ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල සිටියදී සිදු වූ පස්වන මරණයත් පසුගිය දා ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. නමුත් එය ද මේ ඒ ආකාරයෙන් සිදු වූ අවසාන මරණය ලෙස සහතික වන්නට අපට කිසිසේත්ම බැහැ. ඊට හේතුව රට පුරා වාර්තා වන ඉන්ධන පෝලිම්වල තවමත් නිමාවක් දකින්න බැරි නිසයි. සැබැවින්ම මේ සෑම මරණයක් සඳහාම හේතු වී ඇත්තේ හදිසි හෘදයාබාධයක් බවයි පැවසෙන්නේ.
ඒ අනුව අපි ඉන්ධන පෝලිම් වලදී මේ විදිහට හදිසි හෘදයාබාධ වැළඳීමට සුවිශේෂ හේතුන් බලපෑ හැකිද? යන්න පිළිබඳව ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වරුන් දෙදෙනකු ගෙන් විමසා සිටියා. පළමුව ඒ හා සම්බන්ධ කායික විද්‍යාත්මක පදනම පිළිබඳ පැහැදිලි කිරීමට අප ඇරැයුම් කළේ රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති හෘද වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ මහතාට.
■ අපේ රටේ ඉන්ධන හිඟයක් ඇති වීමත් එක්ක ඉන්ධන පිරවුම් හල් ඉදිරියේ පෝලිම් ගැසී සිටි ජනතාව අතුරින් පස් දෙනකුම මේ වන විට හදිසි මරණවලට ලක් වී තිබෙනවා. බැලූ බැල්මටම මේක සුවිශේෂ තත්වයක් නේද?
සාමාන්‍යයෙන් අපේ රටේ සිය දෙනෙක් විතර හදිසි හෘදයාබාධවලට ලක් වෙනවා. ඒ අය අතුරින් විස්සක් විතර ඒ ස්ථානයේ දීම හෝ රෝහල් ගත කරන අතරේ මිය යනවා. තවත් පස් දෙනෙක් රෝහලක දී මූලික ප්‍රතිකාර කරන අතරේ මිය යනවා. ඉතිරි හැත්තෑ පස් දෙනාට තමයි ඒ හෘදයාබාධ සඳහා වැඩිදුර ප්‍රතිකාර කිරීමට සිදු වන්නේ.
■ එතකොට මොකක්ද මේ ඉන්ධන පිරවුම්හල් අසල පුද්ගලයන් වැඩිපුර මරණයට පත්වීමේ රහස.
හදිසි හෘදයාබාධයක් එදිනෙදා ජීවිතයේ ඕනෑම මොහොතක සිදු වෙන්න පුළුවන්. නමුත් වෙහෙසකර කටයුත්තක දී එවැන්නක් සිදුවීමට ඇති හැකියාව වැඩියි. මෙතන දී වෙහෙස කියන්නේ කායික වෙහෙසට විතරක් නෙවෙයි.අධික මානසික පීඩනය හා විඩාබර බවත් එක හේතුවක්.
■ මානසික විඩාබර බව කියන එක අද සමාජයේ සෑම කොටසකටම විවිධාකාරයෙන් බලපානවා. නමුත් මේ හදිසි මරණ වැඩිපුරම සිදු වී ඇත්තේ ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව.
ඒ වගේ තත්වයක් ඇතිවීමට නිශ්චිත හේතුවක් ඉලක්ක කොට කියන්න බැහැ.මොකද ඒවා සඳහා බහු විධ සාධක බලපානවා. එහෙම නම් ඒ එක එක මරණය සම්බන්ධ නිවැරදි තොරතුරු විශ්ලේෂණය කර ඒවාට සම්බන්ධ පොදු තත්වයන් හඳුනාගෙන විද්‍යාත්මක පදනමක් යටතේ විමර්ශනය කළ යුතුයි. එහෙත්, ඒවා ද හුදෙක් බොහෝ විට අනුමානයන් මිසක් නිශ්චයන් නොවෙයි.
■ ඒ කියන්නේ ඉදිරියේදී සිදුවන මේ වගේ මරණ අවම කර ගත නොහැකිද?
බැලූ බැල්මට ගත්තොත් මේ මරණවලට පත්වුණු අය ඒ වෙනුවෙන් තමන්ගේ එදිනෙදා ජීවිතයේ සෙසු කටයුතු පසෙක දමා ඒ වෙනුවෙන් සෑහෙන කාලයක්, ශ්‍රමයක් වැය කරපු අය. එතනදී ඒ අයගෙන් යම් කොටසක් අධික රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව, ශ්වසන ආබාධ ආදී රෝග සඳහා නිතිපතා බෙහෙත් පාවිච්චි කරන පිරිස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ බෙහෙත් පාවිච්චි කරන අයගේ එදිනෙදා ජීවන රටාව වෙනස් වුණු සැනින් මේ බොහෝ දෙනෙකුට ඒ බෙහෙත් පාවිච්චිය අමතක වෙනවා.
අපි ළඟට එන බොහෝ රෝගීන් කියන දෙයක් තමයි මේ කරදර අස්සේ බෙහෙත් ටිකත් හරියට ගන්න බැරි වුණා කියන එක. ඒ වගේ තත්වයන්ට පත් වෙන පුද්ගලයන් මේ වගේ අවස්ථාවල මරණයට පත්වීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඒ වගේම මේ වගේ සිදුවීම් වලට මුහුණ දීමේ දී තමන්ගේ එදිනෙදා කටයුතු වලට සමහර විට ජීවනෝපායට බාධා පැමිණීම මුල් කරගෙන නිරන්තරයෙන් බලපවත්වන දැඩි මානසික පීඩාකාරී බවත් මේ සඳහා අනියම් වශයෙන් බලපාන්න පුළුවන්.
■ නමුත්, ඔය කියන සාධක හුදෙක් ඉන්ධන පිරවුම් හල්වලට විතරක් ඉලක්ක ගත ඒවා නොවෙයි නේද?
මම කලින් කී අන්දමට එක දවසක් තුළ පුද්ගලයන් විසි පහක් පමණ හදිසි මරණ වලට ලක් වෙනවා. නමුත් ඔය ඉන්ධන පෝලිම් වලදී පුද්ගලයන්ට හදිසි මරණවලට ලක් වූ දින වකවානු සම්භාවිත රීතිය යටතේ විශ්ලේෂණය කළොත් සංඛ්‍යාත්මකව විශේෂ අගයක් හුවා දැක්වෙන්නේ නෑ.
එහෙම තත්වයක් පැන නඟිනවා නම් ඒ සම්බන්ධයෙන් අදාල අංශ මගින් විද්වත් අවධානයක් යොමු වෙනවා. නමුත් සමාජීය වශයෙන් වුවත් එළැඹෙන කවර හෝ බාධාකාරී තත්වයක් යටතේ තමන්ගේ කායික මානසික සෞඛ්‍යය ගැන විශේෂ අවධානයක් යොමු කිරීමත් තමන් ගේ පවුල්වල සිටින වියපත් සහ රෝගී සාමාජිකයන් කායිකව වගේම මානසිකව වෙහෙස කර කටයුතුවල නොයෙදවීමත් මගින් මේ වගේ තත්වයන් අවම කර ගත හැකි බවයි; ඒ සම්බන්ධයෙන් කීමට ඇත්තේ.
■ නමුත් ලෝකයේ දියුණු රටවල අපේ රටවලට සාපේක්‍ෂව මෙවැනි තත්වයන් අඩුයි නේද?
ලෝකයේ සෑම දියුණු රටකම පුද්ගල වගේම සමාජයීය කායික මානසික යහපැවැත්ම පිළිබඳව අපට වැඩි අවධානයක් යොමු කරනවා. ඒ නිසා එහි ජනතාව අපට සාපේක්‍ෂව වැඩිපුර වෛද්‍ය පරීක්ෂණ ආදියට මුහුණ දීමෙන් එවැනි රෝග තත්වයන් වැළඳීමේ සම්භාවිතාව අවම කර ගන්නවා. නමුත් ක්ෂණික හෘදයාබාධ වැළඳීමෙන් ක්ෂණික මරණ සිදු නොවන රටක් මේ ලෝකයේම නැහැ.
ඉන් අනතුවරුව අපි ඉහත සඳහන් ඛේදවාචක සම්බන්ධ මනෝ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳව ද විමසුමක් කළා. ඒ ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා ගෙන්.
■ පසුගිය දිනවල ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිත පෝලිම් වලදී එක දිගටම පුද්ගලයන් පස් දෙනකු හදිසි මරණවලට ලක්වීම විශේෂ සංසිද්ධියක්. නිරෝගී පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්ධන පිරවුම් හල් අද්දර දී මෙලෙස හදිසි මරණ වලට ලක්වීමට මනෝ වෛද්‍ය විද්‍යාත්මක හේතූන් බල පෑ හැකිද?
ඒ පුද්ගලයන් නිරෝගී වශයෙන් නම් කරනවාට වඩා හෘදයාබාධ වැළඳීම පිළිබඳ අවදානම් සාධක සහිත පුද්ගලයන් ලෙස හැඳින්විය යුතු බවයි මගේ වැටහීම.ඊට අමතරව ඔය තමන් පැද වූ ඩීසල් වාහනවල කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය වීම ඔය සමහර මරණවලට බලපාන්නට ඇතැයි කියන පෞද්ගලික අනුමානය මා තුළ තියනවා.
මොකද අද අපේ රටේ භාවිතා වන බස්, ලොරි, වෑන් වගේ ඩීසල් වාහන බොහොමයක් වෙන රටවල කලින් භාවිතා කරපු ඒවා. ඒ වගේම ඒවායේ එන්ජිම තියෙන්නේ රියැදුරු අසුනට සමීපව. එහෙම නැත්නම් රියැදුරු අසුන යට. ඒ නිසා ඔය වාහනවල ඇන්ජින් පණ ගැන්වීමේ දී කාබන් මොනොක්සයිඩ් වායුව කාන්දු වීමට තියන ඉඩකඩ වැඩියි. ඒ වගේම ඒවා වාහනය තුළට පිවිසීම වළකන මුද්‍රාවන් පළුදු වීම මත ඒවායේ බලපෑම රියැදුරු අසුනට දැනෙන්නට පුළුවන්.
අනික වරින් වර වාහනයේ එන්ජිම නතර කරකවමින් යළි යළි පණ ගැන්වීමේදී ඒ වායු කාන්දුව වැඩිපුර රියැදුරු අසුනට බලපාන්නට පුළුවන්. ඒ වායුව ආඝ්‍රාණය වීමෙන් හෘද ක්‍රියාකාරීත්වය එක්වරම ඇනහිටීමට ඇති හැකියාව මෙහි දීත් ක්‍රියාත්මක වුණා ද කියන සැකය මා තුළ තිබෙනවා.
■ නමුත්, ඔය තත්වය අපේ රට පුරා ඇති බොහෝ වාහන වලට පොදුයි නේද? ඒ වගේම මේ මරණ සිදු වී ඇත්තේ ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිත. අනික ඒ ඇතැම් මරණ සිදු වී ඇත්තේ වාහන තුළදීමත් නොවෙයි
මෙතනදී අපි විශේෂයෙන් සැළකිය යුත්තේ ඒ මරණවලට තුඩු දුන් නිශ්චිත හේතුව පිළිබඳව විමර්ශනය කරනවාට වඩා එවැනි අවදානමක් එළැඹිය හැකි තත්වයන් කල් ඇතිව පිටු දැකීමයි. මොකද?මේ මරණ හදිසි හෘදයාබාධ වුණත් ඊට බලපෑ තත්වයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්.
■ ඒ අතර මානසික හේතුන් තිබිය නොහැකිද?
මානසික හේතුන් මත යමකු මිය යන බවක් පැවසීමට වඩා දැඩි මානසික ආවේග මානසික පීඩනය සහ බිඳ වැටීම් කායික සෞඛ්‍යය කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බව තමයි නිගමනය කළ හැක්කේ.
■පැය ගණන් වරු ගණන් සමහර විට දින ගණන් එක දිගට පෝලිම් වල ලැග සිටින පුද්ගලයකු තුළ ඔය කියන සියළුම තත්වයන් ඇති විය හැකියි නේද?
ඔව්. ඒත් පෞරුෂමය සාධක මත එවැනි දේ දරා ගැනීමේ හැකියාව පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තමන් නිරන්තර හා නමුත් දිගුකාලීන මානසික ආවේග පීඩන බිඳ වැටීම් මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපාන්න පුළුවනි.
■ රටේ පවතින අතිශය අර්බුදකාරී සමාජ, ආර්ථික, දේශපාලන තත්වය නිසා ජනතාව පෝලිම් වලදී අත් විඳින පොදු මානසික පීඩාව පුද්ගල වශයෙන් පිටු දකින්න බැරිද?
අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩාවට පත් වන්නේ තමන්ට දරා ගත නොහැකි ආර්ථික පීඩනය පදනම් කර ගෙනයි. දවසින් වැඩි කොටස පෝලිම් වල ගත කිරීම නිසා එදිනෙදා ජීවනෝපාය අහිමි කර ගත් විශාල පිරිසක් සිටින බව මම පිළිගන්නවා. නමුත් උපක්‍රමික ලෙස මනැස ඒ පීඩාකාරී සිතුවිලි වලින් වරින් වර හෝ ඉවත් කර ගැනීමෙන් ඒ තත්වය යම් තරමකට පාලනය කර ගන්න පුළුවන්.
■ උදාහරණ මගින් ඒ තත්වය පැහැදිලි කළොත් ?
අපේ පැරණි ජන සමාජයේ පැල්කවි, කරත්ත කවි, පාරු කවි වගේ ජන ගායනා තිබෙනවා. අතීත ගැමි සමාජය මේවා ගායනා කළේ විනෝදාශ්වාදය ලැබීමට වඩා තමන් ගේ මානසික ආතතිය දුරු කර ගන්නයි. ඒ සමහර කවි වලින් තමන් විඳින දුක් වේදනා කිසියම් සෞන්දර්යාත්මක සංයුතියකින් පිට කර ගැනීමක් දකින්න පුළුවන්. නමුත් පැරණි ජන සමාජය භාවිතා කළ ඒ පැරණි උපක්‍රම අදට ගැලපෙන බවක් මං කියන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට වෙනත් උපාය මාර්ග යොදා ගත හැකියි.
■ පහුගිය කාලේ බොහෝ දිගු පෝලිම් අද්දරට පැමිණි විවිධ කණ්ඩායම් වැඩ කරන අපේ විරුවා නම් වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට ඉවහල් වූ දේශපාලන ප්‍රචාරක ගීය ප්‍රතිරාවය වුණු බව රට පුරා ප්‍රසිද්ධ වුණා.
ගීතය මොකක් වුණත් ඒ ඔස්සේ යමකු ගේ මනැසේ තියන මානසික ආවේග, පීඩනය බිඳ වැටීම් පාලනය වෙනවා නම් සමාජයීය දේශපාලන කාරණා පැත්ක තිබිය දී ඒක එපා කියන්න මනෝ වෛද්‍ය වරයෙක් හැටියට මට බැහැ. මොකද හාස්‍යය, උපහාසය වගේ දෙවල් වුණත් නිසි පරිදි භාවිතයට ගැනීමේ චිකිත්සක අගයක් තිබෙනවා.
සටහන – හේමන්ත රන්බණ්ඩාර