දවසක් එක පැන්සලකුයි ඉරේසර් කෑල්ලකුයි දෙබසක්.
පැන්සල : මට සමාවෙන්න.
ඉරේසරය : මොකටද?
පැන්සල : මම වැරදි කරද්දි ඔයා මගේ වැරදි මකලා නිවැරදි කරද්දි ඔයාට
රිදෙනවා. ඔයාගෙන් ටිකක් ගෙවිලා නැතිවෙනවා.
ඉරේසරය : ඒකට කමක් නැහැ. මම ඉන්නේ ඔයාගේ වැරදි මකලා නිවැරදි
කරන්න තමයි. මගේ ශ්‍රමය වැය වෙලා ,උරච්චි වෙනකොට ටිකක්
වේදනාවක් දැනෙනවා තමයි. ඒත් ඔයාව නිවැරදි කරන්න පුළුවන්
වීම ගැන මට දැනෙන්නේ සතුටක්.
පැන්සල : ඒත් මම වැරදි කරන්න කරන්න ඔයා ටික ටික ඔයාව නැතිකර
කරගන්නවා. දවසක ඔයා නැති වෙලාම යයි .
ඉරේසරය : ඒක ඇත්ත. කවද හරි ඔයාව නිවැරදි කරන්න ගිහිල්ලා මම ටික
ටික කෘශ වෙලා නැති වෙලාම යයි. ඒත් ඔයා නිවැරදි උනානං මට
මාව අහිමි වුණත් කමක් නෑ .මට ඒක සතුටක්. ඔයා
නිවැරදිව ලියන්න ඉගෙන ගත්තොත් මගේ යුතුකම් ඉෂ්ට කෙරුවා
කියලා මට සතුටු වෙන්න පුළුවන්. මට ඒ ඇති.
මම මේ උපහැරණය ගත්තේ අපේ අම්මලා තාත්තලා ගැන ටිකක් අවධානය යොමු කරවන්න. ටිකක් හිතලා බලන්න. අපේ අම්මලා තාත්තලා බලාගෙන යද්දි හරියට ඒ ඉරේසරය වගේ නේද?
අපි මේ ලෝකෙට ඉපදෙන්නේ කිසිම දෙයක් කරකියාගන්න බැරි අන්තිම අසරණ ජීවීන් විදිහට. අපිව ජිවත් කරවන්න, පෝෂණය කරන්න, හරි මග කියා දෙන්න, අනතුරු අන්තරාවක් වෙන්න නොදී ආරක්ෂා කරගන්න ,උස් මහත් කරන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හෙලන කඳුලු , දහඩිය, වැය කරන ශ්‍රමය, සල්ලි, කාලය ඇත්තටම කිරන්න මනින්න මිල කරන්න හැකියාවක් කොහෙත්ම නැහැ.
ඒක මැනගන්න පුළුවන් වුණා වුණත් ගෙවලා ඉවර කරන්න නම් කවදාවත් හම්බ වෙන්නෙත් නැහැ.
අවුරුදු දහයක විතර එක ළමයෙක් එයාගෙ අම්මට කිව්වලු එයාට ගෙදර වැඩ නිකන් කරන්න බෑ ගෙවීමක් කරන්න ඕන කියලා.අම්මා කිව්වලු කරපු වැඩ වලට බිලක් හදලා දෙන්න කියලා. ළමයා බිලක් හදලා දුන්නලු.
කඩේ ගිහින් බඩු ගෙනාවට…ඉතුරු සල්ලි හරියට දුන්නට… මල්ලිව බලා ගත්තට… මගේ සපත්තු දෙක මමම පොලිෂ් කර ගත්තට .. බැනියමේ අයිස්ක්‍රීම් පැල්ලම් සෝදා ගත්තට … සාලෙ අතුගෑවට …ඉස්කෝලෙන් දුන්නු ගෙදර වැඩ කෙරුවට… බලු පැටියට කෑම දුන්නට… අම්මගේ රෝස මල් පැළවලට වතුර දැම්මට… තාත්තගේ කණ්නාඩිය හොයල දුන්නට…ආච්චි අම්මට බෙහෙත් පෙති බොන්න වතුර ගිහින් දුන්නට…
යනාදී වශයෙන් එක යට එක පෝලිමට එයා කරපු වැඩ සේරම දාලා ලොකු ගාණක බිලක් හදලා අම්මට දුන්නලු.
එහෙනම් මම කරපු වැඩත් බිලක් හදලා දෙන්නම් . ඒකෙන් ඔයාගේ බිල අඩු කර ගමු කියලා අම්මා කිව්වලු.
“ඔයා මොනවද කරන වැඩ? ඉස්කෝලෙ යන්නෙත් නෑ නිකං ගෙදරට වෙලා ඉන්නවා විතරයි”. කියල ඒ ළමයා කිව්වම අම්මා මේ විදිහට බිලක් හදල දුන්නලු
“මාස දහයක් කුසේ තියාගෙන ආරක්ෂා කළාට……….. අයකිරීමක් නැත.
වේදනාවෙන් බිහි කළාට , නිදි මරාගෙන රැකබලා ගත්තාට…අයකිරීමක් නැත.
අසනීප වලදී බෙහෙත් අරං දුන්නට, අඬන අඬන වෙලාවට කිරි දුන්නට……. අයකිරීමක් නැත.
අවුරුදු ගණනාවක් කැත කුණු ඇද්දාට, ඇඳුම් සේදුවාට……..අයකිරීමක් නැත.
සෙල්ලම් බඩු වලට, පාසල් පොත් වලට,පාසල් ගාස්තු වෑන් ගාස්තු වලට…….. අයකිරීමක් නැත.
අවුරුදු දහයක් දවසට වේල් තුන ගණනේ හොඳට කන්න බොන්න දුන්නට…….. අයකිරීමක් නැත .
තාත්ත හම්බ කරපු සල්ලි පිරිමහලා ඕන කරන ඇඳුම් පැළඳුම්,අධ්‍යාපනය,පොත් පත්.සපත්තු සෙරෙප්පු ඇතුළු අවශ්‍ය හැම දෙයක්ම සලස්වල දුන්නට…… අයකිරීම්ක් නැත .
අන්න ඒ විදිහටට අම්මා බිලක් හදලා අන්තිමට කිසිදු අයකිරීමක් නොමැත කියලා යටින් ඉරි දෙකක් ගහලා ළමයට දුන්නලු.
එතකොට තමයි ළමයාට තේරිලා තියෙන්නේ අම්මා තාත්තා දෙන්නා කොච්චර එයා වෙනුවෙන් කැපවීම් කරලා තියෙනවද කියලා.
මේ උපහැරණ දෙක ඇසුරින් ඔබත් නිකමට ඔබේ දෙමාපියන් ගැන ටිකක් හිතලා බලන්න.
ඔබේ වයස කීයක් වුණත් ඔබේ වයසට සාපේක්ෂව ඔබේ දෙමවුපියො ඔබ වෙනුවෙන් කොච්චර දුක් විඳල තියනවද ,කොච්චර කැපවීම් කරලා තියනවද ,කොච්චර ඔබට ආදරෙන් වැඩ කටයුතු කරල තියනවද කියල හිතල බලන්න.
බිලිඳෙක් වෙලා ඉන්නැද්දි දී ඔබට මොන තරම් ලොකු ආරක්ෂාවක් පෝෂණයක් අවශ්‍යයි ද!අවුරුදු දහයක් දොලහක් විතර යනකම්වත් කිසිම දෙයක් තනියම කරගන්න බැහැනේ.නේද?
බිළිඳෙකු ලොකු කරගන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පුදුමාකාර කැපවීමක් කරනවා. පුදුමාකාර දුකක් විඳිනවා. ඊට පස්සේ පාසල් කාලයේදී ඔහුට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඊට වැඩිය දුක්විඳිනවා. ඊට පස්සේ විවාහ වන කාලය ආපුවාම සුදුසු සහකාරයෙක් හොයන්න වෙහෙසෙනවා. අපේ ලංකාවේ අම්මලා තාත්තලා දරුවෝ බැඳලා ගියා උනත් එතනින් නතර වෙන්නේ නැහැ. දරුවන්ගෙ දරුවන් ගැන පවා උනන්දුවෙන් ආදරයෙන් සැලකිලිමත් වෙනවා.
දෙමවුපියන්ගේ ආදරේ කියන්නෙ හිරු එලිය වගේ නැතුවම බැරි .කොහොම කොහෙන් නිර්මාණය වුණාද කියලා හිතාගන්න බැරි, කිරන්න මනින්න බැරි, සීමාවකින් තොරව අපට ලැබෙන පුදුමාකාර විශ්මිත බලවේගයක්. මේක අලුතෙන් කියන්න දෙයක් නෙවෙයි. හුස්ම ගන්න හැම කෙනෙකුටම හොඳට පැහැදිලිව තේරෙන දෙයක්.
එහෙත් කරුමෙකට වගේ සමහර දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම තේරෙන්නේ නෑ .නොමිලේ නොඅඩුව ලැබෙන නිසා අගය කරන්නේ නෑ.
ඒ උනාට දෙමව්පියන්ගෙන් උපරිම ප්‍රයෝජන නං ගන්නවා. පුංචි සෙල්ලම් වයසෙ , ඉස්කෝල කාලේ, තරුණ කාලේ විතරක් නෙමේ බැන්දට පස්සෙත්. දරු මුනුබුරෝ ලැබුනට පස්සෙත් දෙමව්පියන්ගෙන් ගන්න ප්‍රයෝජන නම් අසීමිතයි.
සමහර දරුවෝ නං ඇත්තටම දෙමව්පියන්ට හරිම ආදරෙයි. ආදරෙන් දුකසැප බලනවා, බේත්හේත් අරන් දෙනවා, අවශ්‍යතාවයන් අහනවා.ආසා දේවල් ලබා දෙනවා. ඇත්තටම කළගුණ සලකන්න දන්න හොඳ දරුවෝ මේ ලෝකේ ඉන්නවා. මේක දෙමව්පියන්ට සැනසීමක් වගේම ආඩම්බරයක් ශක්තියක්.
එහෙත් අවාසනාවකට වගේ සමහර දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැහැ. ගණන් ගන්නේ නැහැ .සමහරුන්ට දෙමව්පියන්ව කරදරයක් වගේ තේරෙනවා.
එක ගෙදරක මහලු තාත්තා කෙනෙක් කෑම කන කොට ශබ්ද කරනවා, බත් ඇට හලනවා,නහය උඩට අදිනවා වගේ දේවල් කියලා එක පුතෙකුගේ බිරිඳ නිතරම අවලාද කිව්වලු. දවසක් ඒ තාත්තා අතින් ලිස්සලා ගිහින් පිඟානක් බිඳිලා. එදා ඉඳලා කෑම මේසෙට ගෙන්නන්නේ නැතුව කුස්සියෙ පුටුවක ඉන්දවලා ලී වලින් හදපු පිඟානක කෑම දුන්නලු.
දවසක් මේ පුතාගේ පුංචි පුතා බිම් හෙලා තිබුණු ගහකින් කපාගත්තු ලී පෙත්තක් හොයාගෙන ඒක හාරලා යමක් හදනවා දැකලා ,මොකක්ද පුතා ඔය හදන්නේ කියලා තාත්තා ඇහුවලු.
“තාත්තා සීයට දුන්න වගේ තාත්තා නාකි වුනාම තාත්තට කෑම දෙන්න මේ ලී වලින් පිඟානක් හදනවා” කියලා පුංචි පුතා පිලිතුරු දුන්නලු.
මේ සේරම ඇසුරෙන් ඔබ ඔබේ දෙමව්පියන්ට සලකන හැටි ගැන පොඩ්ඩක් හිතල බලන්න. දෙමාපියන්ට ආදරෙන් කළගුණ සලකන්නේ නැති දරුවන්ට කවදාවත් හරියන්නෙත් නෑ , වෙන මිනිසුන්ට හිතවත් වෙන්නත් බැහැ, හරියකට ආගම් අදහන්නත් බෑ.
සමහර දෙමව්පියෝ අතින් ගොඩක් වැරදි වෙනවා තමයි .දරුවන්ට ආදරය කරනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුකරගන්න දරුවන්ව අතකොළුවක් කරගන්න දෙමව්පියොත් නැතුවමත් නෙවෙයි. ඔබට ඔබේ දෙමව්පියන් අසාධාරණයක් වරදක් කළා කියලා හිතනවානම් හැකි උපරිමෙන් සමාව දෙන්න උත්සාහ කරන්න.
සමහරුන්ට දෙමව්පියන්ගේ අගය තේරෙන්නේ තමන්ගේ අත් දෙකට තමන්ගෙම දරුවෙකු ලැබුණට පස්සේ.(හරියට අජාසත්ත කතාවේ වගේ) ඒත් එතකොට පමා වැඩි වෙන්න පුළුවන් .
විශේෂයෙන් අද බොහෝ දරුවන්ට දෙමව්පියන්ට වැඩිය තමන්ගේ මොබයිල් ටෙලිෆෝන් එක ලොකුයි.යාලුවෝ විනෝදාංශ ලොකුයි .
මව්පියන්ට හිරිහැර කිරීම, නොසලකා හැරීම , කරදරයක් විදිහට සැලකීම ඇත්තෙන්ම පාපයක් .ඒ පාපයට හවුල්කරුවෙක් වෙන්න එපා.
විශේෂයෙන් පාසල් යන දරුවන් පැන්සලක් ඉරේසරයක් අත ගැටෙන හැම මොහොතකම ඉහතින් කියපු පැන්සලේ මකන කෑල්ලෙ දෙබස මතක් කරගන්න.
ඉරේසරයක් වගේ ඔබව නිවැරදි කරන්න, ඔබගේ යහපත සලසන්න, ටික ටික තමන්ගෙ ජීවිතේ ගෙවා දැමූ මව්පියන්ට කලගුන සලකන්න අමතක කරන්න එපා. ඔවුන් ආහාර ගත්තු පිඟාන, වාඩි වුණ පුටුව,නිදාගත් ඇඳ හිස් වෙන දවසක් කවදහරි එනවා. එදාට අඬන්න තියාගන්න එපා. ඔවුන් ජීවත් වෙලා ඉන්න කාලේ දිය හැකි උපරිම සතුට ආදරය කළගුණ සැලකීම දක්වන්න.
ඔබ ඔබේ දෙමව්පියන්ට දක්වන සැළකීම තමයි කවදහරි දවසක ඔබේ දරුවන්ගෙන් ඔබට ලැබෙන්නෙත් කියන එක හොඳට මතක තියාගෙන කටයුතු කරන්න.