ඉරාන ජනාධිපති ගේ හෙලිකොප්ටර අනතුර ගැන විමර්ශන වාර්තාවක්

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර අනතුරකින් මරණයට පත් වීම ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රය තුළ විශාල කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. පසුගිය 19 වැනි දින මෙම අනතුර සිදු වූයේ ජනාධිපතිවරයා ඉරානයට යාබදව පිහිටි අසර්බයිජානයේ ජල විදුලි ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ආපසු ඉරානය වෙත පැමිණෙමින් සිටිය දී ය. ජනාධිපතිවරයාට අමතරව ඉරාන විදේශ ඇමැති හොසේන් අමීර්-අබ්fදාල්ලාහියාන් සහ තවත් නිලධාරීහු කිහිප දෙනෙක් ද මෙම අනතුරෙන් මරණයට පත් වූහ.

මෙම මාරක අනතුර සිදු වූයේ ගාසා යුද්ධය පසුබිම් කරගෙන ඉරානය සහ ඊශ්‍රායලය අතර ද, ඉරානය සහ ඇමරිකාව අතර ද අලුත් ආතතියක් වර්ධනය වෙමින් තිබූ පසුබිමක යි. මේ නිසාම මෙය සැබෑ වශයෙන්ම අනතුරක් ද, නැතහොත් රයිසි ඝාතනය කිරීමේ සැලැස්මක් මේ පිටුපස තිබුණා ද වැනි සැකසංකා දිගින් දිගටම පළ වන්නට විය. මෙම සිද්ධිය පිටුපස ඊශ්‍රායලය හෝ ඇමරිකාව හෝ සිටිනවා ද යන සැකය බොහෝ පාර්ශ්ව තුළ ඇතිව තිබූ බව පෙනිණි.

ජනාධිපති රයිසි

ඉරානය ඇතුළතම පැවැති බල අරගල පිලිබඳව ද ඇතැමුන්ගේ අවධානය යොමු වී තිබිණි. මෙම පසුබිම තුළ රටේ දේශපාලනයට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව සමහරුන්ගේ සැකයට බඳුන් වී තිබෙනු දැකිය හැකි විය.

තත්ත්වය මෙසේ තිබිය දී, ජනාධිපති රයිසිට මරු කැඳ වූ හෙලිකොප්ටර අනතුර සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනයක වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ. මෙම විමර්ශනය කරන ලද්දේ ඉරාන හමුදාවේ කණ්ඩායමක් විසිනි. ඉහත කී වාර්තාව පවසන්නේ හෙලිකොප්ටර අනතුර පිටුපස අපරාධමය ක්‍රියාවක් ඇති බවට දැනට සාක්‍ෂි කිසිවක් නොමැති බව යි. හෙලිකොප්ටරයට වෙඩි වැදුණු බවට ලකුණු කිසිවක් ද එහි සුන්බුන්වල දැකගත නොහැකි බව විමර්ශකයන් පවසා තිබේ. වාර්තාව තවදුරටත් පවසන්නේ හෙලිකොප්ටර් යානය උස් ස්ථානයක ගැටී ගිනි ගැනීමකට ලක් වී ඇති බව ය. අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ දැඩි මීදුමක් සහ අයහපත් කාලගුණික තත්ත්වයක් පැවැති බව කලින්ම සඳහන් විය.

හෙලිකොප්ටර යානය කිසිදු අවස්ථාවක නියමිත ගමන් මාර්ගයෙන් පිට පැන නොමැකි බව ද ඉහත කී වාර්තාවේ සඳහන් වේ. යානය සහ පාලක මැදිරිය අතර සිදු වූ සන්නිවේදනයන්හි ද සැක කටයුතු කිසිවක් අඩංගු නොවන බව විමර්ශකයන් සඳහන් කර ඇත.

අනතුරට ටික වේලාවකට පෙර

ජනාධිපති රයිසි ගමන් කළ හෙලිකොප්ටරය සමග තවත් හෙලිකොප්ටර දෙකක් ගමන් කර තිබිණි. ඇමැතිවරුන් කිහිප දෙනෙකු මේවායේ ගමන් කළ බව පැවසිණි. මෙම හෙලිකොප්ටර කිසිදු උපද්‍රවයකින් තොරව ගමනාන්තය වෙත ළඟා වී තිබිණි. කෙසේ හෝ වේවා, අනතුර සිදුවීමට විනාඩි එකහමාරකට පමණ පෙර ජනාධිපතිවරයා ගමන් කළ හෙලිකොප්ටරයේ නියමුවන් සහ අනෙක් හෙලිකොප්ටරවල නියමුවන් අතර පණිවුඩ හුවමාරුවක් සිදුව ඇති බව වාර්තාව සඳහන් කරයි. නමුත් ඒ සංවාදය ගැන වැඩි විස්තරයක් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නැත.

කෙසේ හෝ වේවා, ඉරාන හමුදා විමර්ශකයන් නිකුත් කර ඇති වාර්තාවෙන් පෙනෙන්නේ රයිසිගේ මරණය පිටුපස ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට සාක්ෂි කිසිවක් දැනට නැති බවයි. නමුත් සමහර කාරණා ගැන තවදුරටත් විමර්ශන සිදු කිරීම සඳහා කාලය අවශ්‍ය බව ද විමර්ශන කණ්ඩායම පවසා තිබේ. ඒ නිසා අවසන් වාර්තාවේ කුමක් සඳහන් වේවි ද යන්න තවම නිශ්චිතව කිව හැකි නොවේ.

හෙලිකොප්ටරය සොයා කළ මෙහෙයුම

හෙලිකොප්ටර අනතුර සම්බන්ධයෙන් මතු වූ සැකසංකා මුළුමනින් තුරන් කිරීමට මෙම වාර්තාව සමත්ව නැති බව පවසන පාර්ශ්ව ද සිටින බැව් මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි. හෙලිකොප්ටරය අනතුරට ලක් වූයේ උස් ස්ථානයක ගැටීමෙන් බව වාර්තාවේ සඳහන් වුවත් එසේ ගැටීමට හේතුව කාර්මික දෝෂයක් ද, නැතහොත් වෙනත් ගැටලුවක් ද වැනි කාරණා මෙයින් හෙලි නොවන බව මෙම පාර්ශ්ව පෙන්වා දෙති.

ජනාධිපති රයිසි ගමන් කළ හෙලිකොප්ටරය බෙල් 212 වර්ගයට අයත් එකක් බව සඳහන් විය. මෙය තරමක් පැරණි හෙලිකොප්ටරයක් බවක් ද අනාවරණය වී තිබිණි. මෙම හෙලිකොප්ටර නිශ්පාදනය කරන්නේ ඇමරිකාවේ යි. කාලයක සිට ඉරානයට එරෙහිව ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් විවිධ සම්බාධක ක්‍රියාත්මක කර ඇති නිසා මෙවැනි යානාවලට අවශ්‍ය අමතර කොටස් ආදිය සපයා ගැනීම දුෂ්කර වී ඇති බව ද සඳහන් ය.

යානයේ සුන්බුන්වලින් කොටසක්

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර