ඉන්ධන අර්බුද වල දී පිටරැටියන් ගත් විසඳුම් මෙන්න

ඉන්ධන අර්බුදයට විසදුම් සෙවීම සදහා අපේ රටේ පාලකයන්, ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති වීමෙන් ඉන්ධන අර්බුදයක් පැන නගින තෙක්ම බලා සිටිය ද, මුදල් නොමැති වීමෙන් ඉන්ධන අර්බුදයක් ඒ යැයි සිතිය නොහැකි ධනවත් රටවල් පවා ඉන්ධන අර්බුදයට විසදුම් සොයනු ලැබුවේ මීට දශක ගණනාවකට පෙර සිට ය. ලෝකයේ බහුතරයක් ධනවත් රටවල් මේ සදහා විවිධ උපාය මාර්ග ගෙන තිබේ.

ඉන්ධන අවම වශයෙන් භාවිත කර ඉන්ධන වෙනුවට වෙනත් විසදුම් සදහා ඉතා සාර්ථක පියවර රැසක් ගෙන ඇති රටක් වන්නේ නෙදර්ලන්තයයි. නෙදර්ලන්ත වැසියන් තනිව ගමන් ගන්නා සියලුම ගමනාන්ත සදහා භාවිත කරනු ලබන්නේ පා පැදියයි. පා පැදිය පදවාගෙන දිගු දුරක් ගමන් කිරීමේ අපහසුතා පැන නැගිය හැකි නිසාම නෙදර්ලන්තයේ සියයට 90 ක් ම කාර්යල සේවක සේවිකාවන් හට ලබා දී ඇති සුවිශාල සහනයක් වන්නේ සිය ස්ථිර පදිංචි වාසස්ථානයේ සිට කිලෝ මීටර් 8 ක් තුළ ඇති කාර්යාලයක සේවය කිරීම සදහා ඔවුන්ට අවස්ථාව ලැබී තිබීමයි. රජයේ කාර්යාල මෙන්ම පෞද්ගලික අංශය ද සිය ඇබෑර්තු සදහා බදවා ගැනීමේ දී මූලික සුදුසුකම්වලට අමතරව පදිංචි ස්ථානයේ සිට කාර්යාලයට ඇති දුර ද මූලික සුදුසුකමක් ලෙස සළකා බලනු ලබති. මේ නිසා දිනපතාම නෙදර්ලන්ත වැසියන්ට පා පැදිය ධාවනය කර ගෙන රාජකාරියට යා හැකි බැවින් ශරීරයට අමතර ව්‍යායාම අවශ්‍ය වන්නේ ද නැත. කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝගවලින් ද පහසුවෙන් වැළකී සිටීමට ද ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

එපමණක් ද නොව නෙදර්ලන්තයේ පාසැල් අධ්‍යාපනය උසස් මට්ටමක පවතින නිසාත්, සියලුම පාසැල් එක හා සමාන පහසුකම් සහිතව ඉදිකර ඇති නිසාත් නගරයේ පාසැල් සහ ග්‍රාමීය පාසැල් යනුවෙන් විශාල වෙනස්කම් නොපවතී. මේ නිසාම තම නිවසට ආසන්නයේම ඇති පාසැලට දරුවා ඇතුළු කර ගැනීමට මාපියන් ද කැමැත්තක් දක්වති. මේ නිසා කුඩා කාලයේ සිටම දරුවන් පා පැදියට හුරු කරවීමට එය මහගු නැඹුරුවක් ව තිබේ.

ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස සංවර්ධිත රටවල් රැසක් පරිසර හිතකාමී වාහන පාවිච්චිය වර්ධනය කිරීම සදහා විවිධ උපාය මාර්ග රැසක් ගනු ලැබීය. මූලික වශයෙන් බැටරි බලයෙන් පදවාගෙන යා හැකි ‘ඉලෙක්ට්‍රික්’ වාහන කෙරෙහි ඔවුන් නැඹුරු වන්නට පටන් ගත්තේ 2000 වර්ෂයටත් පෙර ය. ජපානය, චීනය, ජර්මනිය, හංගේරියාව, බ්‍රසීලය ආදී රටවල් ඉලෙක්ට්‍රික් වාහන පදවන්නන් සහ මිලදී ගන්නන් වෙනුවෙන් විවිධ සහන රැසක් හදුන්වදීමට ද පියවර ගන්නා ලදී. ඒකී බොහොමයක් රටවල රජයන් මූලික වශයෙන් ඉන්ධන යොදා ධාවනය වන වාහනවල මිල ඉහළ නැංවීමට කටයුතු කළ අතර, සෑම මීටර් 500 කට වරක් ඉලෙක්ට්‍රික් වාහන බැටරි ආරෝපිත මධ්‍යස්ථාන ඉදි කරමින් ද, බැටරි ආරෝපණය කිරීම සදහා අය කර ගනු ලබන සේවා ගාස්තු ඉතා අවම කරමින් ද ඉලෙක්ට්‍රොනික් වාහන හිමියන් දිරි ගැන්වීම් කරනු ලැබිණි.

ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සදහා සුළු පරිමාණයේ සූර්ය පැනල භාවිතය දිරි ගැන්වීමේ උපක්‍රමයක් ලෙස අවම මූලික මුදලකට සහ පහසු ගෙවීමේ ක්‍රම මත සිය නිවෙස්වල සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘති ද ආරම්භ කෙරිණි. නිවාස සංකීරණවල ජීවත්වන නිවැසියන් වෙනුවෙන් ද නිවාස සංකීරණයේ වහළ මත සූර්ය පැනල පද්ධති සවි කෙරුණු අතර ඒ සදහා අවශ්‍ය මූලික මුදල ගෙවීම සදහා රජයේ බැංකු මගින් ඔන්ලයින් ක්‍රමයෙන් ඉල්ලුම්කළ හැකි ණය පහසුකම් ලබා දෙන ලදී. ඒවා ද ඉතාම අවම පොලී අනුපාතිකයන් යටතේ වූ අතර සූර්ය පැනල භාවිතයට යොමු වන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සදහා වැඩි වරප්‍රසාද ද රාජ්‍ය බැංකුවලින් ඔවුන්ට හිමි විය.

මීට අමතරව ගෑස් වෙනුවට සූර්ය පැනල මගින් නිපදවන විද්‍යුතය භාවිතයෙන් කෑම පිසිය හැකි උදුන් නිෂ්පාදනය සහ ඒවා ඉතා අවම මිල ගණන් යටතේ අලෙවි කිරීම සදහා නිෂ්පාදනකයින් දිරි ගැන්වීම ද ඒවා මිලදී ගැනීම සහදා පාරිභෝගිකයින් දිරි ගැන්වීම ද එවැනි රටවල් මගින් සිදු කරනු ලැබවේ ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස නොව, පාරිසරික පද්ධති සමබරව පවත්වාගෙන යාම සදහා ය.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර