උද්ඝෝෂණ වලට පහර දී හිරිහැර කිරීම අනුමත කරන්න බෑ

රජය වෘත්තීය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කර විසඳුමකට පැමිණීම මිස උද්ඝෝෂණවලට පහර දී හිරිහැර කිරීම අනුමත නොකරන අතර උද්ඝෝෂණයන් තුළ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාත් අනුමත නොකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.ඊයේ ( 02) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති පාසල් සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයේදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.අදාළ උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇත.නමුත් ඒ සම්බන්ධයෙන් පාසල් සංවර්ධන නිලධාරීන් ගේ සංගම් නියෝජිතයන් පවසනුයේ තම සංගමයේ කිසිවකුත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන සේම ඒවා අනුමත නොකරන පසුබිමක පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුවීම සම්බන්ධයෙන් තම බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටින බවකි.

කාලීන පුවත්