළ නොහැක්කකි.ඉතා වගකීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද මේ වනවිට මෙම දෙපාර්ශ්වයටම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.
මේ වනවිට ප්‍රහාරය එල්ල වී සතියකට ආසන්න කාලයක් ගත වී තිබුණත් ඉන්දියාව සහ පාකිස්තානය අතර ආතතිය තවමත් උණුසුම් මට්ටමක පවතී. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව යම් ප්‍රහාරයක් එල්ල කිරීමට විශාල ඉඩක් තිබේ. එසේ වුවහොත් පාකිස්තානය ද එකට එක කිරීමට ඉඩ ඇත. එවැනි ගැටුමක් දුරදිග ගියහොත් බරපතල තත්වයක් ඇති වීමට පුලුවන.
නමුත් මෙම සිද්ධිය යුධ ගැටුමක් දක්වා ගෙන යාමට දෙපාර්ශ්වයම කටයුතු කරනු ඇතැයි සිතිය හැකි නොවේ. කෙසේ නමුත් මෙයට පෙර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද්ධ තුනකටම කාශ්මීර ප්‍රශ්නය හේතු වූ බව ද අමතක කළ නොහැක්කකි.
ඉතා වගකීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද මේ වනවිට මෙම දෙපාර්ශ්වයටම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.
නිහාල් පීරිස්