වර්තමානය වන විට සෑම ක්ෂේත්රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය. කාන්තා දිනයට තවත් මාස කිහිපයක් තිබුණ ද ලෝකය තුළ කාන්තා නියෝජනය සහ එහි අනාගතය පිළිබඳ කතා කිරීමෙහි වටිනාකමක් නැතැයි කිව නොහැකිය.
ගෙවී ගිය සියවස්වල ජීවත් වූ කාන්තාවන් ලෝකය වෙනස් කිරීම සඳහා නන් අයුරින් දායක වී ඇති අතර වර්තමාන මෙන්ම අනාගත කාන්තා පරපුර ද භුක්ති විඳින්නේ ඔවුන් කළ කැපවීම්වල ප්‍රතිඵලයන්ය. අතීතයේ කාන්තාවන්ගේ තත්ත්වය සෑම අතින්ම පිරිමින්ට වඩා පහත මට්ටමක පැවතුණි. ඇතැම් රටවල ඡන්ද අයිතිය පවා කාන්තාවනට හිමි වූයේ ඉතාමත් මෑත කාලයේදීය. රැකියා කරන්නට පවා ඔවුනට අයිතියක් තිබුණේ නැත. දරුවන් ඇතිදැඩි කිරීම, ආහාර පිළියෙල කිරීම වැනි ගෘහණියකගේ භූමිකාව සමග නිවසට විවිධ කටයුතු කරනවා හැරෙන්නට ඔවුන්ට කළ හැකි වෙනත් දෙයක් තිබුණේ නැත. ගෘහාශ්‍රිත වගකීම් හැරුණු විට වෙනත් කිසිවක් ඔවුන් පිට නො පැවරුණු අතර අත තරම් නිදහසේ සිතන්නට හෝ ඔවුනට අයිතියක් තිබුණේ නැත. කාන්තාවන්ගේ සියලු අවශ්‍යතාවන් සපයනු ලැබුවේ පිරිමින් වූ අතර කාන්තාවන්ට ස්වාධීනව එම කටයුතු කරගන්නට අවස්ථාවක් තිබුණේ නැත. මෙහි වෙනසක් දකිනු කැමැති වූ ඇතැම් කාන්තාවන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට පැමිණි අතර වර්තමාන කාන්තාවන් භුක්ති විඳින්නේ ඔවුන්ගේ කැපවීම්වල ප්‍රතිඵලයන්ය.
වර්තමාන යුගයේ කාන්තාවන් අතීතයේ සිටි සාම්ප්‍රදායික කාන්තාවන්ට වඩා වෙනස් ය. 21 වැනි සියවසේ කාන්තාව දෛනික වශයෙන් හෝ ඇතැම් විට එකවර බැඳීම්, භූමිකාවන් සහ වගකීම් සම්භාරයක් උසුලයි. ඔවුහු මේ වන විට සිය ඓතිහාසික භූමිකාව වූ ‘මව’ සහ ‘ගෘහණිය’ නම් භූමිකාවෙන් බැහැරට විත් නව යුගයට ගැළපෙන තමාටම ආවේණික ස්වභාවයක් ගොඩ නගා ගෙන සිටිති. 21 වැනි සියවසේ කාන්තාව තමාට ආවේණික ජීවන ශෛලියක් ගොඩ නගා ගෙන සිටියි. ඓතිහාසික කාන්තාවට වඩා පෙනුමින්, ඇඳුමින් සහ ක්‍රියාකාරීත්වයෙන් බොහෝ වෙනස්ය. ලෝකයේ වෙනත් ජීවීන් පරිණාමය වනවා හා සමානවම කාන්තාව ද නව, සදා වෙනස්වන පරිසරයට අනුගත විය හැකි අන්දමින් දිනෙන් දින පරිණාමය වෙමින් සිටියි. ඉතිහාසයෙන් තමාට ආවේණික වූ ජීවිතයෙන් බැහැරව තමා වෙනුවෙන් පවතින බොහෝ ඉලක්ක සහ අවස්ථා කරා ගමන් කරමින් සිටිනු දක්නට හැකිය. කාන්තා අයිතිවාසිකම් එතරම් දක්නට නොලැබෙන ඉරානය වැනි රටක ෂිරින් එබාඩි එහි ප්‍රථම විනිසුරුවරිය බවට පත්වීම වැනි උදාහරණ මේ සඳහා ඉදිරිපත් කළ හැකිය.
21 වැනි සියවස එළඹෙන විට ලෝකයේ ඇති වූ නවීකරණය, තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව ද කාන්තාවන්ට වඩාත් ඉදිරියට පැමිණීමට උපකාරී වූ බව පෙනෙන්නට තිබේ. බුද්ධිමත් වන්නට, ශක්තිමත් වන්නට සහ ස්වයංපෝෂී වන්නට ඔවුන්ට අත්වැල සැපයූයේ මේ තාක්ෂණික දියුණුවය. ඔවුහු විද්‍යාව, රජයේ ආයතන සහ දේශපාලනය කුළ සැලකිය යුතු වගකීම් සම්භාරයක් උසුලමින් සිටිති. උදාහරණයක් ලෙස මෑතක දී ඉන්දියාව විසින් සඳ මත ගොඩබස්වන ලද යානයේ වැඩි වගකීම් සම්භාරයක් උසුලා තිබුණේ කාන්තාවන්ය. එහි ‘රොකට් වුමන්’ නමින් හඳුන්වන විද්‍යාඥවරියක් ද සිටියි. පසුගිය සියවසට වඩා 21 වැනි සියවස තුළ කාන්තාවන්ගේ අදහස් හා යෝජනා වැඩි වැඩියෙන් පිරිමින් විසින් පිළිගන්නා තැනට පත්ව තිබේ. ලෝකය සමීකරණයක් නම් එහි එක් පැත්තක පිරිමින් ද අනෙක් පැත්තේ ඒ හා සමානවම කාන්තාවන් ද සිටිය යුතු යැයි පවසනු ලැබේ. නොඑසේ නම් එය කිසිදා සමීකරණයක් වන්නේ නැත.
19 සහ 20 වැනි සියවස් පිළිබඳ සලකා බැලුවහොත් ශ්‍රී ලංකාව ද ඇතුළුව ලෝකයේ ඇතැම් රටවල කාන්තාවන් ඇඳිය යුත්තේ සහ ආහාර ගත යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න පවා සීමා වී තිබුණු බව පෙනෙන්නට තිබේ. එයට බොහෝ විට හේතුව වූයේ ඔවුන් ආර්ථික වශයෙන් ස්වාධීන නොවීමය. කාන්තාවන් සැලකිය යුතු පමණින් රැකියාවන්වල නිරත වූව ද සම අයිතීන් දිනා ගැනීම සඳහා දැඩි අරගලයක යෙදෙන්නට සිදුවිය. නමුත් 21 වැනි සියවසට එළඹෙද්දී තත්ත්වය කෙමෙන් වෙනස් විය.
ලෝක දේශපාලනය පිළිබඳ සලකා බැලුවහොත් 20 වැසි සියවස තුළ රාජ්‍ය පාලනයට පත් වූ කාන්තාවෝ 41 ක් පමණ වෙති. 21 වැනි සියවසේ මේ වන විට වසර 23 ක් ගතව ඇති අතර ඒ කාලය තුළ පමණක් ලෝකයේ රටවල බලයට පත් වූ කාන්තාවන් ගණන 90 ක් පමණ වේ. 20 වැනි සියවසට වඩා 21 වැනි සියවස වන විට ලෝකය තුළ කාන්තා නියෝජනය කෙතරම් ප්‍රබලත්වයකට පත්ව ඇති ද යන්න අවබෝධ කර ගත හැකිය. 21 වැනි සියවස කාන්තාවන්ගේ සියවස යන්න කෙතරම් සත්‍යයක්දැයි මෙයින් පැහැදිලිය. කාන්තාවන් ආර්ථික වශයෙන් සර්ව සම්පූර්ණ වශයෙන් බලගැන්වී නැති තත්ත්වයක මේ සා දුරක් පැමිණීම සම්බන්ධව කාන්තාවන් සතුටු විය යුතුය. ‘තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි’ යන්න වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සැබෑවක් වෙමින් පවතින බව ඉඳුරාම පැවසිය හැකිය.
නිරංජන් චාමින්ද කරුණාතිලක