උද්ඝෝෂණ වල දී හදිසි හෘදයාබාධ වැළඳීමේ වැඩි නැඹුරුවක් තියනවාද?

මේ දිනවල රට පුරා ජනතා විවිධ උද්ඝෝෂණ පැවැත්වෙනු අසන්නට දකින්නට ලැබේ.එමෙන්ම අප රටේ විවිධ තරාතිරම් හා වයස් ඛාණ්ඩවලට අයත් පිරිස් ද මේවාට එක් වන බව නොරහසකි. මෙම බොහෝ උද්ඝෝෂණ තුළින් පැහැදිලි උද්වේගකර හා ආවේගාත්මක බවක් දක්නට ලැබේ. එනිසා මේවාට සම්බන්ධ වන්නවුන් හදිසි හෘදයාබාධ වලට ලක්වීමේ වැඩි අවදානමකට මුහුණ පාන්නේද? යන ප්‍රශ්නය හෘදවේද විෂය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් වන අප වෙතට යොමු වන අවස්ථා තිබේ. විශේෂයෙන් තම පියාගේ හෝ සැමියාගේ වියපත් බව අනුව මෙවන් උද්ඝෝෂණ වලට සම්බන්ධ වීමෙන් ඔවුන් හෘද සෞඛ්‍යය සම්බන්ධ අහිතකර බලපෑමකට ලක්විය නොහැකි ද? යනුවෙන් අප වෙතට පැමිණෙන රෝගීන් ගේ භාරකරුවන් අවස්ථා කිහිපයකදීම විමසූ අයුරු ද අපට මතක ය.

ඕනෑම වයස් ඛාණ්ඩයක, ඕනෑම තරාතිරමක අයකු ඕනෑම අවස්ථාවක හදිසි හෘදයාබාධයකට මුහුණ දීමේ සම්භාවිතාව මුලුමනින් ශූන්‍ය නොවේ. නමුදු ඒ අතුරින් හදිසි හෘදයාබාධ වලට ලක්වීම කෙරෙහි වැඩි අවදානමක් සහිත පුද්ගල ඛාණ්ඩයන් අපට වෙන්කොට හඳුනා ගත හැක. ඒ අතුරිනුදු අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධි කොලෙස්ට්‍රෝල් ආදී රෝග වලින් එකක් නැතහොත් ඒ තුනම පවතින හා ඖෂධ මගින් ඒවා පාලනය කර නොගන්නා පුද්ගලයන් හෘදයාබාධ සම්බන්ධ වැඩිම අවදානම් ඛාණ්ඩය ලෙස හඳුනා ගත හැක.

ඊට අමතරව ස්ථුලතාව හෙවත් තරබාරුව සහිත ශරීරයට නිසි ව්‍යායාම් නොමැති පුද්ගලයන් සේම අධික ලුනු, තෙල්, සීනි ආදිය සහිත ආහාර ගන්නා සහ දුම්බීමට ඇබ්බැහි වූවන් ද බොහෝ විට ඉහත දැක්වුණු රෝග තත්වයන් සහිතව හෝ ඉතා අහඹු ලෙස එවැනි රෝග තත්වයක් නොමැතිව වුව හදිසි හෘදයාබාධ අවදානමකට මුහුණ දීම කෙරෙහි වැඩි සම්භාවිතාවක් පළ කරන්නෝ වෙති.

එමෙන්ම පෞරුෂමය වශයෙන් දැඩි ආවේගාත්මක බවක් පළ කරන සහ අන්‍යයන් හා නිතර ගැටුම් කර ගැනීමට පෙළඹෙන්නවුන් ද හදිසි හෘදයාබාධ වැළඳීම කෙරෙහි වැඩි නැඹුරුවක් පළ කරන බව අනාවරණය වී තිබේ. මීට අමතරව කිසියම් හෘද රෝගයක් මුල් කොට පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙසක් මඟ හැර හිතුවක්කාර අන්දමින් කටයුතු කරන්නවුන් ද මෙවන් හදිසි හෘදයාබාධවලට ලක්වීමේ පැහැදිලි නැඹුරුවක් පළ කරන බව විශේෂයෙන් කිව යුතු ය. ඒ හැරුණු කොට වියපත් බව මුල් කොට ඇති වන බහු ඉන්ද්‍රියය අකර්මන්‍යතාව ආදිය ද හෘදයාබාධ වැළඳීමට හේතුවක් වන මුත් එවැන්නවුන් මෙවන් උද්ඝෝෂණ වලට එක්වීමේ පැහැදිලි සම්භාවිතාවක් නැතැයි මට සිතේ.

ඉහත සඳහන් බහු විධ සාධක සහිත පුද්ගලයන් එදිනෙදා ජීවිතයේ කිනම් හෝ කාරියක යෙදී සිටීමේ දී, කෙටියෙන් කිවහොත් රාත්‍රී නින්දේදී පවා හදිසි හෘදයාබාධයකට ලක්වීමේ අවදානම කිසිසේත් බැහැර කළ නොහැක.
ඉහත සඳහන් බහු විධ සාධක සහිත පුද්ගලයන් කවර හෝ කායික, මානසික වෙහෙසකර තත්වයන් මුල් කොට හදිසි හෘදයාබාධයන් ඉස්මතු වීමේ යම් අවදානමක් තිබේ.
නමුත් එවන් අවදානමක් නොමැති සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් මෙවන් උද්ඝෝෂණ මුල් කොට හෘදයාබාධයන්ට නතු විය හැකිද? යන්න විමසීමේ දී කීමට ඇත්තේ ඊට් තරමක් වෙනස් කතාවකි.

මෙහිදී අප උද්ඝෝෂණ යන වදනින් හැඳින්වුව ද එනමින් සිදු කෙරෙන මානව ක්‍රියා කාරකම් විවිධාකාර ය. ඇතැම්හු හුදෙක් කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී සාමුහික හැසිරීම් ද උද්ඝෝෂණ ලෙස හඳුන්වති. ජීවිත සහ දේපල වලට සිදු කරන විවිධාකාර හානි මුල් කොට ගත් එම ප්‍රචණ්ඩකාරී,ව්‍යසනකාරී ක්‍රියා මගින් ඒවායේ නියැළෙන්නවුන් ගේ කායික, මානසික ව්‍යුහය මුලුමනින් ව්‍යාකූල වීම මත ශරීරයේ ජෛව රසායනික විෂමතාවයන් ද ඇති වීම සාමාන්‍ය තත්වයකි. එවන් තත්වයන් හෘද සෞඛ්‍යය ඇතුළු සමස්ත ශරීර සෞඛ්‍ය කෙරෙහිම අතිශය අයහපත් සහ අනර්ථකාරී බලපෑම් ඇති කරන බව අන් සියල්ලටම පළමුව කිව යුතු ය.එහෙත්, ඊට අමතරව නිරායුධ සාමකාමී උද්ඝෝෂණ ලෙස හඳුන්වන සමූහ චර්යාවන් මගින් හෘද සෞඛ්‍යය කෙරෙහි සෘජු අහිතකර බලපෑමක් ඇති නොකරන බව කිව යුතුම ය.

සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයකු කවර කරුණක් සම්බන්ධයෙන් කවර පාර්ශ්වයකට එරෙහිව හෝ උද්ඝෝෂණ නමින් හැඳින්වෙන සමූහ චර්යාවට එක් වනුයේ මූලික වශයෙන් තමන් තුළ හටගෙන තිබෙන මානසික පීඩනය පිටුදැකීමට ය. එම උද්ඝෝෂණයේ දී ඔහුට එම මානසික පීඩනය තමන්ට පමණක් නොව පොදුවේ තවත් පිරිසකට බල පාන්නක් බව ඔහුට වටහා ගත හැකි වේ. එය ඒ තැනැත්තාට එක්තරා මානසික අස්වැසුමකි. එමෙන්ම එම සාමකාමී උද්ඝෝෂණ නමින් හැඳින්වෙන ක්‍රියාවලදී ඊට සම්බන්ධ වන සියලුම දෙනා ඒ හා සම්බන්ධ විරෝධතා පාඨ සහ සටන් පාඨ එක්ව හඬ නඟනු අපට අසන්නට දකින්නට ලැබේ.

ඔවුන් මෙසේ හඬ නැගීම් කරනුයේ කිසියම් තාලයකට, රිද්මයකට, ලතාවකට නැතහොත් ‘ලයකට’ අනුව බව ද පැහැදිලි ය. ඒ එසේ සාමූහිකව එකම සටන් හෝ විරෝධතා පාඨය එකම ලතාවකට ලයකට අනුව අනේක වාරයක් හඬ නැඟීම ඔස්සේ ඔව්හු තම මානසික පීඩනය අවම කර ගනිති. එය විද්‍යාත්මකව හැඳින්වෙනුයේ චිත්තවේගයන් පිරිසිදු කිරීම සහ ඉවත් කිරීම(Catharsis)යනුවෙනි. “සා දුකින් පෙළෙන වුන් දැන් ඉතින් නැඟිටියව්-අන්තිම සටනට සැරසියව්”යන ශ්‍රී ලංකාවේ මුල්ම වාමාංශික පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ ජාත්‍යන්තර ගීතය අපි බොහෝ දෙනකු අසා ඇත්තෙමු.ඉන් පැවසෙන “සා දුකින් පෙළීම” මිනිස් තිරිසන් සැමට කෙසේ වත් දරා ගත හැකි තත්වයක් නොවේ.එහෙත්,ඉහත සඳහන් ගීතය එය පවසනුයේ තාලයකට, රිද්මයකට, ලතාවකට නැතහොත් ‘ලයකට’ අනුව ය.එය එදා මෙදා තුර අප ගේ ජන විඥානයේ රැඳී පවතිනුයේ ඒ සෞන්දර්යාත්මක ප්‍රවේශය නිසා ය.

මෙසේ කිසියම් කණ්ඩායමක් එක්ව එකම වදන් පෙළක් එකම තාලයකට; ලයකට හඬ නැගීමේදී ඒ සෑම කෙනෙකුගේම මනැස තුළ ජවයක්,පන්නරයක් සේම සියුම් සැහැල්ලුවක්, සතුටක් ජනිත වීම ස්වභාවික ය.
මෙය හුදෙක් උද්ඝෝෂණවලදී පමණක් දැකිය හැකි තත්වයක් නොවේ. අපගේ ජන සංස්කෘතියේ වැදගත් වන්දනාමය කටයුත්තක් වන සිරි පා කරුණාවේ දී ඉතා මිහිරි ලෙසින් තුන් සරණය නම් පද්‍ය ගායනයේ යෙදෙන වන්දනා ගමනේ දී එම වන්දනා ගමනේ දුෂ්කරම පර්වත තරණය වන මහගිරි දඹය පසුකරද්දී තම ගායනා වල වදන් සහ ලය වෙනස් කරති.

‘අග්ගලා කං ඩෝං පුතා
හෙළේ නගින් ඩෝං පුතා’

ආදී වශයෙන් වන ශබ්ද විද්‍යාත්මක වශයෙන් කිසියම් ප්‍රබල වදන් මාලාවක් ඊට ම ගැලපෙන ලයකින් යුතුව ගායනා කරන වන්දනා කරුවෝ එමගින් ඇති කර ගන්නා ජවය,
පන්නරය මගින් එම සිරිපා කරුණාව සඳහා අවශ්‍ය කායික මානසික උද්දීපනය ලබා ගනිති.ධීවර ප්‍රජාවගේ මා දැල් ඇදීම වැනි සාමූහික ක්‍රියා කාරකම් ඇතුළු තවත් බොහෝ මානව ක්‍රියා මේ සඳහා වන නිදසුන් ලෙස දැක්විය හැක.

ඉහත සඳහන් උද්ඝෝෂණ වලදී සිදු කෙරෙන එවන් සමූහ හඬ නැගීම් සමඟම ඇතැම් විට එම පිරිස් ඒ ඔස්සේම විවිධ බෙර වර්ග ආදී වාදන භාණ්ඩ වැයීමටත් ගී ගැයීමටත් පෙළඹෙනු ද අපි කොතෙකුත් අසා දැක ඇත්තෙමු.

ඒ එම උද්ඝෝෂණ තුළින් ඔවුන්ගේ සිත් තුළට පිවිසෙන සතුට පදනම් කොට ගත් වින්දනය මුල් කර ගනිමිනි. මෙහි දී ඔවුන්ගේ ශරීර ව්‍යුහය තුළ හටගන්නා ඔපියොඩ්, ඩොපමීන්, එන්ඩොෆීන්, සෙරටොනීන් ආදී සතුටු හෝමෝන සක්‍රිය වීම හෘදයාබාධ වැළඳීම කෙරෙහි නොව එවන් තත්වයන් හට ගැනීම අවම කරවීම කෙරෙහි සාධනීය අයුරින් බලපාන බව ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යයයි. නමුදු ඒ සම්බන්ධයෙන් අවසන් වශයෙන් කීමට ඇත්තේ ද මා මෙහි ඉහත සඳහන් කළ වැකියක්ම ය.

එනම්, “ඕනෑම වයස් ඛාණ්ඩයක, ඕනෑම තරාතිරමක, අයකුට ඕනෑම අවස්ථාවක හදිසි හෘදයාබාධයකට මුහුණ දීමේ සම්භාවිතාව මුළුමනින් ශූන්‍ය නොවේ” යන්න ය.

හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

එතෙර - මෙතෙර