ඉන්දීය නිළි කන්ගනා රනවුත්ට මරණ තර්ජන

කන්ගනා රනවුත් ඉන්දියානු සිනමාවේ දක්‍ෂතම නිළියක්. නිතර උණුසුම් පුවත් මවන්නියක වන ඇය ගැන මේ දිනවලත් මාධ්‍ය තුළ ලොක අවධානයක් යොමු වෙනවා. ඒ ඇයට යම් පාර්ශ්වයකින් මරණ තර්ජන එල්ල වී ඇති බවක් පැවසෙන නිසා යි.

මේ ආකාරයෙන් මරණ තර්ජන එල්ලවීමට හේතුව වී ඇත්තේ අලුත් චිත්‍රපටයක් හා බැඳුණු කාරණයක්. මෙම චිත්‍රපටයේ නම Emergency. එහි ප්‍රධාන නිළිය පමණක් නොව අධ්‍යක්‍ෂවරියත් කන්ගනා යි. Emergency චිත්‍රපටය තරමක් ආන්දෝලනාත්මක තේමාවක් රැගත් දේශපාලන චිත්‍රපටයක්. එයට පසුබිම් වන්නේ ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ දේශපාලන ජීවිතයට සම්බන්ධ කතාවක්.

1975 වසරේ, එවකට අගමැති ධුරය දැරූ ඇයගේ පාලනයට දැඩි අභියෝගයක් එල්ල වූ අවස්ථාවක ඉන්දිරා ගාන්ධි හදිසි නීතිය පනවා ඒ යටතේ රට පාලනය කිරීමට පියවර ගත්තා. 1975 ජුනි මාසයේ සිට 1977 මාර්තු මාසය දක්වාම ඇය සිය පාලනය ගෙන ගියේ හදිසි නීතිය යටතේ යි. සිය දේශපාලන විරුද්ධවාදීන් දැඩි ලෙස මර්ධනය කිරීමට මේ කාලයේ ඇය පියවර ගත් අතර දැඩි මාධ්‍ය මර්ධනයක් ද ක්‍රියාත්මක කළා. එම කාල වකවානුව සැලකෙන්නේ ඇයගේ දේශපාලන ජීවිතයට කළු පැල්ලමක් එක් කළ කාලයක් හැටියට යි. කන්ගනා ගේ Emergency චිත්‍රපටයට පසුබිම් වන්නේ මෙම කාලවකවානුව බවයි පැවසෙන්නේ.

කන්ගනා මේ වනවිට දේශපාලනයටත් එක්ව සිටින කෙනෙක්. ඇය අයත් වන්නේ ඉන්දිරා ගාන්ධි අයත්ව සිටි ඉන්දීය ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන භාරතීය ජනතා පක්‍ෂයට යි. අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ පක්‍ෂයත් මෙය යි. මෙම පසුබිම තුළ කන්ගනා මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ ඉන්දිරා ගාන්ධිගේ ප්‍රතිරූපයට හානි කිරීමට බවක් ගාන්ධි ගේ පක්‍ෂයේ සමහරුන් මුල පටන්ම කියමින් සිටියා. මේ නිසා ඔවුන් මෙම චිත්‍රපටයට දැඩි විරෝධයක් දැක්වුවා.

කෙසේ නමුත් පසුගිය දිනවල කන්ගනාට එල්ල වූ බව කියන මරණ තර්ජනවලට කොංග්‍රස් පක්‍ෂයේ අය සම්බන්ධ බවක් පෙනෙන්නේ නැහැ. එම තර්ජන එල්ල වී ඇත්තේ බෙදුම්වාදී සික් ජාතිකයන් ගේ කණ්ඩායමකින් බවයි පෙනෙන්නේ. එරට පන්ජාබ් ප්‍රාන්තය තුළ සික් ජාතිකයන් වෙනුවෙන් ‘ඛාලිස්තානය’ නමින් වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඇතැම් සන්නද්ධ කණ්ඩායම් සටන් කරමින් සිටින බව රහසක් නොවෙයි.

මෙම තර්ජන ඇතුළත් වූ විඩියෝවක් ගැනත් පසුගිය දිනවල විශාල අවධානයක් යොමු වී තිබුණා. සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ එම විඩියෝවෙහි එක් පුද්ගලයෙකු පහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කරන බව සඳහන්.

“ඉතිහාසය වෙනස් කළ නොහැකියි. ඔබේ චිත්‍රපටය තුළ සික් සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස පෙන්නුම් කර ඇත්නම් ඔබ නිරූපනය කරන පුද්ගලයාට වෙච්චි දේ මතකයට නගා ගන්න. සත්වන්ත් සිං සහ බීන්ත් සිං යනු කව්දැයි අමතක කරන්න එපා. අප වෙත යමෙකු ඇඟිල්ල දිගු කරන්නේ නම් ඒ ඇඟිලි කඩා දමන්නේ කෙසේදැයි අප දන්නවා. අපට අපේ ජීවිත පරිත්‍යාග කළ හැකි නම් තව කෙනෙකුගේ ජීවිතය පැහැර ගැනීමත් අපට කළ නොහැක්කක් නොවෙයි”.

(සත්වන්ත් සිං සහ බීන්ත් සිං යනු 1984 වසරේ ඉන්දිරා ගාන්ධි ඝාතනය කළ සික් ජාතික ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනායි.)

කන්ගනාගේ චිත්‍රපටය තුළ ඉහත කී ඛාලිස්තාන ව්‍යාපාරයේ නැගීම ගැනත් නිරූපනය වන බව පැවසෙනවා.

මෙම තර්ජන සැබෑම තර්ජන ද නැතහොත් ව්‍යාජ මවාපෑම් ද යන්න තවම නිශ්චිතව අනාවරණය වී නැහැ. කෙසේ නමුත් කන්ගනා මේ ගැන පොලිසිය දැනුම්වත් කර ඇති බවත් මාධ්‍ය සඳහන් කර තිබුණා. ඇය ඉහත කී විඩියෝව ගැන ද පන්ජාබ, මහාරාෂ්ට්‍ර සහ හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්තවල පොලිස් දෙපාර්තමේන්තුවලට දැනුම් දී ඇති බව සඳහන්.

කන්ගනාට මේ ආකාරයෙන් තර්ජන එල්ල වී ඇත්තේ ඇයගේ චිත්‍රපටය ප්‍රදර්ශණය වීමට ආසන්නව තිබිය දී වීමත් විශේෂත්වයක්. Emergency චිත්‍රපටය ප්‍රදර්ශණය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 6 වැනි දින යි.

සම්මානනීය නිළියක වන කන්ගනා මෙහි දක්‍ෂ රංගනයක නිරත වන බවත් පැවසෙනවා. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටයක් මෙයට ටික දිනකට පෙර නිකුත් වූ අතර එය විශාල අවධානයක් දිනාගෙන තිබුණා. එහි කන්ගනාගේ පෙනුම ඉන්දිරා ගාන්ධි ගේ පෙනුමට බොහෝ සෙයින් සමාන ලෙස දිස්වෙනවා.

මෙයට පෙරත් කන්ගනා ඉන්දියානු දේශපාලන නායිකාවන්ගේ චරිත නිරූපනය කර තිබෙනවා. 2021 වසරේ තිරගත වූ ‘තලයිවි’ දෙමළ චිත්‍රපටයේ ඇය තමිල්නාඩුවේ ප්‍රබල නායිකාවක වූ ජයලලිතා ගේ චරිතය නිරූපනය කළා.

38 වැනි වියෙහි පසුවන කන්ගනා රනවුත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හැටියටත් කටයුතු කරනවා. ඇය පාර්ලිමේන්තුවට පිවිසුණේ මෙයට මාස කිහිපයකට පෙර පැවැති මහා මැතිවරණයෙන් ජය ගනිමිනු යි. එහි දී ඇය තරග කළේ ඇයගේ උපන් ගම් ප්‍රදේශයෙන්ම වීමත් විශේෂත්වයක් වුණා. කන්ගනා උපන්නේ හිමාල කඳුවැටිය ආසන්නයේ පිහිටා තිබෙන හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර