ඉස්සරහට තුන් වේල කන්න බැරි කාලයක් එනවා

රටේ නරක කාලයම එළඹෙනුයේ තව ඉදිරියට බවත් ඒ කාලය තුළ අපිට ආහාර පවා නැති විය හැකි බවත් අපේ ආහාර සැපයුම් ප්‍රමාණවත් වනුයේ ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් දක්වා පමණක බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.කොළඹ පැවති සමුළුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.වැඩිදුරටත් කතා කළ අග්‍රාමාත්‍ය වරයා මෙසේ ද කීය”අපිට ගිය යල හෝ මහා කන්නය සඳහා ප්‍රමාණවත් රසායනික පොහොර තිබුණෙ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ ලබන මහ කන්නයට පොහොර ලබාගන්න. ඒක කරගන්න පුළුවන් වුණොත් ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු සාධනීය තත්ත්වයක් ළඟා වෙයි.අපි ඒ අතරේ මොකද කරන්නේ ? ආර්ථිකය කඩාවැටෙද්දී, තව තව රැකියා අහිමිවෙයි. කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කඩාවැටෙයි. අපි මේ යන්නේ එතනට. මිනිස්සුන්ට දිනකට ආහාර වේල් තුනක් නොලැබෙන කාලයක් එයි. අපි කුසගින්න පිටුදකින්න ඕනේ.අපේ විදෙස් මුදල් ලැබෙන ක්‍රමවේද අවහිර වෙලා. මේ වනවිට ඉන්ධන සඳහා දිගු පෝලිම් පවතිනවා. හැම උදෑසනකම අපි හිතන්නේ නෞකාවලට මුදල් ගෙවන ආකාරය ගැන. ඒ එකකට ගෙවන්න බැරි වුණොත්, ඒ දවසේ හිඟයක් ඇතිවෙනවා. මේ විදිහට රජයක් ගෙනියන්න බැහැ. නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. අපිට ආහාර නැතිවෙයි. අපේ ආහාර සැපයුම් ප්‍රමාණවත් වෙන්නේ ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් දක්වා පමණයි.
අපිට මේ වසර තනියම ගෙනියන්න බැහැ. අපි ප්‍රතික්ෂේප කරපු අය ගාවටත් අපිට යන්න වෙනවා. ජපානයට. මොන රට ද ඩොලර් බිලියන 3ක ආධාරයක් ප්‍රතික්ෂේප කරන්නේ? වාසනාවට අපිට ඉන්දියාව උදව් කළා. චීනයත් අපට සහාය ලබාදී තියෙනවා. අපිට යුරෝපය හා බටහිර දෙසත් බලන්න වෙනවා. ඒ අතරම ණය ගැනත් බලන්න ඕනේ. මොකද, චීන ණය ප්‍රතිපත්ති අනෙක් අයට වඩා වෙනස්.”

කාලීන පුවත්