උඩරට සිට රජරට දැකගත හැකි පිටවල පතන

අපේ රටේ මධ්‍යම කඳුකරයේ පිහිටි ඉතාම සුන්දර ස්ථානයකටයි අද ඔබව කැඳවාගෙන යන්නේ. මාතලේ සිට වස්ගමුවට යන පාරේ ඉලුක්කුඹුර, රත්තොට පසුකර යන විට මාතලේ සිට කිලෝ මීටර් 30ක් පමණ දුරින් රිවර්ස්ටන් ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ සුන්දර ස්ථානය පිටවල පතනයි. රිවර්ස්ටන් ගැනත් මෙහි දී යමක් පැවසිය යුතුයි. සැබවින්ම රිවර්ස්ටන් නමින් ස්ථානයක් මෙම ප්‍රදේශයේ නෑ. මෙය බටහිර රටවල දේශගුණයට සමාන දේශගුණයක් ඇති පළාතක් නිසා නැවත බටහිරට යාම සිහිගන්වමින් මෙය රිවර්ස්ටන් ලෙස භාවිතා වී තිබෙනවා. කොළඹ සිට පිටවල පතනට ඇති දුර කිලෝමිටර 188 ක් පමණ වෙනවා.
අතීතයේ සිටි රජවරුන්, වැරදිකරුවන්ව මෙම ප්‍රදේශයට පිටුවහල් කළ නිසා පිටවල යන නම මෙම ස්ථානයට ලැබී ඇති බවයි සමහරු අර්ථ දක්වන්නෙ.

හෙක්ටයාර 25ක පමණ විශාලත්වයෙන් යුතු මෙය නකල්ස් ආශ්‍රිතව පිහිටා තිබෙන තැනිතලා භූමි භාගයක්. පතන යන්නෙහි අරුත තෘණ භූමිය යන්නයි. මෙම පතන පුරාම වැඩිපුරම දක්නට ලැබෙන්නේ විවිධ තෘණ වර්ගයි. තැනිතලා භූමි භාගයක් වන මෙම පතන වටේ කඳු පන්තීන් දැකිය හැකියි. කඳුවල දෙපැත්තේ තිබෙන්නේ දේශගුණික තත්ව දෙකක්. පිටවල පතනෙහි හෝර්ටන් තැන්නට සමාන දේශගුණයක් පවතිනවා. හෝර්ටන් තැන්නෙහි වගේම මෙහිද ලෝකාන්තයක් පිහිටා තිබීම විශේෂයි. එය පුංචි ලෝකාන්තය ලෙස හඳුන්වනවා. පිටවල පතන කෙළවර තිබෙන පුංචි ලෝකාන්තය නම් වූ මෙම දළ බෑවුමේ සිට බලන විට නැගෙනහිර ප්‍රදේශයේ තැනිතලා බිම්, මින්නේරිය, පොළොන්නරුව වැනි රජරටට අයත් ප්‍රදේශ දැකගන්න පුළුවන්. එසේම නකල්ස්වල පිහිටි පුවක්පිටිය, රෙඩ්බානා වැනි ගම් ද මේ දළ බෑවුමේ හිඳ නැරඹිය හැකියි. ලකේගල, මානිගල, ගොම්බානිය, රිවර්ස්ටන් වැනි කඳු ද මෙතැනට ඉතාම සුන්දර ලෙසින් දිස්වෙනවා.

මෙම ප්‍රදේශයේ ඇති දිය ඇලි ලෙස සේර ඇල්ල, වැද්දාපැනි ඇල්ල, දූවිලි ඇල්ල, බඹර කිරි ඇල්ල නම් කළ හැකියි.
ප්‍රධාන මාර්ගයේ සිට වනය තුළට මීටර් තුන්සියයක් පමණ යනවිට බඹරකිරි ඇල්ල හමු වෙනවා. ඉතා සුන්දර දිය ඇල්ලක් වුවත් මෙහි නෑම ඉතාමත්ම අනතුරුදායකයි. මෙහි එක් වරම වතුර අඩු වැඩි වන ස්වභාවයක් පවතිනවා. මෙම දිය ඇල්ලේ නෑමට ගොස් බොහෝ දෙනෙක් අනතුරට පත් වී තිබෙන්නේ ඇල්ලේ පවතින මෙම ස්වභාවය හේතුවෙනුයි.
මෙම ස්ථානයේ ඉතා අලංකාර වැල් පාලමක් තිබෙනවා. එම වැල්පාලමේ නැගී මීටර් පනහක් පමණ ඉදිරියට ගිය විට කුඩා බඹරකිරි ඇල්ල දැකගත හැකියි.

ඉන් පසුව හමුවන්නේ සුළං කපොල්ල නමැති ව ස්ථානයයි. මෙහි දුරකථන කුළුණු රැසක් සවි කර තිබෙනවා.
ඈතින් දක්නට ලැබෙන මානිගල සුවිශේෂී ස්ථානයක්. මෙවැනිම මැද කොටුවක් සහිත ගලක් පේරු රටේද තිබෙනවා. එය තාරකා දොරටුවක් ලෙසයි පර්යේෂකයන් හඳුන්වන්නේ. පේරු රට ලෝකයේ ගුරුත්ව බලය වැඩිම රට වශයෙන් සැලකෙනවා. ලංකාව ගුරුත්ව බලය අඩුම රටක්. මෙම රටවල් දෙකේ පමණක් මෙවැනි එක සමාන ස්ථාන දෙකක් පිහිටා තිබීම අවධානයට යොමු වී තිබෙන කරුණක් බවයි පැවසෙන්නේ. පිටවල පතනෙහි සිට මෙම ගල නිරීක්ෂණය කිරීම කළ හැකි වුවත් මානිගල තරණය කිරීම ඉතාම සුන්දර අත්දැකීමක්. රිවර්ස්ටන් වෙත පැමිණෙන විදේශිකයන් මානිගල තරණය කිරීමට මහත් කැමැත්තක් දක්වනවා. පිටවල පතනට ගිහින් මානිගල තරණය නොකළොත් එය ඔබේ සංචාරයේ විශාල අඩුපාඩුවක් තරමට මෙය විඳගත යුතු අත්දැකීමක් බවයි කිව යුතු වන්නේ.

 

ජෛව විවිධත්වය අතින්ද මෙම ස්ථානය ඉතා ඉහළ අගයක් ගන්නවා. Nannophrys යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කීර්තිසිංහගේ ගල්පර මැඩියා මුළු ලෝකයෙන්ම සිටින්නේ මෙම ස්ථානයේ පමණයි. ඒ වගේම පතන්අල නමැති ශාකය මුළු ලෝකයෙන්ම දැකගත හැක්කේ ද මෙම ස්ථානයේදීයි . මෙය ස්ථානීය ආවේණික ශාකයක් වශයෙන් හඳුන්වනවා. එසේම නයිට්‍රිජන් ඌනතාවය ඇති විට හට ගන්නා කඳුලැස්ස, මැරැස්ස, නිල්මොණරැස්ස වැනි ශාකද පිටවල පතනේ සුලබයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නකල්ස් සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් පිටවල පතන පාළනය වෙනවා. පාසල් යන දරුවන්ට අධ්‍යාපනික වටිනාකමකින් ද යුතු පිටවල පතන අපේ රටේ පිහිටි අතිශය සුන්දර ස්ථානයක්. මෙහි සංචාරය කිරීමට සුදුසුම කාලය වන්නේ මැයි, ජුනි, ජුලි, අගෝස්තු යන මාසවලයි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව