අතීතයේ අපේ රට පාලනය කළ රජ වරුන් දිය නෑම සහ ජල ක්‍රීඩා සඳහා යොදා ගත් මඟුල් පොකුණු හෙවත් රාජකීය පොකුණු ගැන සඳහන් වෙන්නේ ඉතා අඩුවෙන්.පොලොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රම බාහු රජතුමා ඇතුළු රාජකීයන් භාවිතා කළ බව පැවසෙන පොලොන්නරුවේ කුමාර පොකුණ ඊට නිදසුනක්.
වංශ කතාවල ශිලා පොක්ඛරණී නමින් හැඳින්වෙන මෙය ශිලා කර්මාන්තයක්.මීට අමතරව කන්ද උඩරට පාලනය කළ අපේ අවසන් රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ බිසෝ වරුන් දිය නෑ බව පැවසෙන පොකුණක් අදත් මහනුවර උඩවත්ත කැලේ දී දැක ගන්න පුළුවන්.ඒත් අපි මේ කතා කරන්නේ අපේ රටේ විතරක් නෙවෙයි,මුළු දකුණු ආසියාවේම තියන විශාලතම රාජකීය පොකුණ ගැනයි.නමුත් එහි තිබෙන විස්මය ජනකම සත්‍යය නම් ඒ පොකුණ කෝට්ටේ රාජධානි සමයේ උඩුගම්පොල රාජධානිය පාලනය කළ සකල කලා වල්ලභ ප්‍රාදේශීය රජ තුමා කරවපු එකක් වීමයි.
ගම්පහට නොදුරු උඩුගම්පොල උප නගරයේ හතර මං හන්දියෙන් දිවුලපිටිය දෙසට වැටී ගත් පාරේ ටික දුරක් යන කොට වමට වැටී ඇති ආදාහනාගාර පාර හෙවත් පොකුණ පාර ඔස්සේ මේ රාජකීය පොකුණ පරිශ්‍රයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්.කාලයක් පතහ නමුන් ගැමියන් හඳුන්වපු මේ මනරම් නිර්මාණය පසුගිය කාලය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කර තිබීම නිසා මේ පොකුණේ අසිරිය මැනැවින් දැක බලා ගන්න පුළුවන්.ඒ විතරක්ද කණපිට හැරුණු ඉංග්‍රීසි එල් අකුරක හැඩය සහිත මේ පොකුණ වටා මීටර් හාරසිය පනහක් දිග ශරීර සුවතා මං තීරුවක් ද ඉදිකර තිබෙන නිසා මේ පොකුණ වටා ඇවිද යන්නත් ඔබට පුළුවන්.
අලකේශවර යුද්ධය රාජාවලිය වගේ දේශීය ඓතිහාසික මූලාශ්‍ර වල වගේම පෘතුගීසි ඉතිහාසඥ පර්නාවෝ ද ක්වේරෝස් ඕලන්ද ඉතිහාසඥ වැලන්ටයින් ආදීන් ගේ සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර වලත් මේ සකල කලා වල්ලභ රජ තුමා ගැන සඳහන්.ඒ කරුණු වගේම දේශීය ජනප්‍රවාද ගත තොරතුරු අනුව පෙනී යන්නේ එතුමා රණකාමීත්වයට වගේ වාරි සහ කෘෂි කර්මාන්තයට උපන් හපනෙක් බවයි.පහත රට තෙත් කලාපයට අයත් ප්‍රදේශයක පිහිටි තමන්ගේ රාජධානිය තුළ කුඩා ප්‍රමාණයේ වැව් සිය ගාණක් තැනවූ සකල කලා වල්ලභ රජ තුමා අපේ රටේ මුලින්ම මුතු සම්බා වගාව ආරම්භ කළ බව කියන මුතුරාජවෙල සංවර්ධනයේ ද පුරෝගාමියා බව සඳහන් වෙනවා.
සකල කලා වල්ලභ රජතුමා පිළිබඳ ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව එතුමා කෝට්ටේ රජ කරපු අට වන වීර පරාක්‍රමබාහු රජතුමාගේ අග බිසවගේ නැගෙණිය ගේ කුසින් රජ තුමාට දාව උපන් කුමාරයෙක්.ඒ කතාව මුල් කරගෙන ගොඩ නැඟුණු පුරාවෘත්ත කීපයක් අපේ ගැමි යාතු කර්ම අතුරින් මතු කර ගන්න පුළුවන්.ඒවායින් කොටසක් මේ රාජකීය පොකුණටත් සෘජුවම සම්බන්ධයි.
ඒ ගැමි පුරාවෘත්ත වල මේ රජු හැඳින්වෙන්නේ සකල කලා වල්ලක බාහු යන නමින්.රජතුමාගේ රජක කුල බිසවකගේ කුසින් උපන් මැණික් සාමි නම් කුමාරයා පිය රජු මරා රජකම ලබා ගන්න රජු ජල ක්‍රීඩා කරන මේ පොකුණේ දිය යට යවුල් සිටුවා තිබීම යාතු කර්ම වලින් පහසුවෙන් මතු කර ගත හැකි පුරාණෝක්තියක්.ඒත් ජල ක්‍රීඩා කරන්න මේ පොකුණේ ඇති පිනුම් ගල නම් ගල් පුවරුව මත සිට දියට පනින්න සැරසෙන රජතුමා දිය මත වසා සිටින මීමැස්සකු දැක පුදුමයට පත් වී රාජ පුරුෂයන් ලවා ඒ ගැන විපරම් කරවනවා.
එතකොට තමයි රජතුමාට වැටහෙන්නේ ඒ මීමැස්සා වසා සිටින්නේ දිය තලය මතින් යාන්තමින් මතු වෙලා පෙනෙන යවුලක් මත බව.මේක කවුරුන් හෝ තමන් මරා දැමීමට සැලැසුම් කරපු කුමන්ත්‍රණයක් බව වටහා ගත්තු රජ තුමා ඒ ගැන හනි හනික විමසිලිමත් වෙද්දී වැඩේ වරදින්න යන බව තේරුම් ගත්තු මැණික් සාමි කුමාරයා තමන්ට අතිශය සමීප වීරා කියන ආරක්ෂකයත් එක්ක ජීවිතය බේරා ගන්න සමනල අඩවියේ කුණු දිය පර්වතයට පලා යනවා.
නමුත් උඩුගම්පොල රජ මැදුරේ සුව පහසු දිවි පෙවෙතක් ගත කරපු මැණික් සාමි කුමාරයාට ඒ කටුක ශීතලය හා ආහාර අහේනිය දරා ගන්න බැරුව වීරා ද සමඟ කුණු දිය පර්වතයෙන් පහළට පැන දිවි නසා ගත් පුවත යාතු කර්ම සාහිත්‍යාංග වලින් තහවුරු කර ගන්න පුළුවන්.ඒ කොහොම වුණත් සකල කලා වල්ලභ රජ තුමා ජල ක්‍රීඩා සඳහා දියට පැන්න පිනුම් ගල හැටියට හඳුන්වන ශිලා පුවරුවක් අදටත් ඒ පොකුණේ දකින්න පුළුවන්.
මේ රාජකීය පොකුණ සම්බන්ධ මෑත කාලීන සංරක්ෂණ කටයුතු කරපු හිටපු පුරා විද්‍යා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා සූරීන් කියන විදිහට මේක දකුණු ආසියාවේ විතරක් නෙවෙයි සමස්ත ආසියාවේම ලොකුම රාජකීය පොකුණ වෙන්න පුළුවන්.ඒත් ඒ වගේ අසිරිමත් ජාතික උරුමයක් වුණු පුරා විද්‍යාත්මක ස්මාරකයක් මේ විදිහට අප්රකටවම තිබීමම අපට නම් එක්තරා අන්දමක පුදුමයක්.
සටහන සහ ඡායාරූප:ඉෂාරා සෙව්වන්දි