උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර 

vinivida

අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් කර, ගොවි බිම් තුළ ම අවතැන් කර, ණයකරුවන් බවට පත් කර, ගොවිතැනෙන් ඉවත් වන තත්ත්වයට අසරණ කර ඉන් අනතුරු ව ගොවියාට උරුමය නමින් සින්නක්කර ඉඩම් අයිතිය පමණක් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කරයි. එමගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කඩිනමින් එම ඉඩම් විකුණා දමන ගොවියකු නිර්මාණය කිරීමට ය. විකිණිය හැකි ඉඩම් වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත. මෙය ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීම සඳහා 2024 මාර්තු මස 4 වන දින ලබා ගත් කැබිනට් මණ්ඩල අනුමැතියෙන් ද තවදුරටත් තහවුරු වේ.

එය එසේ නොවන්නේ නම් ආණ්ඩුව කළ යුතු වන්නේ පරම අයිතිය සහිත සින්නක්කර ඔප්පු ලබා දීමට ප්‍රථමයෙන් කෘෂි රසායනික සමාගම්වල දරුණු ග්‍රහනයට ලක් කර ආර්ථික හා සමාජයීය පීඩනයන්ට ගොදුරු කර අවතැන් කර ඇති ගොවියා ඉන් මුදවා ගැනීම ය. නමුත් එවන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති ආණ්ඩුව ගොවිතැන මත පදනම් වූ ජල සුරක්ෂිතතාව හා ඵලදායීතාව වැඩි ම මහවැලි කලාපවලට අයත් ඉඩම් ගොවීන්ට ලබා දීම වෙනුවට මහ පරිමාණයෙන් බඩඉරිගු හා උක් වගාව සඳහා සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට ලබා දීම සිදු කරයි.

මේ නිසා අප අවධාරණය කරන්නේ පළමු ව කළ යුතු වන්නේ සමාගම්වල ලාභය සඳහා මෙහෙයවන කෘෂිකර්මාන්තයේ ගොදුරක් බවට පත් කර ගෙන සිටින ගොවියා ස්වෛරී ගොවියකු බවට පත් කිරීමට පියවර ගැනීම ය. එපමණක් නොව ගොවිතැන හා බැදුණු ජල අයිතිය, බීජ අයිතිය පමණක් නොව අස්වැන්න සමාගම් හා ව්‍යාපාරිකයන් විසින් කොල්ලකන යාන්ත්‍රණයෙන් ද ගොවියා නිදහස් කළ යුතු ය. මේ සියල්ලෙන් පසු ව ඉංග්‍රිසි ජාතික දාර්ශනිකයකු වන තෝමස් හොබ්ස් (1588 – 1679) සඳහන් කරන පරිදි ගොවීන්ට තම භූමියට ඇති අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ණ ස්වෛරී බලය ලබා දිය යුතු ය. ඒ තුළින් වගා කරන භෝග පිළිබඳ ව, වගා කරන කන්නය පිළිබඳ ව, ජලය ලබා ගැනීම පිළිබඳ ව පමණක් නොව අස්වැන්නේ මිල තීන්දු කිරීම හා පාරිභෝගිකයා වෙත ලබා දීම දක්වා සමස්ත සමාජයේ අදහස් මත සියල්ල තීරණය කිරීමේ බලය ගොවියා සතු විය යුතු ය. දැනට මේ සියල්ල තීන්දු කරන්නේ සමාගම් කිහිපයක් හා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසිනි. ඒ නිසා ගොවියා හා පාරිභෝගිකයා යන දෙපාර්ශවය ම දරුණු සූරාකෑමකට ලක් වේ. එය වැළැක්වීමට පරම අයිතිය සහිත සින්නක්කර ඔප්පුවකට වඩා පුලුල් ස්වෛරී බලයක් ගොවීන්ට ලබා දිය යුතු ය. මෙම බලය ගොවි ජනතාවට ලබා දිය යුතු බව අප තරයේ විශ්වාස කරන්නේ ඒ මත රටේ ආහාර ස්වෛරීභාවය ගොඩනැංවිය හැකි වන බව අවබෝධ කර ගෙන ඇති නිසා ය.

ඒ වෙනුවට නීති විරෝධී, ගොවියා රවටන, බල දේශපාලන අරමුණු මත පදනම් වූ “උරුමය” ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම නතර කළ යුතු ය. එය එසේ අප අවධාරණය කරන්නේ ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත් (1723 – 1790) සඳහන් කරන ආකාරයට ම සිවිල් ආණ්ඩු ඉඩම්වල ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති තාක් කල් සත්‍ය වශයෙන් ම සිදු වන්නේ දුප්පතුන්ට එරෙහි ව ධනවතුන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව අප ද ඉතා හොඳින් දන්නා නිසා ය.

ඉඩම යනු හුදු වාණිජ භාණ්ඩයක් පමණක් නොවේ. ඒ වටා ආහාර ස්වෛරීභාවය මෙන් ම සමාජ ආර්ථික තත්ත්වයන්  හා සංස්කෘතිය යන සියල්ල බැදී පවතී. 2002 වසරේ දී එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ජීන් ශිගලර් අවධාරණය කර ඇත්තේ භූමියට ඇති ප්‍රවේශය ලෝකයේ කුසගින්න තුරන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංගයක් වන බව ය. මේ අනුව ආහාර අයිතිය හා ඉඩම් අයිතිය එකිනෙක හා බැදී පවතින බව පෙනී යයි. ආහාර අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවකු වූ ඔලිවියා ද ශුටර් සඳහන් කරන්නේ මහ පරිමාණ ඉඩම් අත්පත් කර ගැනීම් නිසා ආහාර අයිතිය බිඳ වැටෙන බව ය.

ඉඩම් සම්පූර්ණයෙන් ම වෙළෙද භාණ්ඩයක් බවට පත් වූ පසුව මානව හිමිකම් ප්‍රවේශය, සමාජ, සංස්කෘතික හා ආධ්‍යාත්මික ප්‍රවේශය තවදුරටත් වලංගු නොවී යයි. එබැවින් ඉඩම ආර්ථික භාණ්ඩයක් පමණක් නොව ජනතාව ගේ අනන්‍යතාවය හා සංස්කෘතියේ මූලාශ්‍රයක් වන බව අප තේරුම් ගත යුතු ය. මෙම කිසිදු පදනමකින් තොර ව වාණිජ භාවිතය මත පමණක් පදනම් වූ “උරුමය” ඔප්පු ලබා දීමේ ක්‍රියාවලියට අප විරුද්ධ වන්නේ ඉඩම හා ගොවියා අතර පවතින සමස්ත බැදීම හා අනාගත පැවැත්ම  පිළිබඳ ව අවධානය යොමු කර නොමැති නිසා ය. මෙය නිවැරදි ව සමාජය අවබෝධ කර ගත යුතු ය.

ඉංග්‍රිසීන් ගේ ඉඩම් කොල්ලයට සමාන උරුමය ඔප්පුවල වෙනස් මුහුණුවර

බි්‍රතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති සමයේ දී මෙරට ඉඩම් ඉංග්‍රිසි ආණ්ඩුව සතු කර ගැනීම පනත් දෙකක් යටතේ සිදු කෙරින. ශ්‍රී ලාංකිකයන් ගේ බුක්තිය පෙන්විය නොහැකි ඉඩම් සියල්ල බි්‍රතාන්‍ය ආණ්ඩුව සතු කර ගැනීම 1940 අංක 12 දරන රජයේ ඉඩම් (බලෙන් අල්ලා ගැනීමේ) ආඥා පනත මගින් සිදු කෙරින. ඉන් පසු ව ගොවි ජනතාව ගේ හේන් වගා බිම් ඉංග්‍රිසි ආණ්ඩුව යටතට අත්පත් කර ගැනීම සඳහා 1897 අංක 1 දරන මුඩුබිම් ආඥා පනත ගෙන එන ලදී. මේ ආකාරයට පවරා ගත් ඉඩම් යුරෝපීය වැවිලි කරුවන්ට හා දේශීය ධනපතින්ට ලබා දීම සිදු කෙරින. මේ ඉඩම් ඔවුන් විසින් කෝපි, තේ, රබර් වැනි වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමට යොදා ගත්තේ ය. මේ හේතුවෙන් රටේ ආහාර නිෂ්පාදනය බිඳ වැටීමට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1919 වසර වන විට මෙරට විශාල ආහාර අර්බුදයක් නිර්මාණය වූහ. ඒ සඳහා විසදුම් ලබා දීමට 1927 වසරේ දී මෙරට පළමු ඉඩම් කොමිෂන් සභාව පත් කෙරින. එහි අරමුණ වූයේ ඵලදායී ඉඩම් ප්‍රතිපත්තියක් සඳහා ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීම ය. ඒ අනුව 1927 වසරේ දී කොමිෂන් සභා වාර්තාව ආණ්ඩුවට ඉදිරිපත් කෙරින. 1931 දී පිහිට වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධූරය ඩී. එස්. සේනානායක මහතාට හිමි වූ අතර ඉඩම් කොමිෂන් සභා වාර්තාවට අනුව ඉඩම් නීති සැකසීම හා ගොවි ජනපද පිහිටුවීම ආරම්භ කළේය. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව මගින් 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත නීති ගත කර ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. අරමුණු කිහිපයක් යටතේ මෙම පනත ක්‍රියාත්මක විය. එනම් ඉඩම් හිමි ගොවි පන්තියක් බිහි කිරීම, කෘෂිකර්මය නගා සිටුවීම, ඉඩම් මැන සැලැසුම් කිරීම හා ඉඩම් සංවර්ධනය කිරීම යි. මේ අනුව ගොවි පන්තිය, විවාහක අඩු ආදායම් ලාභීන්ට, වැඩි ආදායම් ලාභීන්ට හා උගත් තරුණයන්ට ඉඩම් ලබා දීම සිදු කෙරින.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් ලබා දීම ඉඩම් සංවර්ධන ආඥා පනතෙන් සිදු කරන අතර තුර පදිංචියට, වෙළෙද ව්‍යාපාර පවත්වාගෙන යාම, කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ප්‍රදාන පත්‍ර මත හෝ බලපත්‍ර මත ඉඩම් පැවරීම සඳහා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත නීති ගත කෙරින. පනතේ 2 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට මෙන් ම ඉඩම් විෂය භාර අමාත්‍යවරයාට හා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට ඉඩම් පැවරීමේ බලය ඇත. රජයේ ඉඩම් ආඥා පනතේ 112 වන වගන්තියට අනුව මෙම පනතේ විධි විධාන අදාළ නොවන ආඥා පනත් තුනක් ලෙස කැලෑ ආඥා පනත (වන සංරක්ෂණ ආඥා පනත), වාරිමාර්ග ආඥා පනත හා ඉඩම් සංවර්ධන ආඥා පනත නම් කර ඇත.

උරුමය ඔප්පු ලබා දීම නීති විරෝධී වන්නේ ඇයි ?

ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(2) උප වගන්තියට අනුව අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ගොවි ජනතාවට කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් ලබා දීම සිදු කර තිබේ, එහි දී ප්‍රදාන පත්‍ර ලෙස ස්වර්ණභූමි, ජයභූමි, රන්භූමි වශයෙන් ඔප්පු ලබා දීම සිදු කර ඇත. උරුමය වැඩසටහන මගින් සිදු කරන්නේ මෙම අවසර පත්‍ර හා දීමනා පත්‍ර වෙනුවට රජයේ ඉඩම් ආඥා පනතේ 2 වන වගන්තියට අනුව නිදහස් ප්‍රදාන පත්‍රයක් සකස් කර දීම ය. නමුත් ආණ්ඩුව විසින් මෙය සඳහන් කරන්නේ පරම අයිතිය සහිත සින්නක්කර ඔප්පුවක් ලබා දෙන බව ය. මේ මගින් සිදු කර ඇත්තේ ගොවි ජනතාව මුලා කිරීමකි.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් ඉඩම්වලට රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිදහස් ප්‍රදාන පත්‍රයක් හෝ පරම අයිතිය සහිත සින්නක්කර ඔප්පුවක් හෝ ලබා දීමට නෛතික පදනමක් නොමැත. රජයේ ඉඩම් ආඥා පනතේ 112 වන වගන්තියට අනුව ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධි විධාන අතික්‍රමණය කිරීමේ බලයක් රජයේ ඉඩම් ආඥා පනතට නොමැත. එසේ තිබිය දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් අවසර පත්‍රයක් සඳහා නිදහස් දීමනා පත්‍රයක් නිකුත් කිරීමේ බලයක් රජයේ ඉඩම් ආඥා පනතට අනුව නොමැත. මේ මගින් සිදු කර ඇත්තේ ජනතාව මුලා කිරීමකි. එපමණක් නොව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ අණ පනත් හා ව්‍යවස්ථාදායකය හෑල්ලුවට ලක් කිරීමකි. මේ මගින් නීතියේ ආධිපත්‍ය බිඳ දමා ඇත.

රජයේ ඉඩම් ආඥා පනතේ 2 වන වගන්තියට අනුව රජයේ ඉඩම් ලබා දීම හා ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(2) උප වගන්තියට අනුව රජයේ ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමේ බලයක් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට නොමැත. එය සිදු කළ යුතු වන්නේ පනත් සංශෝධනයකින් හෝ අලුතින් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පමණි. ඒ වෙනුවට ඉඩම් කොමසාරිස් ජනරාල් කේ. ඩී. බන්ධුල ජයසිංහ විසින් 2023 දෙසැම්බර් මස 21 වන දින අංක 2023/01 දරන චක්‍රලේඛය මගින් සිදු කර ඇත්තේ නීති විරෝධී බල අතික්‍රමණයකි. නැතහොත් වැරදි ලෙස බලය භාවිත කිරීමකි. නෛතික බලයක් නොමැති ක්‍රියාවලියක් මගින් ලබා දෙන ඔප්පුවල වලංගුභාවයක් නොමැත. මේ නිසා මෙම ඔප්පු අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි ය. ඒ මගින් සිදු වන්නේ ගොවි ජනතාව මුලාවට ලක් කිරීමකි. මේ අනුව පෙනී යන්නේ සින්නක්කර, පරම අයිතිය සහිත ඔප්පු ලබා දෙන බව සඳහන් කරමින් නීති විරෝධී ක්‍රියාවක ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව නිරත වන බව ය. මේ ආකාරයෙන් පටු දේශපාලන අරමුණු මත ගොවි ජනතාව මුලා කිරීමට ඉඩ දිය යුතු නැත.

එපමණක් නොව රජයේ ඉඩම් ආඥා පනතේ 2 වන වගන්තියට අනුව ලබා දිය හැකි වන්නේ නිදහස් ප්‍රදාන පත්‍රයකි. එය සින්නක්කර ඔප්පුවක් ලෙස හෝ පරම අයිතිය සහිත ඔප්පුවක් ලෙස හැදින්විය නොහැකි ය. මීට අමතර ව ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දී ඇති අවසර පත්‍ර හා දීමනා පත්‍රවල පසු අයිතිය සඳහන් කර තිබිය දී නිදහස් දීමනා පත්‍ර ක්‍රියාවලිය මගින් එය සම්පූර්ණයෙන් ම අහෝසි වී යාම සිදු වේ. ඒ මගින් සිදු කර ඇත්තේ එක් නීතියක් මගින් තවත් නීතියක් අභියෝගයට ලක් කිරීමකි. මේ ආකාරයෙන් නීති සම්පාදනය කළ නිලධාරීන්ට එරෙහි ව ගොවි ජනතාව ක්‍රියාත්මක විය යුතු ය. එපමණක් නොව ගොවි ජනතාව තවදුරටත් මුලා කිරීමට ඉඩ දිය යුතු නැත.

විකිණිය හැකි ඔප්පු මගින් ගොවි ජනතාව අසරණ කිරීම

ගොවි ජනතාව විසින් ලබා ගෙන ඇති අවසර පත්‍ර සහ දීමනා පත්‍රවලින් වැඩි කොටසක් ඇත්තේ බීජ හා පොහොර ව්‍යාපාරිකයන් (මුදලාලිලා)  සතු ව ය. ආර්ථික වශයෙන් අසරණ වී ඇති ගොවියා වගා කටයුතු සඳහා බීජ හා පොහොර ලබා ගැනීමට මෙම දීමනා පත්‍ර උකසට තබා ඇත. එපමණක් නොව බොහෝ දීමනා පත්‍ර හා අවසර පත්‍ර ඇපයට තබා බැංකුවලින් ණය ලබා ගෙන ඇත. නමුත් නැවත ණය මුදල් ගෙවා මේවා ව්‍යාපාරිකයන්ගෙන් හා බැංකු වලින් නිදහස් කර ගත නොහැකි වී ඇති නමුත් ඒවා ඔවුන් සතු නොවී පදිංචි ඉඩම් හා ගොවි බිම් ආරක්ෂා වී ඇත්තේ එම අවසර පත්‍ර හා දීමනා පත්‍ර අන්සතු කළ නොහැකි නිසා ය. එපමණක් නොව අවසන් භාරකාරත්වය රජය සතු වන නිසා ය. පරම අයිතිය හෝ සින්නක්කර අයිතිය ලැබුණු පසු ව ඒවා සියල්ල ම ගොවීන්ට අහිමි වී ව්‍යාපාරිකයන් හෝ බැංකු සතු වනු ඇත. මෙම දීමනා පත්‍ර හා අවසර පත්‍ර උකසට හෝ ඇපයට තබා ගෙන සිටින පුද්ගලයන්ට ද ඔප්පු ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි ය. එම අවස්ථාවල දී බේරුම්කරණය පිළිබඳ ව හෝ අභියාචනා කැඳවීමේ ක්‍රියාවලියක් පිළිබඳ ව මෙම චක්‍රලේඛවල සඳහන් නොවේ. එපමණක් නොව පරම අයිතිය සහිත ඔප්පු ලැබුණු පසු තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට දරිද්‍රතාවය මත ගොවීන් තීන්දු තීරණ ගැනීමේ දී පවුල් තුළ ප්‍රශ්න බොහොමයක් උද්ගත විය හැකි ය. එපමණක් නොව අවසර පත්‍රවල හා දීමනා පත්‍රවල පසු අයිතිය සඳහන් වූව ද පරම අයිතිය සහිත ඔප්පු ලැබුණු පසු තම අභිමතය පරිදි කටයුතු කළ හැකි බැවින් පවුල් අතර ගැටුම් ඇති වන ආකාරයෙන් තීන්දු ගැනීම හේතුවෙන් සමාජයීය ප්‍රශ්න බොහොමයක් ගොවි ජනපද තුළ වර්ධනය විය හැකි ය. මෙම චක්‍රලේඛ නිකුත් කිරීමට ප්‍රථමයෙන් නෛතික තත්ත්වය පිළිබඳ ව මෙන් ම ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ ව ද සලකා බලා නොමැති බව මේ අනුව පෙනී යයි.

උරුමය ඔප්පු වනාන්තරවල පැවැත්මට ඇති කරන බලපෑම

වත්මන් ආණ්ඩුව අපේක්ෂා කරන ලෙස ම පරම අයිතිය සහිත ඔප්පු ලබා ගන්නා ගොවි ජනතාව ඔවුන් පත් ව ඇති දරිද්‍රතාවය මත එම ඔප්පු ව්‍යාපාරිකයන්ට හෝ සමාගම්වලට විකිණීම හේතුවෙන් ගොවීන්ට වගා කිරීමට ඇති ඉඩම් අහිමි වී යයි. එවිට ඔවුන්ට ජීවත් වීම සඳහා සිදු වන්නේ සමාගම්වල ගොවි කම්කරුවකු බවට පත් වීම හෝ අලුතින් රජයට අයත් ඉඩම් අල්ලාගෙන වගා කටයුතු සිදු කිරීමට ය. එහි දී පහසුවෙන් ගොදුරු වන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් ය. ඒවා බොහොමයක් ජල පෝෂක ප්‍රදේශ හෝ අලි – ඇතුන් ගේ වාසස්ථාන වේ. ඒවා එළිපෙහෙළි කර ඉඩම් අහිමි ගොවි ජනතාව විසින් වගා කටයුතු සඳහා යොදා ගැනීමෙන් ජල අර්බුද ඇතුළු කෘෂිකාර්මික ගැටළු බොහොමයක් වර්ධනය විය හැකි ය. එය මෙරට ආහාර ස්වෛරීභාවයට ද බලපෑම් ඇති කරයි.

බි්‍රතාන්‍ය පාලන සමයේ දී රජයේ ඉඩම් (බලෙන් අල්ලා ගැනීමේ) ආඥා පනත මගින් හා මුඩු බිම් ආඥා පනත මගින් ගොවීන් ගේ ඉඩම් සමාගම්වලට හා දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දීම හේතුවෙන් 1919 වසරේ දී ඇති වූ ආහාර අර්බුදය මෙන් කිහිපගුණයක ආහාර අර්බුදයකට මෙන් ම දරිද්‍රතාව වර්ධනය වීම හා මන්දපෝෂණය වැඩි වීම ඇතුළු ගැටළු ගණනාවක් ඉදිරියේ දී මෙම උරුමය ඔප්පු ලබා දීමේ වැඩසටහන තුළින් සිදු විය හැකි ය. බලය ලබා ගැනීමේ පටු දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පමණක් නොව ඉඩම් කොමසාරිස් ජනරාල් කේ. ඩී. බන්ධුල ජයසිංහ යන සියලු දෙනා ම මෙම නීති විරෝධී ක්‍රියාවලියට මෙන් ම ඒ මත පදනම් වූ සියලු සමාජ, ආර්ථික හා පාරිසරික ගැටළුවලට වගකිව යුතු ය.

උරුමය ඔප්පු ලබා දෙන අතර අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීමේ ආණ්ඩුවේ අරමුණ

ගොවි ජනතාවට විකිණිය හැකි පරම අයිතිය සහිත ඔප්පු ප්‍රදානය කිරීම මගින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ විකිණිය හැකි රජයේ ඉඩම් ප්‍රමාණය වර්ධනය කිරීම හා ගොවි ජනතාව පීඩාවට ලක් කිරීම මගින් ඉඩම් විකිණීම සඳහා ඔවුන් පෙළැඹවීම ය. ඒ මගින් වාණිජ කෘෂිකාර්මික හා වෙනත් ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ගොවීන් සතු ඉඩම් අත්පත් කර ගැනීම පහසු කිරීම ය. එවිට අවුරා ලංකා හර්බල් සමාගමට කෝමාරිකා වගා කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 104066 ක් ලබා ගැනීම, සිංගප්පූරුවේ ගැසෙල්වෙන්චස් සමාගමට උක් වගා කිරීම සඳහා මොනරාගල, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්ක තුනෙන් අක්කර 65000 ක් ලබා ගැනීම, පමණක් නොව වවුනියාව දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 72000 ක් උක් වගා කිරීම සඳහා තායිලන්තයේ සුටෙක් ඉංජිනියරින් පුද්ගලික සමාගමට ලබා ගැනීම පහසු වේ.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ නිදහස් වෙළෙදපොළ තුළ සංසරණය වන ඉඩම් වෙළෙදපොළක් ඇති කිරීම ය. නමුත් ඒ සඳහා මතවාද සකස් කරන්නේ ගොවි ජනතාවට පරම අයිතිය සහිත සින්නක්කර ඔප්පුවක හිමිකම සහතික කිරීම මගින් ගොවි ජනතාව ගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම සිදු කරන බව ය. නමුත් අභ්‍යන්තර සැලැසුම ඊට හාත්පසින් ම වෙනස් ය.

එය අලි – මිනිස් ගැටුම පිළිබඳ ව ආණ්ඩුව හා රාජ්‍ය ආයතන විසින් පසුගිය කාලයේ ජන ගත කළ මතවාදය හා සමාන ය. ලංකාවේ අලි – ඇතුන් වැඩි බවත් එම සතුන් ගේ ගහනය වර්ධනය වීම නිසා අලි – මිනිස් ගැටුම සිදු වන බවත් සඳහන් කරමින් අලි – ඇතුන් ඝාතනය කිරීමට ජනතාව පෙළැඹවීය. ඒ අතර අලි – ඇතුන් ඝාතනය වැළැක්වීමට රාජ්‍ය ආයතනවල මැදිහත් වීම අවම කෙරින. මේ නිසා පසුගිය වසරේ දී අලි – ඇතුන් 483 ක් පමණ ඝාතනය විය. මෙය ඉතිහාසයේ වැඩි ම අලි මරණ ප්‍රමාණය වේ. 2011 වසරේ දී අවසන් වරට සිදු කළ අලි සංගණනයේ දී අලි – ඇතුන් 5879 පමණ ජීවත් වන බව හඳුනා ගත් අතර ඉන් පසුව අද දක්වා ගෙවී ගිය වසර 12 තුළ දී අලි – ඇතුන් 4017 ක් පමණ මිය ගොස් තිබේ. මේ අනුව අලි ගහනය වර්ධනය වී ඇති බව සඳහන් කිරීම සම්පූර්ණ අසත්‍යයකි.

මෙයින් රජය බලාපොරොත්තු වන්නේ වියළි කලාපයේ අලි – ඇතුන්ගෙන් තොර වනාන්තර ප්‍රදේශ නිර්මාණය කර එම සමස්ත රජයේ ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට ආයෝජන සඳහා ලබා දීම පහසු කිරීම ය. මේ නිසා උරුමය ඔප්පු ලබා දීම හා අලි – ඇතුන් ඝාතනය කිරීමට ඉඩහසර විවර කිරීම එක ම කාසියේ දෙපැත්ත ලෙස හැදින්විය හැකි ය.

මේ නිසා බලයට පත් වන ආණ්ඩු විසින් අභිමත පරිදි ඉඩම් පිළිබඳ ව තීන්දු තීරණ ගන්නා ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම නතර කිරීමට බලපෑම් සඳහා ජනතාව මූලිකත්වය ගත යුතු ය. 1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ දෙවන පරිශිෂ්ටය සඳහන් පරිදි “ජාතික ඉඩම් කොමිෂන් සභාවක්” පිහිටුවා රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධ “ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්” සකස් කර ඒ මත තීන්දු තීරණ ගන්නා යාන්ත්‍රණයක් ඇති කළ යුතු ය. 1927 වසරේ පළමු ඉඩම් කොමිෂමෙන් පසු ව 1956 හා 1985 වසරවල ඉඩම් කොමිෂන් සභා පිහිටුවා ඇති නමුත් අද දක්වා වසර 39 ක් තුළ ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවා නොමැත.

මේ නිසා වත්මන් ආණ්ඩුවේ අන්තනෝමතික ඉඩම් පිළිබඳ තීන්දු ගැනීමේ යාන්ත්‍රණය නතර කර, ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ඉඩම් ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවට මහජන අදහස් මත ඉඩම් පිළිබඳ ව තීරණ ගන්නා ව්‍යුහයක් ඇති කළ යුතු ය. එසේ නොමැති වුවහොත් රටේ ජනතාව මෙන් ම සියලු ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ දීම නුදුරු අනාගතයේ ම සිදු වනු ඇත.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

හරිත දනව්ව