මේ ඡායාරූපයේ ඉන්න දරු දෙදෙනා ආදියා සහ අද්රියාල්. ඔවුන් දෙදෙනා නිවුන්නු. මේ නිවුන් දරුවන් දෙදෙනාගේ විශේෂත්වය වන්නේ ඔවුන් මෙලොවට බිහිවුණේම ලෝක වාර්තාවක් පිහිටුවාගෙන වීම යි. ඒ මව් කුස පිලිසිඳ ගැනීමෙන් පසු අඩුම කාලයකින් උපන් නිවුන් දරුවන් හැටියට යි.
සාමාන්‍යයෙන් දරුවකු බිහි වන්නේ පිලිසිඳගෙන සති 40 කට (මාස 10 කට පමණ) පසුව යි. නමුත් ආදියා සහ අද්රියාල් සති 22 ක, එනම් මාස පහමාරක පමණ කාලයකට පසු මව්කුසින් බිහි වී තිබුණා. නියමිත සති ගණනට වඩා සති 18 කට, එනම් මාස හතරහමාරකට අඩු කාලයකිනුයි ඔවුන් උපත ලබා තිබුණේ. එය සැබැවින්ම විශ්වාස කිරීමටත් අපහසු කාරණයක්.
සාමාන්‍යයෙන් මේ තරම් වේලාසනින් බිහි වන නොමේරූ දරුවන් ජීවත් කරවීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. වෛද්‍යවරුන් මෙම දරුවන්ගේ මව්පියන්ට පවසා තිබී ඇත්තේ ආදියා සහ අද්රියාල් සති 22 සම්පූර්ණ වීමට විනාඩි කිහිපයකට හෝ කලින් බිහි වුණානම් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරනු ඇති බවයි. ඒ එවැනි උත්සාහයක් දැරීම තේරුමක් නැති කටයුත්තක් බව වෛද්‍යවරුන් දන්නා නිසා යි. නියමිත කාලයට වඩා මෙතරම් වේලාසනින් උපදින දරුවන්ගේ අවයව ආදිය නිසි ආකාරයෙන් වර්ධනය වී නොපැවතීම නිසා විශාල ගැටලු මතුවන බවත් රහසක් නොවෙයි. කෙසේ හෝ වේවා, ආදියා සහ අද්රියාල් උපදින විට සති 22 පසු වී පැය දෙකක පමණ කාලයක් ගත වී තිබූ බව සඳහන්. ඒ නිසා වෛද්‍යවරුන්ට යම් බලාපොරොත්තුවක් තබා ගන්නට හැකියාව ලැබී තිබුණා.
මෙම අපූරු දරු දෙදෙනාගේ මව ෂකීනා රාජේන්ද්‍රම් වන අතර පියා කෙවින් නඩරාජා. ඔවුන් වාසය කරන්නේ කැනඩාවේ. මෙයට කලින් ද ෂකීනා එක් වතාවක් ගැබ් ගෙන තිබුණත් එවර ද දරු සුරතල් බැලීමට ඔවුන්ට වාසනාව හිමිව තිබුණේ නැහැ. ඒ නිසා මෙවර ඔවුන් මෙම දරුවන් ගැන විශාල බලාපොරොත්තු සිත් දරාගෙනයි සිටියේ. යම් හෙයකින් මෙවරත් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණා නම් එය ඔවුන් මානසික වශයෙන් විශාල ව්‍යාකූලත්වයකට පත් කිරීමට ඉඩ තිබුණා.
ෂකීනාට මුලින්ම ප්‍රසව වේදනා දැනෙන්නට පටන් ගනිද්දී ගත ව තිබුණේ සති 21 කුත් දින 5 ක් පමණයි. එම අවස්ථාවේ දරුවන් බිහි වුණා නම් ඔවුන් ජීවත් වීමට කිසිදු ඉඩක් නොමැති බව රෝහලේ වෛද්‍යවරුන් ෂකීනාට සහ කෙවින්ට පවසා තිබූ බව සඳහන්. සති 22 පිරෙන්නට විනාඩි කිහිපයකට හෝ කලින් දරු දෙදෙනා බිහිවුවහොත් ඔවුන් මිය යන්නට ඉඩ හරිනවා විනා වෙන කිසිවක් කිරීමට නොහැකි වනු ඇති බව පවසා තිබුණාලු. දරුවන් ජීවත් කරන්නට නොහැකි වනු ඇතැයි දැනගත් විට තමා නිදි නැතිව හඬමින් සිටි බව කෙවින් මාධ්‍ය සමග පවසා තිබුණා.
සති 21 කුත් දින 6 ක් ගත වෙද්දී ෂකීනාගෙන් රුධිර වහනයක් සිදුවන්නට පටන්ගෙන තිබුණා. ඒ දරුවන් බිහි වීමට ආසන්න වීමත් සමගයි. නමුත් ඇය පවසන්නේ තමා සියලු වේදනා දරා ගනිමින් වුව තවත් පැය කිහිපයක් දරු දෙදෙනා කුස තුළ රඳවාගෙන ඉන්නට වෙහෙස ගත් බවයි. දරුවන් උපත ලබා තිබුණේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි මවුන්ට් සිනායි රෝහලේ යි. එය මෙවැනි දරු උපත් සම්බන්ධයෙන් විශේෂ පහසුකම් සහිත රෝහලක් බව සඳහන්.
මේ වනවිට ආදියා සහ අද්රියාල් දෙදෙනාගේ වයස අවුරුද්දක්. ඔවුන් සිය පළමු උපන් දිනය පසුගිය දා සැමරුවා. මුල් දවස්වල යම් යම් සෞඛ්‍ය ගැටලුවලට ඔවුන් මුහුණ දී තිබුණත් මේ වනවිට හොඳ සුවයෙන් පසුවන බවයි ෂකීනා පවසන්නේ. සමහර අවස්ථාවල ඔවුන් මරණාසන්න තත්ත්වයට පවා පත් වූ බවත් ඇය පවසා තිබුණා. තවමත් ඔවුන් දෙදෙනා ගැන වෛද්‍යවරුන් දැඩි අවධානයෙන් පසුවන බවත් සඳහන්.
‘ඇය ඉන්නේ හරිම සතුටින්. දවසම හිනා වෙනවා’ ආදියා ගැන සඳහන් කරමින් ෂකීනා පවසා තිබුණා. අදි්රයාල් පසුගිය කාලයේ දෙවරක්ම රෝහල්ගත කිරීමට සිදුව තිබුණත් ඔහුත් ඉතා හොඳින් පසුවන බවයි ඇය පවසන්නේ.
ආදියා සහ අද්රියාල් විසින් පිහිටුවන ලද ගිනස් වාර්තාවට මෙයට පෙර හිමිකම් කියා තිබුණේ කීලී සහ කැමිබි්ර එවෝල්ට් නැමැති නිවුන් දරුවන් දෙදෙනෙක්. ඔවුන් බිහිවී තිබුණේ 2018 වසරේ. මේ දෙදෙනා නියමිත කාලයට වඩා දින 125 කට කලින් ඉපදී තිබුණා. ආදියා සහ අදි්රයාල් උපත ලබා තිබුණේ නියමිත කාලයට දින 126 කට කලිනු යි.
අඩුම කාලයකින් උපන් නිවුන් දරුවන් දෙදෙනා ආදියා සහ අදි්රයාල් වුවත් අඩුම කාලයකින් උපන් දරුවා යන වාර්තාවට හිමිකම් කියන්නේ කර්ටිස් සයි-කීත් මීන්ස් නැමැති දරුවෙක්. ඔහු ඉපිද තිබුණේ නියමිත කාලයට දින 132 කට කලින්. ඒ 2020 වසරේ යි.
නිහාල් පීරිස්