ඉන්දිරා ගාන්ධි ගැන තැනූ ආන්දෝලනාත්මක චිත්‍රපටය ළඟදීම

ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ලොව සුපතල නායිකාවක බව රහසක් නොවේ. එමෙන්ම ඇය බොහෝ ආන්දෝලනයන්ට ද ලක් වූ නායිකාවකි. 1984 වසරේ ඇය වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඝාතකයන් වූයේ ඇයගේම ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකි.

ඉන්දිරා ගාන්ධි ගේ මෙම දේශපාලන ජීවිතය පසුබිම් කරගත් සිනමාපටයක් ළඟදී තිරගත වීමට නියමිත අතර ඒ ගැන මේ දිනවල ඉන්දියාව තුළ විශාල කතාබහක් තිබේ.Emergency නැමැති මෙම සිනමාපටය හින්දි චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය එනම් ඉන්දිරා ගාන්ධි ගේ චරිතය රඟපාන්නේ ඉන්දීය සිනමාවේ ඉතා ආන්දෝලනාත්මක නිළියක වන කන්ගනා රනවුත් ය. Emergency චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරිය ද ඇය යි. පසුගිය කාලයේ විවිධ ගැටලුවලට සහ විරෝධයන්ට ලක් වීමෙන් පසු දැන් මෙම චිත්‍රපටය ලබන ජනවාරි මාසයේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිතව තිබේ.

චිත්‍රපටය මුහුණ දුන් ගැටලු අතර ප්‍රධානම ගැටලුවක් වූයේ එයට ඉන්දියාවේ සික් ජාතිකයන් නියෝජනය කරන ඇතැම් කණ්ඩායම්වලින් දැඩි විරෝධයක් එල්ල වීම යි.

ගාන්ධි ඝාතනය කළ සත්වාන්ත් සිං සහ බීන්ත් සිං යන ආරක්ෂක නිලධාරීන් දෙදෙනාම සික් ජාතිකයන් ය. ඉහත කී කණ්ඩායම් චිත්‍රපටයට විරෝධය දැක්වූයේ මෙම චිත්‍රපටය සික් ජාතිකයන් පිලිබඳ සෘණාත්මක ආකල්පයක් ඇති කරන බවටත්, සික් ජාතිකයන්ගේ ඉතිහාසය, අනන්‍යතාව පිලිබඳ වැරදි අදහසක් ඇති කරනු ලබන බවටත් චෝදනා කරමිනි.

කන්ගනා රනවුත්

ඉන්දිරා ගාන්ධි ගේ රජය ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි සික් ජාතිකයන්ගේ ආගමික ස්ථානයක 1984 වසරේ හමුදා මෙහෙයුමක් දියත් කළ අතර එහි අරමුණ වූයේ එහි රැ`ඳී සිටි බෙදුම්වාදී සික් සටන්කාමීන් පිරිසක් ඉවත් කිරීම ය. ඔවුන් සික් ජාතිකයන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඇති කර ගැනීම සඳහා සටන් කළ පිරිසකි. මෙම හමුදා මෙහෙයුමේ දී සික් නායකයන් ඇතුළු සටන්කාමීහු පිරිසක් මරණයට පත් වූහ. සත්වාන්ත් සිං සහ බීන්ත් සිං ඉන්දිරා ගාන්ධි ඝාතනය කළේ මෙහි පලිය ගැනීමට බව අනාවරණය විය.

කන්ගනා රනවුත් අධ්‍යක්‍ෂණය කළ Emergency මුලින් තිරගත කිරීමට යොදාගෙන තිබුණේ සැප්තැම්බර් මාසයේ යි. නමුත් සික් කණ්ඩායම්වලින් එල්ල වූ විරෝධය නිසා ඉන්දියාවේ චිත්‍රපට අනුමත කිරීමේ මණ්ඩලය ඒ සඳහා අනුමැතිය දීම ප්‍රමාද කළේය. ඉහත කී කණ්ඩායම් මේ ආකාරයෙන් විරෝධතා දක්වා තිබුණේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට නැරඹීමෙන් පසුව යි. ඇතැම් සික් සංවිධාන පැවසුවේ Emergency සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බවය. චිත්‍රපටය අනුමත නොකරන ලෙස දන්වමින් ඉන්දියාවේ චිත්‍රපට අනුමත කිරීමේ මණ්ඩලයේ ඇතැමුන්ට මරණ තර්ජන පවා ලැබුණු බව සඳහන් විය. පසුව එම මණ්ඩලය චිත්‍රපටයට අනුමැතිය ලබා දී තිබුණේ එහි නිර්මාණකරුවන් ඇතැම් දර්ශණ සංස්කරණය කිරීමෙන් පසුව බව සඳහන් වේ.

ඉන්දිරා ගාන්ධි ගේ දේශපාලන ජීවිතයේ තවත් අඳුරු කාල පරිච්ඡේදයක් ගැන ද මෙම චිත්‍රපටයෙන් කියැවෙන බව සඳහන් වේ. 1975 වසරේ ජුනි මාසයේ සිට 1977 මාර්තු මාසය දක්වා මාස 21 ක කාලයක් ඉන්දිරා රට පාලනය කළේ හදිසි නීතිය යටතේ යි. එවැනි පියවරක් ගැනීමට හේතු වූයේ එම කාලයේ ඇයගේ පාලනයට දැඩි අනතුරක් එල්ල වී තිබීම ය. හදිසි නීතිය යටතේ ඇය තම දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම මාධ්‍ය ද මර්ධනය කිරීමට දැඩි පියවර ගත්තාය. මෙම අඳුරු කාලවකවානුව ගැන කන්ගනා ගේ Emergency චිත්‍රපටයෙන් කියැවෙන නිසා එයින් ඉන්දිරා ගාන්ධි ගේ ප්‍රතිරූපයට හානියක් සිදුවන බවටත් ඇතැම්හු තර්ක කළහ. මෙම අදහස වැඩියෙන්ම මතු කළේ ඉන්දිරා අයත් වූ කොංග්‍රස් පක්‍ෂයේ ඇතැම් නායකයන් ය. ඔවුන් ද කන්ගනා ගේ චිත්‍රපටයට යම් විරෝධයක් දක්වා තිබිණි.

කන්ගනා ද මේ වනවිට දේශපාලනයට පිවිස සිටින කෙනෙකි. මාස කිහිපයකට පෙර පැවැති ඉන්දීය මහා මැතිවරණයට තරග කළ ඈ එයින් ජයගෙන පාර්ලිමේන්තුවට ද පිවිසුණාය. කන්ගනා අයත් වන්නේ ඉන්දිරා ගාන්ධි අයත් වූ කොංග්‍රස් පක්‍ෂයේ ප්‍රධාන දේශපාලන සතුරා වන භාරතීය ජනතා පක්‍ෂයට යි. වත්මන් අගමැති නරේන්‍ද්‍ර මෝදි අයත් වන්නේ ද මෙම පක්‍ෂයට ය. කන්ගනා සිය චිත්‍රපටයෙන් ඉන්දිරා ගාන්ධි ගේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සාහ කරන බවට චෝදනා නැගෙන්නේ මෙම පසුබිම තුළ ය.

Emergency චිත්‍රපටයේ රූප රාමුවක්

මේ වනවිට 38 වැනි වියෙහි පසුවන කන්ගනා රනවුත් ඉතා දක්‍ෂ, සම්මානනීය නිළියකි. දේශපාලනය ගැන විශාල උනන්දුවක් දක්වන ඈ මෙයට පෙර ද චිත්‍රපටවල දේශපාලන නායිකාවන්ගේ චරිත නිරූපනය කර තිබේ. 2021 වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණි “තලයිවි” නැමැති සිනමාපටයේ ඇය තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනි ජයලලිතා ගේ චරිතය රඟ පෑවාය. එම සිනමාපටය ජයලලිතාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූවකි.

Emergency චිත්‍රපටයේ ඉන්දිරා ගාන්ධි ලෙෂ ඇය කරන රංගනය මේ වනවිටත් බොහෝ දෙනාගේ අගැයුමට ලක් වී ඇත. එහි ඇයගේ පෙනුම ඉන්දිරා ගේ පෙනුමට බෙහෙවින් සමාන වීම ද විශාල අවධානයක් දිනාගෙන තිබේ. Emergency තිරගත වීම ආරම්භ වීමෙන් පසු චිත්‍රපටය ගැන විශාල සංවාදයක් ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

නිහාල් පීරිස්

රසගඟුල