ඉනෝකා දුටු බිම වැටුණත් නොපෑගුණු මල්

ඉනෝකා සමරවික්‍රම කියන්නේ පුරා දසක දෙකකටත් වැඩි කාලයක් පුවත් පත් කලාවේ විවිධ පැතිකඩ නියෝජනය කරමින් සාර්ථක ලෙස සිය වෘත්තීය ජීවිතය හසුරුවා ගත් ප්‍රවීණ මාධ්‍යවේදිනියක්.මේ වන විට ඉනෝකා “සිළුමිණ” පුවත් පතේ “රසඳුන” අතිරේකයේ සංස්කාරක වරිය ලෙස කටයුතු කරනවා.නව යොවුන් වියේ සිටම කවි කමට හුරු සංවේදී මනැසකින් යුතු ඉනෝකා කාව්‍යකරණයේ සංකේත භාවිතය පිළිබඳව අපූරු කුශලතාවයක් පළ කරන කිවිඳියක්.

අද අපි ඔබට හඳුන්වා දෙන ඇගේ මේ “පිපෙන පරවෙන මල්”නම් කාව්‍ය නිර්මාණය ඊට එක් නිදසුනක් පමණයි.ගසකින් මලක් හැලීම සාමාන්‍ය දෙයක්.ඒත් එසේ බිම පතිත වූ මල කිසිවකුගේ පයට පෑගීම ස්වාභාවික දෙයක් නොවෙයි. ඉනෝකා මේ කවි පෙළ මඟින් කියන්නේ බිම වැටී තිබිය දී කිසිවකුගේ පයට නොපෑගුණු මල් ඉඳහිට හෝ තිබිය හැකි බවයි. එමෙන්ම ජනාකීර්ණ පරිසරයක වුව ඉඳ හිට හෝ එබඳු ගසින් ගිලිහී බිමට ගිළිහුණත් පයකට නොපෑගුණු මල් ඇති බව පවසන කිවිඳිය පැමිණිය හොත් එහි ඇත්ත නැත්ත පෙන්විය හැකි බවත් යමකුට පවසනවා.ඉතින් ඉනෝකා සමරවික්‍රම කිවිඳිය පද්‍ය රචනයේ දී සංකේත භාවිතය ගැන දක්වන ප්‍රතිභාව ගැන තවත් කවර නම් කතාද?

පිපෙන පරවෙන මල්

උස් තුරු මතින් බිම පතිත මල්
පරවුණත් පරවී නැත
නොපෑගුණ හෙයින් බිම
සුළඟවිත් කොඳුර කොඳුරා
මොන මොනවා ද කියයි…
වැතිර බිම එමල් පෙති
ලැජ්ජාවේ සැඟවෙන්නට බලයි…

ආවොතින් නුඹ දිනෙක
පෙන්වන්න හැක මෙමට
වැටෙන හැටි තුරු මතින්
කහපාට මල් තවම…

ඉස්සරටත් වඩා
වෙනස් වුණ මෙපුරවර
සීමිතයි මල් පිපෙන තුගු තුරු
නෙළුම් පොකුණ පසුකර
කලාගාරය වෙත දිවෙන
මඟ දෙපස…,
බිම වැටී
තැලී පොඩි වෙන මල් අතර
තාම හමුවෙයි ඉදහිට
පරවුණත්…,
තැලි පොඩි නොවුණ මල්…

ඉනෝකා සමරවික්‍රම

wall එක