පලස්තීන හමාස් සංවිධානය සමග යුද වැදී සිටින ඊශ්‍රායල හමුදා මේ වනවිට ගාසා තීරයේ රෝහල්වලට පවා ඉන්නට ඉඩ දෙන්නේ නැත. දැන් දින කිහිපයක සිට මෙම රෝහල් සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර ඔවුන් උත්සන්න කර තිබේ. විශේෂයෙන්ම , ගාසා තීරයේ ප්‍රධානම රෝහල් දෙක වන අල්-ෂිෆා සහ අල්-කඩ්ස් යන රෝහල් දෙක මෙම ප්‍රහාරවලට මැදිව තිබෙනු දැකිය හැකි වේ. මෙම ප්‍රහාර නිසා ඒවායේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සහ කාර්ය මණ්ඩලවල අය පමණක් නොව ඉන්කියුබේටර තුළ රඳවා සිටින නොම්රූ දරුවන් පවා මිය යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බ හෙලීම් නිසා ඉන්කියුබේටරවලට හානි සිදුවීම, විදුලි සැපයුම් බිඳ වැටීම නිසා ඒවායේ ක්‍රියාකාරිත්වය නතර වීම මෙම ළදරු මරණවලට හේතු වී තිබේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වූයේ මෙවැනි නොමේරූ දරුවන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි. එමෙන්ම තවත් 36 දෙනෙකුගේ ජීවිතවලට අනතුරක් එල්ල වී ඇති බව ද වාර්තා විය.
මෙම යුද්ධය ආරම්භ වූ දිනයේ පටන්ම ඊශ්‍රායලය ගාසා තීරය වෙත ඉන්ධන සැපයීම ද අත්හිටු වූයේය. සාමාන්‍යයෙන් මෙවැනි ද්‍රව්‍ය ගාසා තීරයට සැපයෙන්නේ ඊශ්‍රායලය හරහා යි. කෙසේ හෝ වේවා, ඉන්ධන නොමැති වීම නිසා රෝහල්වල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. මේ නිසා ඉහත කී නොමේරූ දරුවෝ දැඩි ජීවිත අවදානමකට ලක්ව සිටිති.
රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඇති රෝහල් පවා මෙතරම් අමානුෂික අන්දමින් ඉලක්ක කිරීමට තරම් ඊශ්‍රායල හමුදා දරුණු වී ඇත්තේ කුමක් නිසා ද යන්න බොහෝ දෙනෙකු තුළ පැන නගින ගැටලුවක් විය හැකිය. ඊශ්‍රායලය මේ ආකාරයෙන් කටයුතු කරන්නේ ඔවුන්ගේ සතුරු පාර්ශ්වය වන හමාස් සංවිධානය මෙම රෝහල් සහ රෝගීන් පලිහක් ලෙස භාවිත කරන බවට වන විශ්වාසය නිසාය. නිදසුනක් ලෙස ගාසා තීරයේ ලොකුම රෝහල වන අල්-ෂිෆා රෝහල යට පොලොවට යටින් හමාස් සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇති බව ඊශ්‍රායලයේ අදහස යි. නමුත් පලස්තීන සෞඛ්‍ය අංශ මෙන්ම රෝහල් බලධාරීහු ද මෙම කතාව ප්‍රතික්ෂේප කරති. හියුමන් රයිට්ස් වොච් -(Human Rights Watch) නැමැති ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පවා ඊශ්‍රායල හමුදා පවසන මේ කතාව විශ්වාස කරන්නේ නැත.
කෙසේ හෝ වේවා, ගාසා තීරයේ පොලොව යටින් දිවෙන උමං පද්ධතියක් හමාස් සංවිධානය විසින් ඉදි කරනු ලැබ ඇති බව ප්‍රසිද්ධ කාරණයකි. ඔවුන් සිය ආරක්ෂාව සඳහා ද, මෙහෙයුම් සඳහා ද මෙම උමං පද්ධතිය භාවිත කරන බව සඳහන් වේ. ආයුධ ගබඩා කර තැබීම සඳහා ද, සතුරන්ගෙන් ආරක්ෂා වී එහා මෙහා ගමන් කිරීම සඳහා ද, යුද මෙහෙයුම් දියත් කිරීම සඳහා ද, ප්‍රාණ ඇපකරුවන් වැනි අය රඳවා තැබීම සඳහා ද මෙම උමං පද්ධතිය ඔවුහු ප්‍රයෝජනයට ගනිති.
එමෙන්ම නීති විරෝධී භාණ්ඩ එහා මෙහා රැගෙන යාම ද මෙම උමං මාර්ග හරහා සිදුවන බව සඳහන්ය. සමහර උමං මාර්ග පොලොව යටින් දේශසීමාව හරහා ඊශ්‍රායල භූමිය වෙත ද විහිදෙන බව සොයාගෙන තිබේ. මේවාට පිවිසෙන තැන් සහ පිටවෙන තැන් කිසිවෙකුටත් නොපෙනෙන සේ ඉතා සූක්ෂ්ම ලෙස වසං කර ඇති බව ද පැවසේ. ගාසා තීරයේ උමං පද්ධතිය මුලින්ම ඉදි කරන ලද්දේ නවසිය අසූව දශකයේ යි. නමුත් මේ වනවිට ඒවා වඩාත් ව්‍යාප්ත කර ඇති අතර 2021 වසරේ එක්තරා වාර්තාවක දැක්වුණේ කි.මී. 500 ක් පමණ දිග උමං මාර්ග මේ ආකාරයෙන් ඉදි කර ඇති බවයි. ගාසා තීරය වැනි වර්ග කි.මී. 365 ක කුඩා භූමි ප්‍රදේශයක යටින් මෙවැනි උමං පද්ධතියක් ඉදි කිරීම සැබැවින්ම විස්මයජනකය ය. හමාස් සංවිධානය සතුව නවීන පන්නයේ යන්ත්‍ර සූත්‍ර නොමැති බව සඳහන් වන අතර, මෙම උමං ඉදි කරන්නට ඇත්තේ ප්‍රාථමික මට්ටමේ උපකරණ යොදාගෙන විය හැකි බව අනුමාන කෙරේ.
කෙසේ හෝ වේවා, මෙම උමං පද්ධතිය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත් කිරීම හෝ මුළුමනින් විනාශ කිරීම ඊශ්‍රායල හමුදාවල ඉලක්කයකි. ඔවුන් ඉහත කී ආකාරයෙන් රෝහල්වලට පවා ප්‍රහාර එල්ල කරන තරමට දුරදිග යන්නේ ඒ නිසා බව පෙනේ. නමුත් කවර හේතුවක් නිසාවත් අහිංසක රෝගීන් ඇතුළු සිවින් වැසියන්ගේ ජීවිත මේ ආකාරයෙන් බිලි ගැනීමට, ඔවුන් පීඩාවට පත් කිරීමට ඊශ්‍රායල හමුදාවලට අයිතියක් ඇතැයි යන්න පිලිගත හැකි නොවේ. එවැනි ප්‍රහාර එල්ල කරනවා නම් එවැන්නක් කළ යුත්තේ එම ස්ථානවලින් අදාළ පුද්ගලයන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව පමණි. එමෙන්ම ඔවුන්ට නිරුපදි්රතව ඉවත් වීමට හැකි වාතාවරණයක් ද ඇති කිරීමෙන් පසුව පමණි. මේ වනවිට ගාසා තීරයේ පවතින තත්ත්වය තුළ රෝගීන් වැනි අය එහා මෙහා ගෙන යාම අතිශයින් අනතුරුදායක බවක් ද වාර්තා වේ. සමහර අවස්ථාවල ගිලන් රථවලට පවා ඊශ්‍රායල ප්‍රහාර එල්ල වූ බවක් වාර්තා විය.
මෙම තත්ත්වය තූළ රෝහල් වෙත එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන පවා සිය විරෝධය, පිලිකුළ ප්‍රකාශ කර ඇත. නමුත් ප්රශ්නය වන්නේ ඊශ්‍රායලය ඒ කිසිවක් ගණන් නොගැනීම යි.
නිහාල් පීරිස්