ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි’ යනුවෙන් සඳහන් බස් රථ ආදිය අපි කොතෙකුත් දකින්නෙමු. ඊට අමතරව ‘කළුතර බෝ සමිඳු පිහිටයි’ ‘ගැටඹේ බෝ සමිඳු පිහිටයි’ ‘මාතර බෝ සමිඳු පිහිටයි’ ආදී වශයෙන් සඳහන් එවැනි වාහන ද යම් ප්‍රමාණයක් මඟ තොට දක්නට ලැබේ. එහෙත්, මෙලෙස යම් යම් පුද්ගලයන් තුළ එක් එක් බෝධි වෘක්ෂය පිළිබඳව වෙන් වෙන් වශයෙන් භක්ත්‍යාදරයක් හට ගැනීමට හේතුව කුමක්ද? ඒ පිළිබඳ අපගේ පෞද්ගලික වැටහීම අනුව ඊට හේතුව ඒ සම්බන්ධ නිවැරදි ධර්මානුකූල විවරණයක් පොදු සමාජය වෙත සම්පේ්්‍රෂණය කිරීමට නූතන ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව අසමත් වීම ය.
සමස්ත ලෝක වාසී බෞද්ධයන් ගේම අති උත්තරීතර පරමාදර්ශය ‘බෝධි’ යන්න ය.අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලොව පවත්නා සනාතන ධර්මතාවයන් පිළිබඳ පරම හා උත්තරීතර අවබෝධයන් සහ එම ලෝක තත්වයන් අතික්‍රමණය කළ හැකි පටිච්ච සමුප්පාද,චතුරාර්ය සත්‍යය ආර්යාශ්ටාංගික මාර්ගය ආදී මිනිස් ප්‍රඥාවේ උපරිම තලය මත ස්ථාපිත වන විධි ක්‍රමයන් ‘බෝධි’ ලෙස නම් කෙරේ. අපගේ ජන සංස්කෘතියට අනුව තුන්තරා බෝධියක් පිළිබඳව ද සඳහන් ය. එනම් සම්මා සම්බෝධි,පච්චේක බෝධි සහ අරහත්ත බෝධි යනුවෙනි.
බෝධි යන වදන පාලි භාෂාවේ මෙන්ම සංස්කෘත භාෂාවේ ද එලෙසින්ම යෙදෙන්නකි. සංස්කෘත ඉංග්‍රීසි ශබ්ද කෝෂයන් හි බෝධි යන්නට අර්ථ දක්වා ඇත්තේ ‘ප්‍රබුද්ධත්වය’ ‘බුද්ධත්වය’ ආදී වශයෙනි. මහායාන බුදු සමයට අනුව ද ‘බෝධි’ යන්න සම්බුද්ධත්වය අඟවන වදනකි. එවන් වෘක්ෂයක් පිළිබඳ කිසිදු සඳහනක් මහායානයේ නැත.
නමුත්,මේ සියලු තත්වයන් යටතේ අද වන විට ශ්‍රී ලාංකේය ජනප්‍රිය බුද්ධාගම තුළ ‘බෝධි’ යන වදන හුදු වෘක්ෂ වාචික පදයක් බවට පත්ව තිබේ. අප රටේ බෞද්ධ ජනගහනයෙන් සියයට අනූවකටත් වැඩි පිරිසක් ‘බෝධි’ යන්නෙන් අදහස් කරනුයේ බෝසතුන් බුද්ධත්වය සඳහා පිටදුන් වෘක්ෂය පමණි. මෙය අතිශය බරපතල ධර්ම ශාස්ත්‍රීය විපරීතයකි; අවභාවිතයකි.එක් එක් බෝධියේ එක් එක් හාස්කම් ඇතැයි සිතන මට්ටමට බොදු ජන මනැස බංකොලොත් වී ඇත්තේ මෙම විඅරීතය නිසාමය.
මූලික බුදු දහමෙහි සත්තිස් බෝධි පාර්ශවික ධර්ම නම් වන ධර්ම ඛාණ්ඩයක් දැක්වෙයි. නිර්වාණාවබෝධය පිණිස සපුරාලිය යුතු ධර්ම කරුණු තිස් හතක් එහි සඳහන්ව තිබේ. එය මුළුමනින්ම විදර්ශනා මාර්ගයට අයත් වූවකි. මේ අතර බුද්ධාදී මහෝත්තමයන් ඒ උත්තරීතර තත්වයට පිවිසීමට ඉවහල් කර ගත් සප්ත බෝධි අංග, බෝධ්‍යංග හෙවත් බොජ්ජංග හතක් හෙවත් සප්ත බෝජ්ජංගයක් පිළිබඳව දහමේ කරුණු දැක්වෙයි. එහෙත්,එහි අප ශ්‍රී ලාංකේය ජන සමාජයේ ‘බෝධි’ යනුවෙන් හැඳින්වෙන වෘක්ෂය පිළිබඳව වගේ වගක් නැත.
බෝසතුන් බුද්ධත්වයට පත් වීමේ දී පිට දුන් අශ්වත්ථ, අස්සත්ථ (සිංහලෙන් ඇසතු) නම් වෘක්ෂය ද පසු කලෙක බෝධි යන නමින් හැඳින්වුණු බව පැහැදිලි ය. සූත්‍ර පිටකයට අයත් බුද්දක නිකායේ උදාන පාලියේ බෝධි සූත්‍ර ආදියේ ‘බෝධි රුක්ඛ මූල’ යන වදන සඳහන් වෙයි. එමෙන්ම අපදාන පාලියේ පංච දීපිකා ථේරි අපදානයේ එම තෙරණිය බෝධි මූලයක සිට බුද්ධානුස්සතිය වැඩූ බව දැක්වෙයි. ඒ අයුරින් බුද්ධත්වය හෙවත් සම්මා සම්බෝධිය සංකේතනය කිරීම පිණිස පසුකාලීනව භාවිතයට ගැනුණු බෝධි වෘක්ෂ සංකල්පය මුල් කොට පුද පූජා චාරිත්‍ර සම්ප්‍රදායන් ගොඩනැගීම සම්බන්ධ ප්‍රධානතම මූලාශ්‍රය වනුයේ පන්සිය පනස් ජාතකයේ 465 වන කාලිංග බෝධි ජාතකයයි.
එහි වර්තමාන කතාවේ සඳහන් අන්දමට බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටින සමයේ විවිධ උපාසක උපාසිකාවෝ විවිධ පූජා භාණ්ඩ ද රැගෙන බුදුන් බැහැදැකීමට පැමිණෙති. එහෙත්, එහි විශේෂත්වය නම් බුදුන් සඳහා වන පූජා භාණ්ඩ රැගෙන දෙව්රම් වෙහෙරට පැමිණි පිරිස් සම්බන්ධයෙන් වන තොරතුරු මූලික බුදු සමයට අයත් සූත්‍ර ධර්මයන් කිසිවක සඳහන් නොවීම ය. උවසු උවැසියන් එසේ පැමිණෙන අවස්ථාවන් හි බුදුන් දෙව්රම් වෙහෙරේ වැඩ නොසිටීම මත ඒ පූජා භාණ්ඩ වලට කළ යුතු දෙයක් නොමැති වූ පසුබිමක බුදු රදුන්ගේ උපස්ථායක ආනන්ද හිමියන් සහ අනේපිඬු සිටු තුමන් ඒ සම්බන්ධයෙන් බුදු හිමියන් ගෙන් උපදෙසක් පතා තිබේ.පසුව කොසොල් රජතුමා,අනේ පිඬු සිටු තුමා ආදීන් ගේ සහභාගීත්වයෙන් ආනන්ද බෝධි රෝපණයට මුල පිරී ඇත. බුදුන් බුද්ධත්වයට පත් බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධියෙන් අංකුරයක් මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙව්රම් වෙහෙර වෙත වැඩමවා ගෙනවුත් ආනන්ද හිමියන් ගේ උපදෙස් මත අනේපිඬු සිටු තුමා විසින් එය රෝපණය කළ බව කාලිංග බෝධි ජාතකයේ වර්තමාන කතාවේ දැක්වෙයි. එහි දී බුදුන් උදෙසා පුද පිළිවෙත් සිදු කළ හැකි ශාරීරික, පාරිභෝගික,උද්දේසික නම් චෛත්‍ය ස්ථාන තුනක් ඇති බවටත් උද්දේසික යනු බුද්ධ ප්‍රතිමා ආදිය බවටත් බුදුන් පැවසූ බව සඳහන් විස්තර මුළුමනින් කාලාවරෝධී ය. ඒ බුද්ධ ප්‍රතිමාවේ සම්භාවය බුද්ධ පරිනිර්වානයෙන් සියවස් පහකට පසුව මෙපිට දී ඇරඹුණු බව මේ වන විට සනාථ වී ඇති බැවිනි.
වර්තමාන ශ්‍රී ලාංකේය ජන සමාජයේ ව්‍යාප්ත වී ඇති ජනප්‍රිය බුද්ධාගමෙ න්‍යෂ්ටිය බවට පත්ව ඇති පුද පූජා වලට මූලික බුදු සමයේ කිසිදු වැදගත් තැනක් ලැබී නැත. ඒ වන විට ද භාරතීය ආගමික සම්ප්‍රදායන් තුළ ස්ථාපිත වී තිබූ ආමිස ප්‍රජාවන් හි නොවැදගත් බව නිතර හුවා දැක්වූ බුදු හිමියන් බුදු දහමට පමණක් සුවිශේෂී වූ නිරාමිස සංකල්පය හඳුන්වා දෙන ලද්දේ ඒ සඳහා එල්ල කරන දැවැන්ත ප්‍රතිරෝධයක් ලෙසිනි.ආමිසය යනු ආයුෂ, වර්ණය සැප, බල ස්වර්ගය යන මිනිසකුගේ මූලික අභිලාෂයන් මත පදනම් වන පුද පිළිවෙත් යාතු කර්ම වන අතර නිරාමිසය යනු බෞද්ධ ආර්ය මාර්ගයට ආවේණික අත හැරීම මත පදනම් වන ලෝභ, දෝෂ, මෝහ යන අකුසල මූලයන් ප්‍රහීණ කෙරෙන චිත්ත දමනය මුල් කරගත් ශික්ෂා මාර්ගයක් බව පැහැදිලි ය.ඒ අනුව ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්ථා ව්‍යුහය තුළ අද වන විට මස්තක ප්‍රාප්ත වී ඇති බෝධි පූජා ඇතුළු මෙකී නොකී අනේක විධ පුද පූජා විශේෂයන් මූලික බුදු සමයේ මුඛ්‍ය අරමුණු වලට මුලුමනින්ම පරිබාහිර බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය.
ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ මෙම බෝධි වන්දනාව මෙතරම් ප්‍රවර්ධනය වීමට හේතුව ඉන්දියාවේ රජ කළ ධර්මාශෝක අධිරාජ්‍යයා ගේ දියණිය වන සංඝමිත්තා රහත් මෙහෙණිය දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි කතා සාහිත්‍යය තුළට කාවැදී තිබීම ය. අපගේ වංශ කතා සම්ප්‍රදාය තුළ හැරුණු කොට අශෝක අධිරාජ්‍යයාට මහින්ද, මහේන්ද්‍ර හෝ මිහිඳු නමින් පුතකු හෝ සංඝමිත්තා නමින් දියණියක සිටි බවක් අන් කිසිදු මූලාශ්‍රයකින් තහවුරු නොවේ. එමෙන්ම සංඝමිත්තා රහත් මෙහෙණිය විසින් මෙරටට වැඩම කරන ලද දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ අංකුරය අනුරාධපුරයේ රෝපණය කිරීමේ සංසිද්ධියේ සිට මෙරට බෝධි වංශයක් ස්ථාපිත කිරීම දක්වා වන සියලු කරුණු අප රටේ රාජ්‍යත්වය හා සම්බන්ධ වීම මුල් කොට ලොව අන් කිසිදු බෞද්ධ රටක නොමැති “බෝධි වෘක්ෂ වන්දනාව”ක් අප සමාජය තුළ ව්‍යාප්ත වී තිබේ.
එහෙත්, ඉතා මෑතක් වන තුරුම බුදුන් ගේ ශාරීරික ධාතූන් තැන්පත් කොට ඇති බව සංකේතය කෙරෙන චෛත්‍යයට හෙවත් දා ගැබට දෙවැනිව තිබූ බෝධි වෘක්ෂය විස්මය ජනක ලෙසින් ශ්‍රී ලාංකේය ජනප්‍රිය බුද්ධාගම තුළ ප්‍රමුඛස්ථානයට පත් වීම හැත්තෑව දශකයේ අගභාගයේ ඉතා ආකස්මික ලෙස සිදු වූවකි.
ශ්‍රී ලාංකේය ජනප්‍රිය බුද්ධාගම තුළ කූටප්‍රාප්ත වූ නව බෝධි පූජා සංකල්ප හා සෘජුව බැඳුණු යතිවර නාමයක් වේ. ඒ පානදුරේ අරියධම්ම යන්න ය. හැත්තෑව දශකයේ අග භාගයේ සිට සරල හා මනෝහර පද්‍යාවලියක් මගින් සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේම සිත් සතන් මන මෝහනය කළ අරියධම්ම හිමියන් ගේ එම හැකියාව උන්වහන්සේ ගේ ධර්ම විනය පිළිබඳ දැනුමට වඩා මධුර ස්වරය හා කාව්‍ය ගායනා හැකියාව මත පදනම් වූ බව පෙනෙයි. නමුදු ආකෘතිමය වශයෙන් විමසා බලන විට හුදෙක් පුද පිළිවෙතකට වඩා ලෞකික අභිමථාර්ථ ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා වන ශාන්තිකර්ම ස්වරූපයක් ගත් ඒ හිමියන් ගේ බෝධි පූජා තුළ හුදෙක් භක්තිවාදී ස්වරූපය ඉක්මවන සදාචාරාත්මක හෝ දාර්ශනික පදනමක් වීද යන්න ධර්ම ශාස්ත්‍රීය වශයෙන් වෙනම විමසා බැලිය යුත්තකි.
පුන් සඳ මෙන් කඳු මුදුනේ දිස් දෙන
රන්වන් සිවුරක් පොරවා රැස්දෙන
තුන් ලොවටම මෙත් කරුණා වස්සන
අන්න බලන් බුදු සමිඳුගෙ ලස්සන ආදී කවි ඒ සඳහා වන කදිම නිදසුන් ය.
සම්මා සම්බුදු සමිඳුගෙ මූණේ
ලස්සන වෙන කිසි මලෙකත් නෑනේ
ආදී වශයෙන් වන අතිශය බොළඳ කාව්‍ය රචනා ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පුද පූජා අතරට එක් කළ අරියධම්ම හිමියන් ගේ බෝධි පූජා කවිවල
මේ මළුවට යනවා එනවා
බෝ මුල් බෝ පත් මට පෑගෙනවා
සමාව දී මගෙ පව් අරවනවා
බෝ රදුනේ මට අවසර දෙනවා
ආදී වශයෙන් මූලික බුදු ඉගැන්වීම් වලය ඉඳුරාම පරිබාහිර වූ ජීවාත්මවාදී යුගයේ සිට පැවැතෙන අති පෞරාණික වෘක්ෂ වන්දනාවක් දෙසට බෞද්ධ ජන විඥානය යොමු කිරීම කෙසේවත් සුළු පටු කොට තැකිය නොහැක. “එමෙන්ම අරහං බුදු ගුණෙන් මගේ ඉරුගෙ අපල දුරුවේවා’ නම් වන නවග්‍රහ ශාන්ති කවි ද මූලික බුදු සමය මුළුමනින් ප්‍රතික්‍ෂේප කොට තනා ගත් අබෞද්ධ ශාන්ති කර්ම වලට ඥාතීත්වයක් සහිත ප්‍රබන්ධ බව පෙනේ.
අපගේ විමසුම් අනුව පානදුරේ අරියධම්ම හිමියන් ගේ මෙම බෝධි පූජා මාලාව සමාජය තුළ ශීඝ්‍ර ව්‍යාප්තියකට පත් වනුයේ හුදෙක් එෛහලෞකීයකරණය මස්තකප්‍රාප්ත කළ හා පරිභෝජන වාදය මුවහත් කළ විවෘත ආර්ථික ක්‍රමයට සමගාමීව ය. ලෙඩ රෝග සුවකර ගැනීම වැනි මූලික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමේ සිට විභාග, නඩුහබ ජය, ඉඩම් දේපල, රථවාහන ආදී උපභෝග පරිභෝග සම්පත් තමන් වටා ඒකරාශී කර ගැනීම් සඳහා වන ගුප්ත උපාය මාර්ගයක් ලෙස මෙම නව බෝධි පූජා සම්ප්‍රදාය හඳුනා ගත් ශ්‍රී ලාංකේය
මධ්‍යම පාන්තිකයෝ එම නවතම පූජා විධි ක්‍රමය වටා රොද බැඳ ගත්හ.
හුදෙක් ඒකාකාරී ස්වරූපයකින් යුතු අරියධම්ම හිමියන් ගේ බෝධි පුජා සම්ප්‍රදාය කිසිදු නවීකරණයකට, යාවත් කාලීන වීමට බඳුන් නොවීම මුල් කොට එහි ජනප්‍රියත්වය කෙමෙන් හීන වෙමින් පැවතීම මත ඒ හිමියෝ නිල්ලඹේ ප්‍රදේශයට වැඩම කොට සිටිය දී හටගත් හදිසි රෝගාබාධයක් මත 1986 වසරේ මැයි 27 දා පේරාදෙණිය මහ රෝහලේ දී අපවත් වූහ. උන්වහන්සේ අපවත් වන විට වයස අවුරුදු හතලිස් හයක් වූ අතර බෝධි පූජා වල රෝග පීඩා සුව කිරීමේ විස්මිත බලයක් ඇති බවට ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තුළ පරම විශ්වාසයක් ජනිත කළ උන්වහන්සේ එතරම් අඩු ආයු ප්‍රමාණයක් භුක්ති විඳ අපවත් වීම පිළිබඳ කිසිදු සමාජ විචාරයක් එල්ල නොවිණි. නමුදු අරියධම්ම හිමියන්ගේ අපවත් වීමෙන් ගත වූ තිස් හය වසර තෙක් උන්වහන්සේ ගේ රුව සහිත බෝධි පූජා කවි නම් වන කුඩා ප්‍රස්තිකා මිලියන ගණනක් අලෙවි වී තිබීම ඒ හිමියන් ගෙන් ශ්‍රී ලාංකේය ජන සමාජයට එල්ල වූ බලපෑම තවමත් එලෙසම පවතින බවට කදිම සාධකයකි.ඒ අදටත් “බෝධි පූජාව” යන්න ශ්‍රී ලාංකේය ජනප්‍රිය බුද්ධාගමේ කේන්ද්‍රීය සාධකය බවට පත් කරමිනි.අප රටේ වර්තමාන බෝධි පූජා සංස්කෘතිය කෙතරම් විෂම හා සංකීර්ණ බවකට පත්ව තිබේද? යත් බොහෝ දෙනකු නොදන්නා පසුබිමක එයට භාරතීය හින්දු ආගමික පුද පූජා විශේෂයක සෘජු ආභාෂය ලැබී තිබේ. බෞද්ධයන් ගේ සතර පොහොයට පින් දහම් කිරීමේ සංකල්පය බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දවස් දක්වා විපරිනාමය වූයේ එම සංස්කෘතික විපරිනාමය මගිනි.
හින්දු ආගමික සංස්කෘතික ධාරාව තුළ ඉහත සඳහන් ඇසතු වෘක්ෂයට ‘බෝධි වෘක්ෂ යන නම හිමි කොට තිබේ.නමුදු ඒ ජන සම්මතය අනුව මිස ආධ්‍යාත්මික අරුතකින් නොවේ.හින්දු ආගමික සම්ප්‍රදායට අනුව පීපල් සහ වාසුදේව නමින් හැඳින්වෙන එම වෘක්ෂයට පුදපූජා පැවැත්වීමෙන් ග්‍රහ අපල දුරු කර ගත හැකි බවට හින්දුන් අතර විශ්වාසයක් තිබේ.විශේෂයෙන් සෙනසුරාදා දිනයන් හි පීපල් වෘක්ෂය දියෙන් නැහැවීමෙන් ගෘහ ජීවිතය සහ ලෞකික සමෘද්ධිය උදා කර ගත හැකි බවට භික්ෂුන් අතරේ විශ්වාසයක් තිබේ. ඒ අනුව හින්දු සමාජයේ කාන්තාවෝ පිරිමින් අබිබවා මේ පුජා චාරිත්‍රයේ යෙදෙති. අප සමාජයේ පවතින පැන් කල වලින් බෝධිය නැහැවීම “ජලාභිෂේක්” නම් වන මෙම හින්දු සම්ප්‍රදාය බෞද්ධකරණය වීමකි. අප රටේ නූතන ජනප්‍රිය බුද්ධාගම තුළ බෝධි පූජා ඇතුළු මූලික බුදු මගින් බැහැර අනේක විධ වූ නිසරු බුදු පිළිවෙත් සම්ප්‍රදායන් කෙතරම් ව්‍යාප්ත වී තිබේද? යත් ඒ සම්බන්ධයෙන් ධර්ම විනයානුකූල විවරණයක් කිරීමේ අභිලාෂයෙන් පසුවන භික්ෂුන් හට ඒ සඳහා සමාජමය අවසරයක් හිමි නොවීම තෙක් තත්වය බැරෑරුම් වී තිබේ. ඊට හේතුව චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර ධර්ම පද්ධතියක් වන බුදු සමයේ මුඛ්‍ය අරමුණින් බැහැර වූ හුදෙක් ජාවාරම් කරණය මත ස්ථාපිත නිසරු පුද පිළිවෙත් රැසකින් නූතන ශ්‍රී ලාංකේය සමාජය ආකූල ව්‍යාකූල වී තිබීම ය.ඒ අනුව මෙම ඛේදනීය යථාර්ථය මෙරට බෞද්ධයන්ට වටහා දෙනු පිණිස ධර්මාසනයක් මත දී “කටක් ඇරීමට” නොහැකි බව අපට ද නොයෙක් වර ප්‍රත්‍යක්ෂ වී තිබේ.
මෙම සමාජමය වාතාවරණයේ අවසන් ප්‍රතිඵලය වනුයේ අධිපරිභෝජනවාදය සැබෑ ඇදහීම් මාර්ගය බවට පත් කර ගත් නූතන ශ්‍රී ලාංකේය සමාජය ඒ උදෙසා බුදු සමය අවභාවිතා කිරීම මගින් පත් වන සුවිසල් සමාජ ඛේදවාචකයකට මේ වන විටත් මං පෙත් විවර වී තිබීම ය. මෙම කරුණ සම්බන්ධයෙන් කිසිදු විචාරශීලිත්වයක් පළ නොකරන ශ්‍රී ලාංකේය භික්ෂු පූජාවේ බොහෝ දෙනෙක් ද පුද්ගල සංවර්ධනය තුළින් සමාජ සංවර්ධනය පිළිබඳ බෞද්ධ න්‍යාය කණපිට හරවමින් මහ මඟ බෝඩ් ලෑලි ඔසවා ගෙන නිකරුණේ රස්තියාදුවේ වඩිති.
කදුරුපොකුණේ සුමංගල හිමි