ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් අපේ බඩටත් වදියි ද?

ලොවම කම්පනයට පත් කර ඇති ඊශ්‍රායල-හමාස් ගැටුම නිසා මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට 11,000 කට ආසන්න වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මේ අතරින් 9,500 කට කිට්ටු ගණනක් මියගොස් ඇත්තේ පලස්තීන වැසියන් ජීවත් වන ගාසා තීරය වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර නිසා ය. වඩාත්ම සිත් කම්පා කරවන කාරණය වන්නේ ගාසා තීරයේ මිය ගිය අය අතරින් 3,800 කට ආසන්න සංඛ්‍යාවක් දරුවන් වීම ය. මේ වනවිට මෙම යුද ගැටුම ගැන අවධානයෙන් පසුවන සහ එම ගැටුමට මැදිවී සිටින කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ මෙහි අවසානයක් පිලිබඳ යම් සුබදායක සංඥාවක් මතු වන තුරුය.

මේ අතර මෙම ගැටුම නිසා අප වැනි රටවලට ද ඉදිරියේ දී මුහුණ දෙන්නට සිදුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් ගැන බිය දනවනසුළු තොරතුරු වාර්තා වෙමින් තිබේ. පසුගිය දිනෙක ලෝක බැංකුව පවසා තිබුණේ ඊ්‍රශායල-හමාස් ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී කලාපීය යුද්ධයක් බවට පරිවර්තනය වුවහොත් ලබන වසර වනවිට තෙල් මිල වේගයෙන් ඉහළ යා හැකි බවයි. ඔවුන් පවසන අන්දමට බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 150 ක් වැනි අගයක් දක්වා ඉහළ යා හැකිය. මෙම සටහන ලියන අවස්ථාව වනවිට තෙල් බැරලයක මිල පැවතියේ ඩොලර් අසූ ගණන්වල ය. ලෝක බැංකුවේ කතාව අනුව පෙනෙන්නේ මෙය දෙගුණයකට ආසන්න අගයකට පත් විය හැකි බවකි. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ මැද පෙරදිග කලාපය හරහා තෙල් ප්‍රවාහනයට බාධා ඇති වී ලෝක වෙළෙඳ පොලේ තෙල් හිඟයක් ඇති වීමෙනි.

තෙල් මිලෙහි මෙවැනි ඉහළ යාමක් සිදු වුවහොත් එය මේ වනවිටත් දරුණු ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටින අප වැනි රටවලට මරුපහරක් එල්ල කරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. උද්ධමනය සහ ජීවන වියදම තව දුරටත් ඉහළ ගොස් දැනටත් රිම් එකෙන් යමින් සිටින ජනතාවට රිම් එක පවා අහිමි වනු නිසැක ය. වැට් බදු ඉහළ යාම වැනි කාරණා නිසා ඒ වනවිට අප රට ජනතාව කොහොමටත් සිටිනු ඇත්තේ හුස්ම හිරවුණු තත්ත්වයක බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දැන් අප තුළ මතුවන ප්‍රශ්නය නම් ලෝක බැංකුව පවසන්නාක් මෙන් ඊශ්‍රායල-හමාස් ගැටුම වඩාත් ව්‍යාප්ත වූ කලාපීය ගැටුමක් බවට පත් වේවි ද යන්නයි. ඇතැම් නිරීක්‍ෂකයන් නම් කියන්නේ මේ වනවිට එවැනි ඉඟි පළ වෙමින් ඇති බවය. ඒ, මෙම කලාපය තුළ ඊශ්‍රායලයේ ලොකුම සතුරකු වන ඉරානයෙහි සහය ලබන තවත් සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර උත්සන්න කරමින් ඇති පසුබිම තුළ ය. හිස්බුල්ලා සහ හූති යන කණ්ඩායම් එම අනෙක් සන්නද්ධ කණ්ඩායම් අතර පෙරමුණේ සිටියි. හිස්බුල්ලා කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ ඊශ්‍රායලයට යාබද ව ඇති ලෙබනනයේ සිට යි. හූති කණ්ඩායම යේමනයේ ක්‍රියාත්මක වන කණ්ඩායමකි. මේ දෙකම ඉරානයේ සහය ලබන, ඊශ්‍රායල විරෝධී කණ්ඩායම් ය.

ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායල-හමාස් ගැටුම පටන් ගැනීමෙන් පසු ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම ද ඊශ්‍රායලය වෙත වරින් වර ප්‍රහාර එල්ල කර තිබිණි. ඒවාට ඊශ්‍රායල හමුදා ද ප්‍රතිප්‍රහාර එල්ල කළේය. නමුත් මෙම ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාර එතරම් දරුණු මට්ටමකට පත් වූයේ නැත. එහෙත් මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවලින් පැවසුණේ හිස්බුල්ලා කණ්ඩායම එල්ල කරන ප්‍රහාර වැඩි වෙමින් ඇති බවයි. මේ අතර යේමනයේ හූති සංවිධානය ද මේ වනවිට ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කර තිබේ.

ඊයේ (03) රහසිගත ස්ථානයක සිට විශේෂ ප්‍රකාශයක් කළ හිස්බුල්ලා කණ්ඩායමේ නායක හසන් නස්රල්ලා පවසා තිබුණේ යුද්ධය කලාපීය යුද්ධයක් බවට පත් වීම වැලැක්විය හැක්කේ ගාසා තීරයෙහි කෙරෙන යුද්ධය නතර කිරීමෙන් පමණක් බවයි. නමුත් ගැටලුව වන්නේ ඊශ්‍රායලය ඒ සඳහා සූදානම් ද යන්න ය. මෙම සටන් නතර කර ගැනීමට ලෝක ප්‍රජාව විශාල උත්සාහයක් ගනිමින් සිටියත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉතා දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ගාසා තීරය වෙත ප්‍රහාර උත්සන්න කරමින් සිටියි. පසුගිය දිනෙක ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සරණාගත කඳවුරකට පවා බිහිසුණු ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් සිවිල් වැසියෝ සිය ගණනක් මිය ගියහ. මෙම ප්‍රහාරයට එරෙහිව ද ලොව විවිධ පාර්ශ්ව වෙතින් දැඩි විරෝධයක් පළ විය.

ඊශ්‍රායලය අනුගමනය කරමින් සිටින මෙම දැඩි ආක්‍රමණශීලී පිලිවෙත නිසා ඉදිරිය් දී මෙම යුද්ධය කොයි අත හැරේවි ද යන්න ඉතාම අවිනිශ්චිත කාරණයක් බවට පත්ව තිබේ. අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ වනවිට පවසා ඇත්තේ හමාස් සංවිධානය ඉවරයක් කරන තුරු සටන් නොනවත්වන බවය. නමුත් ප්‍රශ්නය වන්නේ හමාස් සංවිධානයේ මිතුරන් වන ඉරානය සහ ඉහත කී කණ්ඩායම් ඊට ඉඩ දී බලා සිටීවි ද යන්න ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර