ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් අධිවේගී අන්තර්ජාල පහසුකම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම හොඳද?නරකද?

vinivida

ලෝකයේ සිටින ප්‍රකෝටිපතියකු වූ ඉලොන් මස්ක් සිය SpaceX සමාගමේ චන්ද්‍රිකා ඒකකය වන ස්ටාර්ලින්ක් සේවය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාවට රජයේ පාර්ශ්වයෙන් අනුමැතිය හිමිව තිබෙන බැව් ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ. ඉන්දුනිසීයාවේ පැවති 10 වැනි ලෝක ජල සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අවස්ථාවේ දී ඉලොන් මස්ක් හමුවී ශ්‍රී ලංකාවට ද මේ පහසුකම ලබා දෙන්නැයි කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව පැවසේ. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ද සිය මූලික අනුමැතිය මේ සඳහා ලබා දී තිබේ. මේ වැඩසටහන තුළින් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් නොමැති දුෂ්කර පළාත්වලට මහත් සේවයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉලොන් මස්ක් ස්ටාර්ලින්ක් සමාගම ආරම්භ කරන ලද්දේ චන්ද්‍රිකා තාක්ෂණ ඔස්සේ ලෝකයේ සිටින ඕනෑම අයෙකුට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිවය. මේ සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය ඇත්තේ ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමටය. දැනට ලෝකයේ රටවල් 70කටත් වඩා ස්ටාර්ලින්ක් මගින් ආවරණය කොට තිබේ.

ශ්‍රී ලංකා ජනපතිවරයා සහ ඉලොන් මස්ක් හමු වූ අවස්ථාව

SpaceX සමාගම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා කක්ෂ ගත කරන්නට පටන් ගත්තේ 2019 වසරේ දී වූ අතර 2024 වසර වන විට පෘථිවියේ පහළ අක්ෂය තුළ කුඩා චන්ද්‍රිකා 6000කටත් වඩා එය ස්ථාපිත කොට තිබේ. මේවා පහළ කක්ෂයේ රඳවා ඇත්තේ භූමිය මත සිටින ග්‍රාහකයන්ට චන්ද්‍රිකා සමග සම්බන්ධ වීම පහසු කරනු පිණිසය. රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේ දී භූමිය මූලික කරගෙන ඇති අන්තර්ජාල සම්බන්ධතා සපයන මධ්‍යස්ථාන විනාශ වීම නිසා යුක්රේනයට සන්නිවේදන පහසුකම් සපයා දුන්නේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් ඔස්සේය.

පෘථිවියේ පහළ කක්ෂයේ චන්ද්‍රිකා මණ්ඩලයක් රැඳවීමේ සංකල්පය 1980 තරම් ඈත කාලයක් දක්වා ගමන් කරයි. එම සමයේ එවැන්නක අරමුණ වූයේ එම චන්ද්‍රිකාවල අවි රඳවා හදිසි යුද තත්ත්වයක් ඇති වුවහොත් ඒවා යොදා ගැනීම සඳහාය. තාරකා යුද්ධය පිළිබඳ කතා බහට ලක්වූයේ මේ කාරණය පදනම් කරගෙනය. නමුත් පසුකාලීනව එවැනි චන්ද්‍රිකා මණ්ඩලයක් මගින් වඩාත් පහසුවෙන් සන්නිවේදන කටයුතු කළ හැකි බවට අදහස් පහළ වීම නිසා තාරකා යුද්ධය වෙනුවට ඒ පිළිබඳ උනන්දුව ඇති වන්නට විය. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වූයේ ඉලොන් මස්ස්ගේ SpaceX සමාගමය. 2018 වසරේ දී අත්හදා බැලීමේ චන්ද්‍රිකා දෙකක් කක්ෂ ගත කෙරුණු අතර 2019 මැයි මාසය වන එම සමාගම චන්ද්‍රිකා 60 ක් කක්ෂ ගතකොට තිබිණි.

ශ්‍රී ලංකා ජනපතිවරයා සහ ඉලොන් මස්ක් හමු වූ අවස්ථාව

සාමාන්‍යයෙන් ෆයිබර් සබඳතාවක් ඔස්සේ තත්පරයට මෙගාබිට්ස් 400 ක පමණ වේගයක් ලබා ගත හැකි අතර අප බහුතරයක් භාවිත කරන ජංගම දුරකතන අන්තර්ජාල සබඳතාවකින් අත්විඳිය හැක්කේ තත්පරයට මෙගාබිට්ස් 22ක් වැනි උපරිමයක් පමණි. මේ වේග දෙක අතර වෙනස මේ අනුව අහසට පොළොව මෙන් බව පැවසිය යුතුය.

2021 වසර වන විට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් ලබා ගත් පිරිස 10,000ක් පමණ වූ අතර 2024 මැයි මාසය වන විට මේ පිරිස මිලයන තුනක් දක්වා වර්ධනය වී තිබේ.

අපේ රටේ අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් අතරින් වේගවත්ම සේවය සපයනු ලබන්නේ ටෙලිකොම් සමාගමේ ෆයිබර් සබඳතාවය ඔස්සේය. අනෙක් සියලු සේවාවන්ට එතරම් වේගයක් ලබා දීමට නොහැකි වී අතර ඇතැම් සමාගම් අන්තර්ජාල සබඳතාවයේ වේගය එක් එක් පැකේජය අනුව අඩු වැඩි කොට තිබේ. එමෙන්ම එක් සන්නිවේදන කුලුනක් ඔස්සේ සේවය සැපයිය හැකි උපරිම සබඳතා සංඛ්‍යාවට ළඟා වූ විට අන්තර්ජාල වේගය අතිශයින් මන්දගාමී වේ. මේ අනුව බලන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් ඔස්සේ සැපයෙන් අන්තර්ජාල පහසුකම ෆයිබර් සබඳතාවක් තරමට වේගවත් යැයි පැවසේ.

ඉලොන් මස්ක්

සාමාන්‍යයෙන් ෆයිබර් සබඳතාවක් ඔස්සේ තත්පරයට මෙගාබිට්ස් 400 ක පමණ වේගයක් ලබා ගත හැකි අතර අප බහුතරයක් භාවිත කරන ජංගම දුරකතන අන්තර්ජාල සබඳතාවකින් අත්විඳිය හැක්කේ තත්පරයට මෙගාබිට්ස් 22ක් වැනි උපරිමයක් පමණි. මේ වේග දෙක අතර වෙනස මේ අනුව අහසට පොළොව මෙන් බව පැවසිය යුතුය.

මේ සඳහා වැය විය හැකි මුදල පිළිබඳ මේ වන තෙක් තොරතුරු සොයා ගන්නට නැතත්, දැනට මේ සේවය ක්‍රියාත්මක වන මැලේසියාව සමග සසඳා බලා අපට ඒ පිළිබඳ යම් අනුමානයක් ඇති කර ගත හැකිය. ඒ අනුව මූලිකව මේ සබඳතාව ලබාගැනීම සඳහා රුපියල් 80,000 ක පමණ මුදලක් වැය වේ. ඒ චන්ද්‍රිකාව සහ පරිශීලකයා සම්බන්ධ කෙරෙන උපාංග නිවසක හෝ ආයතනයට සවි කිරීමට යන වැය වන වියදමය. ඉන් පසුව ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 15,000 ක් පමණ වේ. මෙය මැලේසියාවේ අය කෙරෙන ගාස්තු සමග සසඳා කෙරෙන අනුමානයක් පමණක් වන අතර අප රටේ මේ ගණන් වෙනස් විය හැකි බව සැලකිය යුතුය.

මෙය අප සාමාන්‍යයෙන් අන්තර්ජාලය වෙනුවෙන් මාසිකව වැය කරන මුදලට වඩා සැලකිය යුත් අන්දමින් වැඩි මුදලක් වුව ද මේ පහසුකම ඔස්සේ සීමාවක් නොමැතිව අන්තර්ජාල පහසුකම් ෆයිබර් සබඳතාවක් තරම් අධික වේගයකින් අත් විඳිය හැකි වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

ස්ටාර්ලින්ක් වෙතින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා සවිකරගත යුතු මූලික උපාංගය

මෙවැනි සේවයක් අප රටේ ආරම්භ කරන විට අප රටේ දැනට සිටින අන්තර්ජාල සේවා සපයන්නවුන් බොහෝ විට සිය සේවා ගුණත්වය ඉහළ දමන්නට ද ඉඩ තිබේ. ඒ තමාගෙන් පරිශීලකයන් ගැලවී යාම වළක්වා ගැනීම සඳහාය.

මැලේසියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ස්ටාර්ලින්ක් සබඳතාවක් ලබාගැනීම සඳහා වැය කළ යුතු මුදලේ අති විශාල වෙනසක් සිදු නොවුනත් මේ මුදල ද සාමාන්‍ය පුද්ගලයකුට දරා ගැනීමට දුෂ්කර තත්ත්වයකි. කෙසේ නමුත් දුෂ්කර පළාත්වල පිහිටා ඇති විවිධ ආයතන, හෝටල් ආදියට මෙයින් ලැබෙන්නේ මහඟු සේවයකි. ඔවුන්ට මේ සඳහා වූ මූලික වියදම දරා මෙවැනි සබඳතාවක් ගැනීම කිසිසේත්ම අවාසි සහගත වන්නේ නැත. විශේෂයෙන් කොළඹින් දුර බැහැර පිහිටි සංචාරක හෝටල්වල අන්තර්ජාල සබඳතා ඉතා දුර්වල මට්ටමක පවතින්නේ යැයි සංචාරකයන් විසින් විවිධ අවස්ථාවල දී චෝදනා කරනු අසනු හැකිය. මෙවැනි සබඳතාවක් එවැනි හෝටල්වලට ලබා ගතහොත් එය සංචාරක ව්‍යාපාරය කෙරෙහි වක්‍රව සිදුවන මහඟු සේවයක් වනු ඇත. එමෙන්ම දුෂ්කර පළාත්වල අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි මධ්‍යස්ථාන පිහිටුවා සහනදායී මුදලකට එම පළාත්වල සිටින පාසල් දරුදැරියන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳින්නට සැලැස්විය හැකිය.

ස්ටාර්ලින්ක් වෙතින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා සවිකරගත යුතු මූලික උපාංගය

අනෙක් අතට සාමාන්‍යයෙන් නගරබදව වෙසෙන අන්තර්ජාල පහසුකම් භුක්ති විඳින්නකු මෙතරම් මුදලක් වියදම් කොට ස්ටාර්ලින්ක් පහසුකම ලබා ගනිතැයි සිතිය නොහැකිය. කෙසේ නමුත් මෙවැනි සේවයක් අප රටේ ආරම්භ කරන විට අප රටේ දැනට සිටින අන්තර්ජාල සේවා සපයන්නවුන් බොහෝ විට සිය සේවා ගුණත්වය ඉහළ දමන්නට ද ඉඩ තිබේ. ඒ තමාගෙන් පරිශීලකයන් ගැලවී යාම වළක්වා ගැනීම සඳහාය. එය සාමාන්‍ය පුද්ගලයන්ගේ පැත්තෙන් සිතා බලද්දී වාසි සහගත තත්වයකි.

මේ සියලු කාරණා අප කල්පනා කරන්නේ අනුමානයන් මත පිහිටාය. සැබෑ තත්ත්වය මෙයට වඩා වෙනස් විය හැකිය. එය එක්කෝ අප සිතනවාට වඩා වාසි සහගත වන්නට පුළුවන. අවාසි සහගත වන්නට ද පුළුවන. ඉලොන් මස්ක් වැනි ප්‍රකෝටිපතියෙක් අප රටට පැමිණෙන්නේ සිය ආයෝජන ඉහළ දමා ගැනීමේ අරමුණින් මිස අප රට වැටී සිටින අගාධයෙන් ගොඩ ගැනීමට නොවේ. එසේ හෙයින් මේ සියල්ල දෙස මධ්‍යස්ථව බලා අපට ලබා ගත හැකි වාසි සහගත තත්ත්වයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට උත්සුක විය යුතුවේ.

ස්ටාර්ලින්ක් වෙතින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා සවිකරගත යුතු මූලික උපාංගය
ස්ටාර්ලින්ක් චන්ද්‍රකා පහළ කක්ෂයේ රඳවා ඇති ආකාරය

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර