උතුම් සිරිපා හිමයේ පර්වතයකට ‘කුණුදිය’ කියන නම වැටුණේ කොහොමද?

සබරගමු දිසාවෙන් වැටී තිබෙන රත්නපුර ශ්‍රී පලාබද්දල සහ කුරුවිට එරත්න යන සිරි පා මාර්ග ඔස්සේ සිරිපා කරුණා කරන බොහෝ දෙනකු ගේ අවධානයට ලක්වන භූ දර්ශනයක් තමයි ‘කුණු දිය’ පර්වතය. සිරි පා හිමයේ සබරගමුව දෙසට බෑවුම් වන ලෙස විහිද ගත් ප්‍රධාන කඳු වැටිය වන බෑන සමනොළට අමතරව වන්දනා කරුවන් බොහෝ දෙනකුගේ අවධානයට වගේ ම කතා බහට ලක් වන කුණු දිය පර්වතය ශ්‍රී පලාබද්දල සහ එරත්න සිරිපා මාර්ග දෙකටම ඉතා හොඳින් දිස් වෙනවා.

සිරිපා කඳු මුදුනේ උස මුහුදු මට්ටමින් මීටර් 2243ක්; ඒ කියන්නේ අඩි 7359 ක්. ඊට උසින් දෙවෙනි වන මුදුන් දෙකකින් යුතු බෑන සමනොළ කන්දේ උස මීටර් 2010ක්. එහෙම නැතිනම් අඩි 6594 ක්. අද අපේ විමසුමට ලක් වන කුණු දිය පර්වතය ඒ කඳු මුදුන් දෙකටම වඩා උසින් අඩුයි. ඒ කියන්නේ ඒ පර්වතයේ උස මුහුදු මට්ටමින් මීටර් 1580ක්; එහෙම නැත්නම් අඩි 5183 ක් බවයි සඳහන් වෙන්නේ.

තලගහකන්ද, වටරං වංගුව, අඩවි කන්ද, දියගුල, බලවන, ගැට නිටුල කියන ප්‍රදේශවලට මැදිවුණු කුණු දිය පර්වතය මුලුමනින්ම මහා වනයෙන් වැසී ගත් පර්වතයක්. ශ්‍රී පලාබද්දල; කුරුවිට එරත්න කියන ශ්‍රීපාද මාර්ග එකට එක් වන හැරමිටිපාන කියන්නේ මුහුදු මට්ටමින් මීටර් 1650ක්; ඒ කියන්නේ අඩි 5413 ක් උසින් පිහිටි ප්‍රදේශයක්.

සිරිපා අඩවියේ විවිධ ප්‍රදේශවලට විවිධ අයුරින් දිස්වන මේ කුණු දිය පර්වතයේ මුදුන ඉතා හොඳින් දැක ගන්නට ඊට සමාන්තර උසකින් යුතු හැරමිටිපානේ දී හැකි වෙනවා. ඒ කුණු දිය පර්වත මුදුන එතැනට දිස්වන්නේ සීගිරිය වගේම කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව දුර්ගයට දිස්වන බතලේගල පර්වතයට සමාන අන්දමින්.

ඒත්, මේ වගේ බෞද්ධයන් ගේ පරම පූජනීය අඩවියක පිහිටි මේ කන්දට ‘කුණු දිය’වගේ පිළිකුල් සහගත නමක් වැටුණේ කොහොමද? ඒ සම්බන්ධ සබරගමුවේ පැරණි ගැමි කතාවකට අනුව බුදුන් වහන්සේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමට මුලින්ම වැඩමවා ඇත්තේ මේ කුණු දිය පර්වතයට. ඒත් ඒ පර්වතය මුදුනේ ජල මූලාශ්‍ර වලට ගැරඬි කුණක මස් දියවුණු ජලය මුසු වීම නිසා උන්වහන්සේ කුණු දිය පර්වතය තුළ සිරි පා සලකුණු පිහිටුවීමේ අදහස අතහැර සමනොළ කඳු මස්තකය තෝරා ගෙන තිබෙනවා.

මේ කඳු මුදුනේ දුගඳ හමන ගැරඬි කුණක් මවා පෑම බුදුන්ට කවදත් එරෙහි වූ මාරයාගේ ක්‍රියාවක් බවත් ඒ සබරගමු ජනවහරේ සඳහන් වෙනවා. නමුත් ලොව්තුරා තථාගත බුදුන් වහන්සේ ගේ බුද්ධත්වය පිළිබඳ නිසි වැටහීමක් නැති අතීත සබරගමුවේ අහිංසක ගැමියන්ගේ කතාව හුදෙක් එහි පැරණි ජන විඥානයට එක් වූ කල්පිත ප්‍රබන්ධයක් බව ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක හිමියන් ප්‍රකාශ කරනවා.

දහනව වන සියවසේ අග භාගයේ අප රටේ ජීවත් වූ ඉංග්‍රීසි ජාතික ඡායාරූප ශිල්පී විලියම් ස්කීන් 1881-1882 වසර වල ලියූ “ඇඩම්ස් පීක්” කෘතියේ මෙම කුණු දිය පර්වතය පිළිබඳව සඳහන් වන්නේ අතීතයේ ඒ පර්වතය මුදුනේ උණු දිය පර්වතයක් තිබූ නිසා මුලින් උණු දිය පර්වතය ලෙස හැඳින් වුණු එය පසුව කුණු දිය පර්වතය යනුවෙන් ගැමි ව්‍යවහාරයට ලක් වූ බවයි. නමුත් මේ සම්බන්ධයෙන් සබරගමු ගැමියන් පවසන්නේ ඒ පර්වත මුදුන හිස් අහසට මුළුමනින් නිරාවරණය වීම නිසා දහවල් කාලයේ කිසියම් ප්‍රමාණයකට රත් වන මේ පර්වත ශිඛරයෙන් ගලන උල්පත් ජලය අධික ශීතලයෙන් යුතු ප්‍රදේශයේ සෙසු උල්පත් ජලයට සාපේක්ෂව කිසියම් උණුසුම් බවකින් යුතුවීම මත උණු දිය පර්වතය යනුවෙන් මුලින් හැඳින්වුණු බවයි.

එය කුණු දිය පර්වතය ලෙසින් පසුව ව්‍යවහාර වී ඇත්තේ උච්චාරණ පහසුව තකා ලු. කෝට්ටේ යුගයේ උඩුගම්පල රජ කළ සකල කලා වල්ලභ රජු ඝාතනය කිරීමට එතුමන් ජල ක්‍රීඩාවට යොදා ගන්නා පොකුණේ දිය යට යවුල් සිටුවා තැබූ එතුමා ගේ පුතු රජතුමාට ඒ රහස හෙළිවීමෙන් පසුව ‘වීරා’ නම් තම සමීපතම ඇමතියකු සමඟ සිරිපා හිමයට පලා ගිය බවත් පසුව ඒ පරිසරයේ ඇති කටුක දුෂ්කර බව දරාගත නොහැකිව කුණු දිය පර්වතයෙන් පැන දිවි නසා ගත් පසුව කළු කුමාර නමින් දේවත්වයට පත් වූ බවත් පැරණි කළු කුමාර දේව යාදිනි කන්නලව් වල සඳහන්. මේ කතා ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුණත් මේ කුණු දිය පර්වතය තරණය අතිශය අසීරු කටයුත්තක් බවයි ඒ ආශ්‍රිත ගම්මානවල ගැමියන් සඳහන් කරන්නේ.

නමුත් හකුරු තැනීම සඳහා කිතුල් මැදීම දුලබ වන ඔසු සෙවීම වැනි කටයුතු උදෙසා අදටත් ඒ අවට එඩිතර සිත් ඇති ගැමියන් සුළු වශයෙන් හෝ මේ කුණු දිය පර්වතය සහිත වනගහනයට පිවිසුණත් ඒ පර්වතයේ මුදුනට නැඟීමට නම් අසීරු දුර්ග තරණයක යෙදිය යුතු බවයි ඒ කාගේත් පොදු මතය. ඒ සඳහා ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ ගැටනිටුල සහ එරත්න ශ්‍රීපාද මාර්ගයේ ස්ථාන කිහිපයක් පිවිසුම් මංකඩ ලෙස යොදා ගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.නමුත් දුෂ්කර චාරිකා ගැන උනන්දුවක් දක්වන තරුණ පිරිස් කුණු දිය පර්වතය මුදුනට නැඟීමේ දුෂ්කර අභියෝගය ජය ගන්න අවස්ථා තිබෙන බවත් කිව යුතුමයි.

දමයන්ති ගමගේ

හරිත දනව්ව