උමතු ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍යය එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ

උන්මත්තක ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීමේ තීරණාත්මක අවස්ථාව උදාවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.පලාත් පාලන මැතිවරණය කල් දැමීමේ හෝ නොපැවැත්වීමේ ආණ්ඩුව සිදු කරන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. “ජනතා පරමාධිපත්‍යය මංකොල්ලකෑමට ආණ්ඩුව විසින් ගනු ලබන නවතම නාඩගම කරලියට පැමිණ ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් වෙන් නොකිරීමට තීන්දු කිරීමෙනි. ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැත. 22වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා තවත් බියගුළු වෑයමක් ගෙන තිබේ. මැතිවරණය යනු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් වන අතර, එය උල්ලංඝනය කිරීමට කිසිවකුට බලයක් නැති බව අවධාරණය කළ යුතුය. මැතිවරණ කල් දැමීමේ ආදීනව පිළිබඳව කුප්‍රකට ඉතිහාසගත සිදුවීම් අප රටක් ලෙස අවස්ථා රැසකදී අත්දැක ඇති අතර නැවත ඒ කළු සිදුවීම් වීමට තිබෙන සියලු මාර්ග වසා දැමිය යුතුය. මැතිවරණය කල් දැමීම උදෙසා කුමණ්ත්‍රණ කරන සියලුදෙනාට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට සහ නීතිය ඉදිරියේ උපරිම දණුවම් ලබා දීමට අප නොපසුබටව කටයුතු කරන බව දන්වා සිටිමි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් ය.

කාලීන පුවත්