ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනීවි ද?

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත් වේවි ද? මෙවැනි සැකයක් නිසා මේ වනවිට පාකිස්තානය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා වේ. ඔහු එරට ත්‍රස්තවාදය වැලැක්වීමේ නීති උල්ලංඝනය කර ඇති බවට පොලිසිය චෝදනා ගොනු කර ඇතැයි සඳුදා දහවල් මාධ්‍ය වාර්තා කර තිබිණි.

2018 වසරේ පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූ ඉම්රාන් පසුගිය අප්‍රේල් මාසයේ එම ධුරයෙන් පහ කෙරුණේ පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් හරහාය. ඔහු එය හැඳින්වූයේ ඇමරිකාව සහ දේශීය පාර්ශ්ව එක්ව තමාට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණයක් හැටියට ය. විශ්වාසභංගයෙන් ඉම්රාන් පරාජයට පත් වුවත් දේශපාලන නිරීක්‍ෂකයන් පවසන්නේ ජනතාව අතර ඔහු තවමත් ජනප්‍රිය බවකි. මෙම තත්ත්වය තුළ ඔහු වත්මන් ආණ්ඩුවට විශාල තර්ජනයක් සහ හිසරදයක් වී ඇති ආකාරයක් පෙනේ. ඔහුට එරෙහිව පොලිසිය චෝදනා ගොනු කර ඇත්තේ මෙවැනි පසුබිමක් තිබියදී ය.

ඉම්රාන්ට එරෙහිව එල්ල කර ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ ඔහු පොලිසියට සහ අධිකරණයට තර්ජනය කළාය යන්න යි. පසුගිය දා ඔහු කළ කතාවක් මෙයට පදනම් වේ. එම කතාවේ දී ඉම්රාන් පැවසුවේ මේ වනවිට අත්අඩංගුවේ පසුවන ඔහුගේ පක්‍ෂයේ ප්‍රබලයකු ද, සමීප දේශපාලන සගයකු ද වන ෂාබාස් ජිල්ට දරුණු වධහිංසා සිදු කර ඇති බවයි. මානසික වධහිංසාවලට මෙන්ම කායික වධහිංසාවලට ද ඔහු ලක් කර ඇති බවටත්, ලිංගික හිංසනයන් පවා සිදු කර ඇති බවටත් ඉම්රාන් චෝදනා කළේය. ජිල් අත්අඩංගුවට ගැනීමත්, ඔහුට වධහිංසා කිරීමත් සම්බන්ධයෙන් ඉම්රාන් චෝදනා එල්ල කළේ පොලිසියට සහ අධිකරණයට යි. ඊට වගකිව යුතු පොලිස් නිලධාරීන්ටත්, විනිසුරුවරියකටත් එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඔහු තර්ජනය කර ඇති බවක් ද සඳහන් විය.

මේ ආකාරයෙන් රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම මගින් ඉම්රාන් එරට ත්‍රස්තවාදය වැලැක්වීමේ නීති උල්ලංඝනය කර ඇත්ද යන්න සොයා බැලීම සඳහා පොලිසිය විමර්ශණයක් දියත් කළේය. ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ එයින් පසුව බව පෙනේ.

කෙසේ හෝ වේවා, ඉහත චෝදනා මත යම් හෙයකින් ඉම්රාන් අත්අඩංගුවට ගතහොත් ඊට එරෙහිව විශාල විරෝධතාවක් පැන නගිනු ඇති බවට ලකුණු පහළ වී තිබේ. ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනින් එරට අගනුවර වන ඉස්ලාමාබාද් හි පිහිටි ඉම්රාන් ගේ නිවස අසළට රැස්ව ඔහුට සහය පළ කරමින් සිටින බව සඳහන් වේ. ඉම්රාන් ගේ පක්‍ෂය වන තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්‍ෂයේ ධජ අතැතිව ඔවුන් සටන් පාඨ කියමින්, ගී ගයමින් එහි කඳවුරු බැඳගෙන සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම ආධාරකරුවන් පවසන්නේ යම් හෙයකින් තම නායකයා අත්අඩංගුවට ගතහොත් අගනුවර පාලනය සියතට ගන්නා බවයි. ‘ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගතහොත් ඉස්ලමාබාද් නගරය අපේ යටතට ගන්නවා’ යයි හිටපු කැබිනට් ඇමැතිවරයකු ට්විටර් පණිවුඩයක සටහන් කර තිබිණි.

කෙසේ හෝ වේවා, ලබන බ්‍රහස්පතින්දා වනතෙක් ඉම්රාන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවනු ඇති බව පෙනේ. ඒ ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂිත ඇප අයදුම්පතකට අධිකරණය අනුමැතිය ලබා දීම නිසා ය.

ඉම්රාන්ට පසුගිය අප්‍රේල් මාසයේ අගමැති ධුරය අහිමි වුවද ඔහු නිහඬව සිටියේ නැත. රට පුරා දේශපාලන රැළි සහ පෙළපාලි ආදිය පවත්වමින් ඔහු පවතින ආණ්ඩුවට දැඩි ලෙස අභියෝග කරමින් සිටියි. ජනතාව අතර ද ඔහු පිළිබඳ යම් විශ්වාසයක් පවතින බව පෙනී යයි. පසුගිය දා පවත්වන ලද පළාත් මැතිවරණයකින් ආණ්ඩු පක්‍ෂය පරදවා ඉම්රාන්ගේ පක්‍ෂය ජය ගැනීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සිදුවීමක් විය. මෙම තත්ත්වය තුළ ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ යම් හෙයකින් මහා මැතිවරණයක් පැවැත්වුවහොත් එයින් ද ඔහුගේ පක්‍ෂය ජය ගැනීමට ඉඩ ඇති බවයි. ඉම්රාන් ද රට පුරා යමින්, රැස්වීම් පවත්වමින්, උද්ඝෝෂණ කරමින් ඉල්ලා සිටින්නේ වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පවත්වන ලෙසයි.

කෙසේ හෝ වේවා, මේ වනවිට මතුව ඇති තත්ත්වය අනුව පෙනී යන්නේ එරට දේශපාලනය තුළ ගොඩ නැගෙමින් පවතින ආතතිය වඩ වඩාත් උණුසුම් වෙමින් ඇති බවයි.

නිහාල් පීරිස්

 

එතෙර - මෙතෙර