උගුරේ සෙම ගුලියක් සිරවූ ලෙසින් දැනෙන රෝගය – උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදන

“මගේ උගුරේ සමහර වෙලාවට සෙම පැටලෙන ගතියක් දැනෙනවා. තවත් සමහර වෙලාවට උගුරේ සෙම ගුලියක් හිරවෙලා වගේ දැනෙනවා. ඒක මට හරිම අපහසුවක්. කොච්චර උගුර පෑදුවත් ඒ සෙම යන්නෙම නෑ. උගුරෙ සෙම බැඳිලම තියෙනවා වගේ දැනෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවට කටත් හරිම තිත්තයි. ඒත් මේක හැම වෙලාවෙම හැම දවසෙම එකම විදිහට දැනෙන්නෙත් නෑ. සමහර දවස්වලට ඇත්තෙම නෑ. මගෙ උගුරෙ පිළිකාවක්ද ඩොක්ටර්?”
මෙවැනි ගැටලු සමග අප වෙත පැමිණෙන රෝගීන් දුලබ නැත. ඇතැම් විට ඔබ, නැතහොත් ඔබේ පවුලේ කෙනෙකු මෙවැනි ගැටලුවකින් පීඩා විඳිනු විය හැකිය. මේ කුමන රෝග තත්ත්වයක්ද යන්න අපි විමසා බලමු.

ඉහත ගැටලුව යොමු කළ කාන්තාව විමසා තිබුණේ මෙය පිළිකාවක්ද යන්නයි.
පිළිකාවලදී ද මෙවැනි ඇතැම් ලක්ෂණ තිබිය හැකිය. නමුත් මේ කතා කරන්නේ උගුරේ පිළිකා ගැන නොව මෙම ලක්ෂණ පවතින වෙනත් රෝගයක් පිළිබඳවය.
එල්.පී.ආර්. ලෙසින් කෙටියෙන් හඳුන්වන මෙම රෝගය Laryngo pharyngeal reflux desease නම් වෙයි. ඉතාම සුලබ රෝග තත්ත්වයක් වන මෙය වැඩිපුරම දකින්නට ලැබෙන්නේ මැදි වියේ පසුවන කාන්තාවන් තුළ ය. ඉන් අදහස් කරන්නේ මේ රෝගය පිරිමින්ට නොවැළඳෙන බවක් නොවේ. එසේම තරබාරු වීම ද මෙම රෝග තත්ත්වය හටගන්නට එක් හේතුවකි.

එල්.පී.ආර් රෝගයේ රෝග ලක්ෂණ මොනවාදැයි අපි දැන් විමසා බලමු.

ඉහත දැක්වූ රෝගියා පැවසූ පරිද්දෙන්ම මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස සමහරුන්ට දැනෙන්නේ උගුරේ සෙම ගුලියක් නැතහොත් කුමක් හෝ ගුලියක් සිරවී ඇති ආකාරයට ය. තවත් කෙනෙකුට කෙස් ගසක් වැනි යමක් සිර වූ ආකාරයට ද දැනෙන්නට පුළුවන. එසේම තවත් සමහරුන්ට උගුරට නාසයෙන් නිතර සෙම එන අන්දමට දැනිය හැකිය. මෙවැනි තත්ත්වයන් නිසා නිතර නිතර උගුර පෑදීමේ වුවමනාව රෝගියාට දැනේ. එසේ නොහැකි අවස්ථාවල දී සිතට විශාල පීඩනයක් අසහනකාරී තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන. සමහර අයගේ මෙම තත්ත්වය සමඟ කටහඬෙහි ද වෙනසක් ඇතිවිය හැකිය.
මෙලෙස අපහසුවක් දැනෙන මුත් මෙම රෝගීන්ට කෑම ගන්නා විට හිරවෙන ගතියක් හෝ ගිලීමේ අපහසුවක් ඇති වන්නේ නැත. එසේම උගුරේ කැක්කුමක් ද නොමැත. දැනෙන එකම දෙය උගුරේ ගුලියක් සිරවුණාක් වැනි අපහසුවක් පමණි. සමහරුන්ට නාසයෙන් උගුරට සෙම එන ආකාරයක් දැනිය හැකිය.
මේ තත්ත්වය ඇතිවන්නේ කොහොමද? දැන් අපි ඒ ගැන සොයා බලමු.

අපේ ආමාශය තුළ සැර ඇසිඩ් වර්ග ඇත. ඕනෑම පුද්ගලයකු ගේ ආමාශය තුළ පවතින මෙම ඇසිඩ් වර්ග අපට ඉතා අවශ්‍ය දෙයකි. ආහාර දිරවීමට, ආහාර සමඟ ශරීරයට ඇතුල් වෙන විෂබීජ වර්ග නැසීමට ආදී වශයෙන් විවිධ ප්‍රයෝජන මෙම ඇසිඩ් වර්ගවලින් අපට තිබේ. මෙම ඇසිඩ් වර්ග නිසා ආමාශයේ බිත්තිවලට හානි සිදුවන්නේ නැත. උගුරේ සෙම ගුලියක් හිරවී ඇති ආකාරයක් දැනෙන මෙම එල්.පී.ආර්. රෝගය වැළඳීම යනු ආමාශයේ තිබෙන මෙම ඇසිඩ්වලින් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් උගුරට ඒමයි. ගැස්ට්‍රයිටිස් රෝගයේ දී සිදුවන්නේ මෙම ඇසිඩ් ආමාශයේ ම පවතිමින් කරදර කිරීම ය. නමුත් එල්.පී.ආර් රෝගයේ දී ඒ ඇසිඩ් උගුරට එන අතර නමුත් එය ඉතා සුළු ප්‍රමාණයකි. කෙසේ වුවද ආමාශයේ පවතින ඇසිඩ් ආමාශයට ඔරොත්තු දුන්නාට ඒවා උගුරට ඔරොත්තු දෙන්නේ නැත. ඊට හේතුව උගුරේ බිත්ති ඉතා සියුම් වීම ය. ගැස්ට්‍රයිටිස් සහ මෙම රෝගය එකක් නොවේ. නමුත් ඉතාම කලාතුරකින් මේ රෝගය තිබෙන අයට ගැස්ට්‍රයිටිස් රෝගයත් පවතින්නට පුළුවන.

එල්.පී.ආර් රෝගයට තිබෙන ප්‍රතිකාර මොනවාද?

මෙවැනි රෝගියකු වෛද්‍යවරයකු වෙත පැමිණි විට රෝගය පිළිබඳව මුලින්ම සොයා ගන්නට වෙන්නේ රෝගියා පවසන කරුණු අනුව ය. ඉන්පසු මෙම රෝග ලක්ෂණවලට හේතුව එල්.පී.ආර් රෝගය ද නැතහොත් පිළිකාවක් ද යන්න දැන ගැනීමට පරීක්ෂණ කළ යුතුවේ.
උගුරට ආලෝකයක් යොදා සිදු කරන ඉන්ඩිරෙක්ට් ලැරින්ගොස්කොපි (indirect laryngoscopy) පරීක්ෂණය මින් එකකි. තවත් එකක් නම් උගුර ප්‍රදේශයට කුඩා කැමරාවක් යවා සිදුකරන ෆ්ලෙක්සිබල් ලැරින්ගොස්කොපි (Flexible laryngoscopy) පරීක්ෂණයයි.

මේ රෝගයට ප්‍රතිකාර කිරීමේ දී ප්‍රධානම දෙය වන්නේ මෙය පිළිකාවක් නොව මේ රෝගයම බවට රෝගියාට තහවුරු කර රෝගියාගේ බිය නැති කිරීම ය.
ඊළඟට රෝගියාගේ චර්යා රටාව සහ ආහාර රටාව වෙනස් කළ යුතුය. ඒ සඳහා ශරීරය බර වැඩි නම් බර අඩුකර ගැනීම, තෙල් සහ මිරිස් යෙදූ ආහාර විශේෂයෙන් අඩු කිරීම අවශ්‍ය වේ. එසේම ඇඹුල් සහිත ආහාර, චීස් චොක්ලට් වැනි ආහාර, කහට තේ, කෝපි ආදිය හැකිතාක් අඩු කළ යුතුය. වෙලාවට ආහාර ගැනීම අවශ්‍ය වන අතර ආහාර ගත් සැණින් නිදා ගැනීම නොකළ යුතුය.
මීට අමතරව ප්‍රතිකාර වශයෙන් ආමාශයේ ඇසිඩ් අඩු කරන ඖෂධ සහ නිතර ඇසිඩ් උගුරට ඒම වළකන ඖෂධ රෝගියාට නියම කෙරේ. මෙමගින් රෝගය සුව කළ හැකිය.

උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදන

ඉන්දු පෙරේරා

විනිවිද සායනය