ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, දේශපාලන නායකයකු ලෙසත් සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඊයේ (05) වසර තුනක සිර දඬුවමක් නියම කෙරිණි. ඒ දූෂණ චෝදනාවක් යටතේ යි. ඔහු අගමැති ධුරයේ සිටිය දී විදේශීය රාජ්‍ය නායකයන් වැනි අයගෙන් ලැබුණු තෑගි නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් සහ එයින් ලැබූ ආදායම් පිලිබඳ වැරදි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත්ව තිබිණි. සිර දඬුවමට අමතරව පාකිස්තාන රුපියල් 100,000 ක ( ලංකා රුපියල් 113,000 ක පමණ) දඩයක් ද නියම කර තිබේ. එම දඩය නොගෙවුවහොත් සිර දඬුවමට තවත් මාස 6 ක් එකතු වන ඇත.
පාකිස්තාන අධිකරණයක් ඉහත කී තීන්දුව ප්‍රකාශයට පත් කර සුළු වේලාවක් ඇතුළත ඉම්රාන් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු රාවල්පින්ඩි නුවර පිහිටි අදියාලා බන්ධනාගාරය වෙත ගෙන යනු ඇති බව ද වාර්තා විය.
හිටපු අගමැතිවරයා විකුණා ඇති තෑගිවල වටිනාකම පාකිස්තාන රුපියල් මිලියන 140 ක් බව සඳහන් වේ. එය ලංකා රුපියල් මිලියන 158 කට ආසන්නය. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගෙන් ලැබුණු ඇන්ටික් අත් ඔරලෝසුවක් ද මෙම තෑගි අතර ඇති බව සඳහන් ය. මෙම තීන්දුවත් සමග ඉම්රාන්ට වසර 5 ක කාලයක් දේශපාලන කටයුතුවල නිරත වීම ද තහනම් වේ.
ඉහත කී චෝදනාව මේ වනවිට ඉම්රාන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති එකම චෝදනාව නොවේ. චෝදනා සියයකට ආසන්න සංඛ්‍යාවක් ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇත. ඉම්රාන් පවසන්නේ මෙම චෝදනා දේශපාලන අරමුණු මත ඉදිරිපත් කරන ලද ඒවා බවයි. තමා දේශපාලන පොර පිටියෙන් ඉවත් කිරීම මේවායේ අරමුණ බවට ඔහු චෝදනා කරයි. ඉම්රාන්ට මේ ආකාරයෙන් සිර දඬුවම් නියම කරන්නේ සහ වසර පහකට දේශපාලනය තහනම් කරන්නේ මේ වසර අවසානයේ එරට මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක් තුළ යි. ඔහුගේ පක්ෂය වන පාකිස්තාන තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්ෂයෙන් වත්මන් පාලකයන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වනු ඇතැයි විශ්වාස කෙරේ.
සෙනසුරාදා ඉම්රාන්ට එරෙහිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු හුමායුන් දිලාවර් ප්‍රකාශ කර තිබුණේ ‘ඔහුගේ වංකභාවය සැකයකින් තොරව තහවුරු කර ඇති’ බවය. කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට ඉම්රාන් පාර්ශ්වය සූදානම් වේ.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉම්රාන් විඩියෝ ප්‍රකාශයක් කර තිබූ අතර එය පසුව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක පළ කර තිබිණි. එහි දී ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තීන්දුවට එරෙහිව විරෝධය පළ කරන ලෙස යි. ‘මට කරන්න තියෙන්නේ එක ඉල්ලීමක් පමණයි. ගෙදරට වෙලා නිශ්ශබ්දව සිටින්න එපා’ යයි ඔහු ප්‍රකාශ කරයි. ‘මම සටන් කරන්නේ ඔබලා වෙනුවෙන්, රට වෙනුවෙන් සහ ඔබලාගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනුයි’ යනුවෙන් ද ඉම්රාන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි.
ඉම්රාන් ඛාන් 2018 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා පාකිස්තානයේ අගමැති ධුරය දැරුවේය. ඔහු බලයෙන් ඉවත් කෙරුණේ පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් මගිනි. එම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නට මූලික වූයේ කලක් නවාස් ෂරීෆ් නායකත්වය දැරු පාකිස්තාන මුස්ලිම් ලීගය යි. තමාට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බවට ඉම්රාන් චෝදනා කළ අතර ඇමරිකාව ද එහි පාර්ශ්වකරුවකු බව පැවසුවේය. තමා චීනය සහ රුසියාව වැනි රටවල් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ඇමරිකාව මේ ආකාරයෙන් කටයුතු කරන බවට ඔහු චෝදනා කළේය.
ඉම්රාන්ගේ ආණ්ඩුව බලයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු පාකිස්තානයේ බලයට පත් වූයේ කලින් සඳහන් කළ පාකිස්තාන මුස්ලිම් ලීගයේ නායකත්වයෙන් යුතු සන්ධානයකි. නමුත් ඉම්රාන් මෙම නව ආණ්ඩුවට එරෙහිව මෙන්ම එරට දේශපාලනය මත දැඩි ආධිපත්‍යයක් දරණ හමුදාවට ද එරෙහිව ප්‍රබල ජනමතයක් ඇති කිරීමට පියවර ගත්තේය. රට පුරා යමින් ඔහු දේශපාලන රැස්වීම් සහ විරෝධතා පෙලපාලි පවත්වන්නට විය. මෙම පසුබිම තුළ ඔහු නව පාලකයන්ට ද, හමුදාවට ද විශාල හිසරදයක් බවට පත් වූයේය.
කෙසේ හෝ වේවා, ලබන 9 වැනිදා පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවක් ද වාර්තා වේ. කොහොමටත්, වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අගෝස්තු 12 වැනිදා අවසන් වීමට නියමිතව තිබේ. ඊළඟ මැතිවරණය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ය. ඒ වනතෙක් රට පාලනය කිරීම සඳහා භාරකාර ආණ්ඩුවක් පත් කෙරෙනු ඇත. පාකිස්තානයේ මීළඟ මැතිවරණයේ දී ඉතා උණුසුම් තරගයක් දැක ගැනීමට හැකි වනු ඇති බවට මේ වනවිටත් අනාවැකි පළ වී තිබේ.
නිහාල් පීරිස්