ඉරානයේ ජනාධිපති ධුරයට ශල්‍ය වෛද්‍ය මසූඩ් පෙසෙෂ්කියන් පත්වීම ගැන කාන්තාවන්, තරුණ තරුණියන්, මානව අයිතීන් සුරකින්නවුන් සතුටින්

ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ලංකාවේ අපට ද නුහුරු චරිතයක් නොවේ. මන්ද යත් ඔහු මෙයට මාස කිහිපයකට පෙර ලංකාවේ ද නිල සංචාරයක නිරත වූ බැවිනි.
රයිසිගේ අභාවයෙන් පසු ඉරානයේ ජනාධිපති ධුරයට කව්රුන් පත් වේවි ද යන්න සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව බලා සිටියේ දැඩි අවධානයෙනි. පසුගිය කාලයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇතිව තිබූ ගැටුම් නිසා එම කලාපයේ හටගෙන තිබූ ආතතිය ද ඊට එක් හේතුවක් විය.

මේ වනවිට ඉරානයට නව ජනාධිපතිවරයකු ලැබී තිබේ. ඔහුගේ නම මසූඩ් පෙසෙෂ්කියන් ය.
නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා වූ ජනාධිපතිවරණය වට දෙකක් යටතේ පසුගිය දිනවල පවත්වනු ලැබිණි. පළමු වටය පැවැත්වුණේ ජුනි 28 වැනි දින යි. දෙවැනි වටය පසුගිය 5 වැනි දින පැවැත්විණි. එරට ජනාධිපතිවරණවල දෙවැනි වටයක් පැවැත්වෙන්නේ පළමු වටයේ දී කිසිදු අපේක්‍ෂකයකුට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 කට වඩා ලබා ගැනීමට නොහැකි වුවහොත් ය.

මසූඩ් පෙසෙෂ්කියන්

මෙවර ජනාධිපතිවරණයේ පළමු වටයට අපේක්‍ෂකයෝ සිව් දෙනෙක් ඉදිරිපත් වූහ. නමුත් ඔවුන් කිසිවකුට සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා දෙවැනි වටයක් ද පැවැත්වීමට සිදු වූ අතර පෙසෙෂ්කියන් එයින් ජයගන්නට සමත් විය. ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙන්නේ පළමු වටයේ දී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්‍ෂකයන් දෙදෙනා අතර යි. මෙහි දී පෙසෙෂ්කියන්ගේ ප්‍රතිවාදියා වූයේ සයීඩ් ජලීලි ය.

සයීඩ් ජලීලි ප්‍රතිපත්තිමය වශයෙන් හිටපු ජනාධිපති රයිසිට බොහෝ දුරට සමාන නායකයෙකි. ඔවුන් දෙදෙනාම සැලකෙන්නේ දැඩි ආගමික මතධාරීන් හැටියට ය. නමුත් පෙසෙෂ්කියන් වඩාත් මධ්‍යස්ථ අදහස් ඇති ප්‍රතිසංස්කරණවාදියකු ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටියි. ඔහු පසුගිය කාලයේ රජයේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනයට පවා ලක් කළ අයෙකි.

පෙසෙෂ්කියන්ගේ ජය සමරන පිරිස්

එරට සංස්කෘතිය මත දැඩි ආධිපත්‍යයක් පවත්වන සදාචාර පොලිසිය නමැති ආයතනයේ ක්‍රියාකලාපය නිතර පෙසෙෂ්කියන්ගේ විවේචනයට ලක්ව තිබේ. මෙම ආයතනය පසුගිය කාලයේ රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද දැඩි විරෝධයට ලක් වූවකි. එයට ප්‍රධාන වශයෙන්ම බල පෑ සිදුවීමක් 2022 වසරේ සිදු විය. එනම් මෙම පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි 22 හැවිරිදි මහ්සා අමිනි නැමැති තරුණියක පොලිසිය භාරයේ සිටිය දී මිය යාම යි. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ එරට කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් උල්ලංඝනය කිරීම පිලිබඳ චෝදනා යටතේ ය. අමිනිගේ මරණය සිදු වූ අවස්ථාවේ රට පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ඇති විය.

ඉරානය තුළ විවිධ අවස්ථාවල පැන නැගි මෙවැනි විරෝධතා මර්දනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ද ඇතැම් අවස්ථාවල පෙසෙෂ්කියන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඔහු වැනි මධ්‍යස්ථ මතධාරියකු ජනාධිපති ධුරයට පත්වීම බොහෝ පාර්ශ්ව තුළ යම් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත්ව ඇත. විශේෂයෙන් කාන්තාවන්, තරුණ තරුණියන්, මානව අයිතීන් සුරකින්නන් වැනි පාර්ශ්ව එයින් සතුටට පත්ව සිටිනු දැකිය හැකිය. පෙසෙෂ්කියන් ජය ගැනීමත් සමග ඔහුගේ තරුණ ආධාරකරුවන් වීදි බැස සතුට සමරන ආකාරය ද දැකිය හැකි විය. ඔවුන් ගී ගයමින්, කොඩි වනමින්, මෝටර් රථවල නලා හඬවමින් සතුට සමරන ආකාරය මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබිණි.

සයීඩ් ජලීලි

මේ වනවිට ඉරානය සහ බටහිර රටවල් අතර ඇත්තේ විශාල ආතතියකි. ඇමරිකාව වැනි රටවල් ඉරානයට එරෙහිව විවිධ සම්බාධක ද පනවා ඇති අතර එය ඉරාන ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විශාල වශයෙන් හේතු වී තිබෙන්නකි. දැඩි බටහිර විරෝධියකු වන ජලීලි බලයට ආවා නම් ඉහත කී සම්බාධක තවත් දැඩි වන තත්ත්වයක් ඇති වන්නට ඉඩ තිබුණාය යන බියක් ද ජනතාව අතර වූ බව සඳහන් වේ. ඔවුන් පෙසෙෂ්කියන්ට ඡන්දය දීමට මෙය ද හේතුවක් වන්නට ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස යි.

හිටපු ජනාධිපති ඉබ්‍රහිම් රයිසි

පෙසෙෂ්කියන් ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී සියයට 55 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තේය. ජලීලිට හිමි වූයේ සියයට 45 ක පමණ ඡන්ද ප්‍රතිශතයකි.

නව ජනාධිපතිවරයා තවමත් ධුරයේ වැඩ බාර ගෙන නැත. ඔහු දිව්රුම් දීමට නියමිතව ඇත්තේ ලබන මාසයේ යි.

රයිසි ගමන්ගත් හෙලිකොප්ටරයේ සුන්බුන්

ඉරානයේ බොහෝ කාරණාවල දී අවසන් තීරකයා වන්නේ එරට ජනාධිපතිවරයා නොව උත්තරීතර නායකයා යි. මෙම තත්ත්වය තුළ ඉදිරියේදීත් රට තුළ ලොකු වෙනසක් සිදු නොවනු ඇති බවට අදහස් දක්වන්නෝ ද සිටිති. ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි සැලකෙන්නේ දැඩි මතධාරී නායකයකු ලෙසිනි.

මේ වනවිට 70 වැනි වියෙහි පසුවන පෙසෙෂ්කියන් වෘත්තියෙන් හෘද ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහු කලකට පෙර එරට සෞඛ්‍ය සහ වෛද්‍ය අධ්‍යාපන ඇමැති ලෙස ද කටයුතු කළේය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර